බෑග් එකක් අරං යෑම ඕනෑම ගමනකදි අපි හැමෝම බොහෝවිට කරන දෙයක්. අපිට ගමනේදි සහ ගිහින් කරන්න තියෙන වැඩකටයුතු වලට අදාළ දේවල් තමයි අපි බෑග් එකක දාගෙන යන්නේ. හයික් කියන්නේ කඳුවල, වනාන්තර වල පාරවල් නැති තැන්වල ගිහින් ඇවිදලා කෑම්ප් කරලා එන එකට. ඇත්තටම මොනවද හයික් එකක් යද්දි බැක් පැක් එකක ගෙනියන්නට ඕනා?
1. බැක් පැක් එකක් තෝරාගැනීම
බස් එකකට හෝ දුම්රියට නැංගොත් ඉඩකඩ තිබෙනවා නම් අපි කරන්නේ බැක් පැක් එක කොහේ හරි හේත්තු කරන එක. නැතිනම් වහලේ තිබෙන රැක් එකට පටෝනවා. ඒත් බැක්පැක් එකක් දාගෙන යන හයික් එකකදි අපිට බෑග් එක වෙන කෙනෙක්ට දෙන්න වෙන්නේ අමාරුම සීන් එකක් වුණොත් විතරයි. අනෙක් හැම වෙලාවෙම බෑග් එක කරේ දාගෙන යන්නට වෙනවා. වැඩි වෙලාවක් කරේ දාගෙන යන්නට වඩාත් පහසු විදියට තාක්ෂණිකව හදලා තිබෙන බෑග් එකක් ගන්න එක දවස තිස්සේ ඒක එල්ලාගෙන යෑමට පහසුවක් වෙනවා.
2. ජලය සහ ආහාර
හයික් එකක් යද්දි පුරාතනයේ අපි ඵල වැල නෙලාගන්න වනයට ගියා වගේ වනාන්තරයේ ඇති ගඩා ගෙඩි කන්නට බලාගෙන යන්න බැහැ. කඳුකර භූමිභාග වලදි ඇතැම් විට පැය කිහිපයක්ම ගමන් යන්නට වෙන්නෙ පයිනස් කැලේ මතින්. ඒ ගමන් වලදී මූලිකවම ජලය අවශ්‍යයි. වැස්සක් ඇද වැටුණොත් නම් හැම තැනින්ම වතුර ගලාගියත්, කඳුකරයේ වුවත් ඇතැම් පළාත්වල ජලය සොයාගන්නට අපහසුයි. අඩුම තරමේ ඊළඟ පෑ 20කටවත් සරිලන ජලය සහ ආහාර ළඟ තබාගැනීම ලංකාව තුළ කරන හයිකින් එකකදි වැදගත් වෙනවා.
ආහාර තෝරාගැනීමේදී පහසුවෙන් ඉක්මනින් සකස් කරගත හැකි නූඩ්ල්ස්, පාන්, ධාන්‍ය වර්ග වැනි ආහාර වලට මූලිකත්වය දීම වැදගත්. මන්ද අපිට නිවසේ සිටිනවාක් මෙන් කෑම වට්ටෝරු බලාගෙන, සියලු අඩුම කුඩුම දමා, කටට රසට උයා පිහාගෙන කෑමට වඩා පෝෂ්‍යදායී වේල පිරිමැහෙන යමක් ගොඩදාගැනීමට කෑම්පින් වලදි සිදු වෙනවා. ඒ නිසා අපි රැගෙන යන සම්පත් වලින් සරලව පිලියෙල කරගත හැකි ආහාර වර්ග පමණක් බැක් පැක් එකේ ඔබාගැනීම ගමනට පහසුවක් වේවි.
3. උයන පිහන බඩුමුට්ටු
වනාන්තර වලදී ගල් දෙකක් එහා මෙහා කරලා ලිපක් අටවගෙන ආහාර ටිකක් පිසගැනීම කරන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. ඒත් එහෙම කරන කොට එන ලොකු ගැටළුවක් තමයි පරිසරය අපවිත්‍ර වීම සහ ගින්න පැතිර යන්නට තිබෙන ඉඩ. ඒ නිසා ද්‍රව ඉන්ධන සහ ගෑස් වලින් දැල්විය හැකි කුඩා කෑම්පින් උඳුන් තිබෙනවා. පිහියක්, හැන්දක්, තැටි කිහිපයක්, තාච්චියක් වගේ භාණ්ඩ වගේම බඩුත් කලින් ලැයිස්තුවක් ලියාගෙන ඒවා මල්ලට දමාගන්නා පිලිවෙලට ටික් කරගෙන ගියානම් හරි. නැතිනම් අපි ඔක්කෝම අරං ආවා කියලා හිතලා බෑග් එක අවුස්සනකොට ඒ උයන්න අවශ්‍යම කරන එක දෙයක් හෝ අපි ළඟ නැත්නම්? එතනදි ලොකු අපහසුතාවකට අපිත් අපේ කණ්ඩායමත් ලක් වෙනවා.
4. වැස්සෙන්, සීතලෙන් ආරක්ෂා වීමට ආවරණ
වැසි කාලයක යනවා නම් රේන් කෝට් එකක් රැගෙන යෑම අනිවාර්යයි. ඒ වගේම ශීතල තද නොවූවත් කඳු මතදී දැනෙන සීතල සාමාන්‍ය සීතලට වඩා වෙනස්. ඒ නිසා රාත්‍රියේදී පොරවාගැනීමට බ්ලැන්කට්, ජැකට් ආදිය රැගෙන යන්නත් අමතක කරන්න හොඳ නැහැ. බෙට්ෂීට්, බ්ලැන්කට්, ජැකට් වගේ කිහිපයක් රැගෙන යෑම බර වැඩිවෙන්නට හේතු වෙනවා. එ් නිසා හිම මිදෙන සීතලක් ලංකාවේ කොහෙවත් නැති නිසා තදබල ලෙස සීතලට ලෑස්ති වී යෑමේත් තේරුමක් නැහැ.
5. ටෙන්ට් සහ කෑම්ප්
කෑම්පින් වලට යද්දි ඉතිං ටෙන්ට් එකක් අනිවාර්යෙන් ගෙනියන්නට වෙනවා. ටෙන්ට් එකක් තෝරාගනිද්දි පිරිස කීයක් ඉන්නවාද කියන එක වැදගත්. ඒ වගේම ටෙන්ට් එක අටවගන්න හැටි ගැනත් ටිකක් දැනකියාගෙන යන එක වටිනවා. ටෙන්ට් අරං යද්දි අපිට කෑම්ප් ගහන්න ලැබෙන කෑම්පින් පොයින්ට්ස් මොන වගේද කියලත් පොඩි අවබෝධයක් තියාගන්න වෙනවා. තදින් සුළං හමන තැනක්ද? ගල් තලාවක්ද? නැතිනම් වැලි බිමක්ද කියලා කලින් පොඩ්ඩක් හොයාබලන්න පුලුවන් නම් ගෙනියන්න ඕනි ටෙන්ට් වර්ගය ගැන අදහසක් ගත හැකියි.
මැප් සොයාගන්නා ජීපීඑස් උපකරණ තිබේනම් ඒවා සක්‍රියව තබාගන්න බැටරි බලය අවශ්‍යයි. එසේම අද කාලේ නම් ෆෝන් සහ කැමරා වලටත් බැටරි බලය ගමනකදී ඕනා වෙනවා. ඒනිසා සැලකිය යුතු බැටරි බැංකු හෝ නැතිනම් සෝලා තාක්ෂණයෙන් ආරෝපණය කරගත හැකි ක්‍රමයක් රැගෙන යෑම අපි එක්ක හයිකින් යන අපේ ඩිවයිස් ඇක්ටිව් තියාගන්න ප්‍රයෝජනවත් වේවි.
6. බේත්හේත් සහ ප්‍රථමාධාර
වනාන්තරයේ හෝ කඳුකරයක ඇවිදිනවා කියන්නේ අවදානමක්. ඉතාම කලාතුරකින් හෝ සර්පයෙක් දෂ්ට කිරීමක්, මකුලුවෙක් දෂ්ට කිරීමක් සිදුවන්නට පුලුවනි. ඒ වගේම නිසියාකාරව තැනූ මාර්ග වල ගමන් නොකරන හෙයින් යම් ඇදවැටීම්, පෙරලීම් ආදියත් සිදුවිය හැකියි. ඒ නිසා වඩාත් සූදානම් වෙලා අවශ්‍ය කරන මූලික ප්‍රථමාධාර බඩු ටිකක් හෝ ගෙනගියොත් ගමනේ අනතුරු වලදි යම් සහනයක් ගෙන දේවි.
7. කැලේ කපන්න, එළිය කරන්න, කූඩැල්ලෝ නසන්න
කැලේ හැමතැනම ලස්සනට පාරවල් නැහැ. අනික් අතට අපිට එන්න පාර හොයාගන්න ගිය පාර සලකුණු කරන්නත් වෙනවා. ඒ නිසා කැලේ ඇවිදින විට තරමක් විශාල පිහියක් රැගෙන යෑම සුදුසුයි. ඒ වගේම රෑ බෝ වුණ විට බලය තිබෙන එල්ඊඩී පහන්, ටෝච් ආදියත් ආරක්ෂාවට වැදගත් වෙනවා. කූඩැල්ලෝ ඉන්න ඉසව්වක නම් පැඟිරි තෙල්, ලුණු වගේ කූඩැල්ලෝ අකමැති දේවලුත් බැක් පැක් එකට එකතු කරගන්නට ඕනි.
8. ඇඳුම් පැළඳුම්, සෙරෙප්පු සපත්තු
අපි දින තුනක හයික් එකක් යනවා නම් දින තුනකට පමණක් සෑහෙන මූලික ඇඳුම් ටිකක් රැගෙන යෑම ප්‍රමාණවත්. මන්ද වැඩිපුර ගෙනයන ඇඳුම් තිබේනම් ඒවා ගමන පුරාවට අපේ පිටට බරක් වෙමින් තියනවා මිස වෙනත් ප්‍රයෝජනයක් නැහැ. නාන්නට තැනක් සෙට් වුණොත් නාන ඇඳුමක්, හොඳට වැඩී ඇති කටු පඳුරු ලඳුකැලෑ ආදිය හරහා ගමන් කරනවා නම් අත් දිග කමිසයක්, දිග කලිසමක් ආදිය රැගෙන යෑම නුවණට හුරුයි. කඳු නැගීම් වලදී සෙරෙප්පු භාවිතා කරන්නටත් හැකි වුවත්, සපත්තු දෙකක් පය ලාගෙන යෑමෙන් කකුල් වලට වැඩි ආරක්ෂාවක් ලැබෙනවා.
9. බැක්පැක් එක බැලන්ස් කරගැනීම
අලුත උපන් බිලිඳකු සමග ගමනක් යෙදෙන විට ඒ දෙමාපියෝ කිරිබෝතල, ඇඳුම්, දරුවාගේ සනීපාරක්ෂක බඩු ආදී සියල්ලම රැගෙන යනවා. හයික් එකක් යද්දි ඒ විදියට අපිට ඕනාය කියලා හිතෙන හැමදේම බැක්පැක් එකකට ලෝඩ් කරගන්නට බැහැ. ගමනේදි අත්‍යාවශ්‍යම වෙයි කියා හිතන බඩු බාහිරාදිය පමණක් බැක් පැක් එකකට ඇතුල්කරගත යුතුයි. ගමනක් යන්න කලින් ගෙනියන දේවල් ලැයිස්තුවක් හදාගෙන, ඒ ඒ දේවල් සූදානම් කරගැනීමත් හොඳ හයිකර්ලා කරන දෙයක්. එහෙම ලිස්ට් එකක් හදාගෙන බඩු එකතු කරගනිද්දි අපිට යමක් මග හැරුණත් ඒ මොනවද මග හැරුණේ කියලා අපිට පූර්ව අදහසක් එනවා. හයිකින් වලට ආසනම්, යන්නත් කැමති නම් වැඩේ ලේසියෙන්ම ගොඩදාගන්න මේ විදියට බැක් පැක් එක හදාගන්නට හුරුවෙමු.
Cover Image Source – ontheroadpatagonia.com
Leave a Reply