කෙසෙල් කොළේ එතුවට හැම බත් එකම ලම්ප්රයිස් නෙවෙයි… නියම ලම්ප්රයිස් රෙසිපි අපෙන්

කෙසෙල් කොළේ ඔතපු හැම බත් එකටම සමහරු ලම්ප්‍රයිස් කිව්වට ලම්ප්‍රයිස් වලටම විශේෂිත වට්ටෝරුවක් තියෙනව. ලන්දේසීන් කාලයක් යටත් කරන් හිටිය ඉන්දුනීසියාවෙ වැඩ කරන ගැමියන් කෙසෙල් කොළේ ඔතල ගේන බත් පතක් අත උඩ තියාගෙන කනව දැකපු ලන්දේසීන්ට මේ වැඩේට ආස හිතිල තියෙනව. කල් තියාගන්න පුළුවන් වගේම සුළු ප්‍රමාණයකින් වැඩියෙන් බඩ පිරෙන විදියට මේ බත් එකට අඩු වැඩිය ලන්දේසීන් විසින් සකසගෙන තියෙනව.

මුලින්ම නම් මේ බත් එකට ඇවිත් තියෙන්නෙ බීෆ්, පෝක් සහ මට්න් එකට පිසගත් කරියක් දැන් නම් මේවා වෙන වෙනමත් සහ චිකන් එක් කරගෙනත් කරිය සකසනව. අද අපි මේ කියන්න හදන්නෙ අතට අහුවෙන ඕන හොද්දක් කෙසෙල් කොළේ ඔතල ලම්ප්‍රයිස් නොකියා නියම විදියට ලම්ප්‍රයිස් එකක් හදාගන්න හැටි. ලම්ප්‍රයිස් එකක් ප්‍රමාණයෙන් පොඩියි. කොත ගහල බත් එකක් බෙදල, ඔතන්නෙ නෑ මේකෙදි. මේ කියන තාලෙට පිසගන්න බත් එකක් කෙසෙල් කොළේ ඔතන කොට ඒකත් මතක තියාගන්න ඕන.

 

1. දුන්තෙල් බත

Image Source – sl-unlimited.com

දුන්තෙල් නම් දැන් හොයාගන්නත් අමාරුයි. ඒත් ලම්ප්‍රයිස් එකට හදන්නෙ දුන්තෙල් දාපු බත් එකක්. දුන්තෙල් නැති අයට ඒ වෙනුවට බටර් ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සූදුරු සම්බා 500g
  2. චිකන් තම්බාගත් වතුර (ලුණු හෝ කහ නොදා)
  3. බටර් හෝ දුන්තෙල් (මාගරින් නෙවෙයි)
  4. කුරුඳු පොතු කෑල්ලක්
  5. කරදමුංගු කරල් 3
  6. කරාබු නැටි 5ක්
  7. සේර කෑල්ලක්
  8. ගම්මිරිස් ඇට ටිකක්
  9. හීනියට කපාගත්ත ළූණු
  10. රම්පෙ/ කරපිංචා
  11. ලුණු

 

  • දුන් තෙල් ටික රත් වෙන්න තියාගන්න. බටර් ගන්නව නම් තෙල් චුට්ටකුත් දාගන්න රත් වෙනකොට බටර් ටික පිච්චෙන්නෙ නැති වෙන්න.
  • ඒකට හාල් සහ ස්ටොක් එක ඇර අනිත් සේරම දාල තෙම්පරාදු කරගන්න. ළූණු ටික රන්වන් පාට වෙද්දි ඒකට සෝදා දිය බේරාගත් හාල් ටික දාලා ටික වේලාවක් තෙම්පරාදු කරන් ස්ටොක් ටික එකතු කරල බත උයාගන්න.

 

2. බටු, අළු කෙසෙල් කරිය

Image Source – theceylonchef.com

වම්බටු සහ අළු කෙසෙල් දෙකම එකට දාල වගේම වෙන වෙනම හදලත් ලම්ප්‍රයිස් වලට තියනව. ඒක කැමති විදියට සකස ගන්න පුළුවන්. එකට දාල හැදුවත් වෙනම හැදුවත් සකස් කරන්නෙ මේ ක්‍රමයට.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. අළු කෙසෙල් ගෙඩි 3
  2. වම්බටු ගෙඩි 3
  3. සූදුරු තේ හැන්දක්
  4. අබ තේ හැන්දක්
  5. කුරුඳු පොතු පොඩි කැබැල්ලක්
  6. තලාගත් ඉඟුරු
  7. තලාගත් සුදුළූණු
  8. රම්පෙ
  9. කරපිංචා
  10. කපාගත් ළූණු
  11. පොඩි සේර කෑල්ලක්
  12. කරදමුංගු කරල් දෙකක්
  13. මිරිස් කුඩු
  14. සීනි තේ හැඳි එකහමාරක්
  15. විනාකිරි මේස හැන්දක්
  16. බැදපු පහේ තේ හැඳි ½
  17. උකු පොල් කිරි කෝප්ප 3/4ක්

 

  • අබ, සූදුරු, කුරුඳු එකට දමා ග්‍රයින්ඩ් කරගන්න. වම්බටු සහ අළු කෙසෙල් කොටු කපා ලුණු, කහ මිශ්‍ර කරගෙන තරමක් තද රන්වන් පාටක් එනකම් ගැඹුරු තෙලේ බැද ගන්න.
  • තෙල් ටිකක් ලිපේ තියාගෙන ඒකට තලාගත් ඉඟුරු, සුදුළූණු, කරපිංචා, රම්පෙ, ළූණු, සේර, කරදමුංගු දාල තෙම්පරාදු කරගන්න. ඒකටම මිරිස් කුඩු, විනාකිරි, සීනි, බැදපු පහේ, කුඩු කරගත් අබ මිශ්‍රණය දාගෙන කලවම් කරගන්න. ඒකට පොල් කිරි දාලා හොඳින් කලවම් කරන් එයට බැදගත් බටු සහ කෙසෙල් එක් කරගෙන අඩු ගින්දරේ හින්දගන්න.
  • බටු සහ අළු කෙසෙල් එක් කර මිශ්‍ර කලාට පසු ලුණු බලා මදි නම් ලුණු එක් කරගන්න.

 

3. ෆ්‍රිකඩෙල්

Image Source – sunalignedbyte.com

මස් අඹරා හදාගන්න කෑමක්. දැන් නම් හුඟක් ලම්ප්‍රයිස් වල මේ වෙනුවට තියෙන්නෙ කට්ලට් එකක්. ඒත් හරිම විදියට ලම්ප්‍රයිස් එකට එන්නෙ ෆ්‍රිකඩෙල් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. අඹරාගත් මස් කප් 1 (කැමති මස් වර්ගයක්)
  2. තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
  3. ගසාගත් බිත්තර 1
  4. ලුණු රස අනුව
  5. සාදික්කා කුඩු පින්ච් එකක්
  6. ගම්මිරිස් කුඩු
  7. චොප් කරගත් ෆ්‍රෙශ් පාස්ලි හෝ වියළි පාස්ලි ස්වල්පයක්
  8. පාන් කුඩු

 

  • බිත්තරය ගසාගෙන එයින් 1/2ක් ගෙන එයට අනෙක් සියල්ල එක් කර හොඳින් අනා කුඩා බෝල සාදාගන්න.
  • සාදාගත් බෝල ඉතිරි බිත්තර වල දවටා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

 

4. මස් කරිය

Image Source – theflavorbender.com

කැමති මස් වර්ගයක් ගන්න පුළුවන්. මස් වර්ග කීපයක් එකට එක් කරලත් උයාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කුඩාවට කපාගත් චිකන් 500g
  2. බැදපු පහේ මේස හැඳි 1
  3. කබලේ බැදගත් මිරිස් කුඩු මේස හැඳි 2
  4. ගම්මිරිස් කුඩු තේ හැන්දයි
  5. කරාබු නැටි 5
  6. කරදමුංගු ඇට 3ක්
  7. රම්පෙ
  8. කරපිංච
  9. ළූණු
  10. ඉඟුරු
  11. සුදුළූණු
  12. කුරුඳු පොතු
  13. සේර කෑල්ලක්
  14. මාදුරු ඇට තේ හැඳි 1\2
  15. සියඹලා
  16. ලුණු

 

  • තෙල් ස්වල්පයක් ලිප තබා එයට මස් සහ සියඹලා හැර අනෙක් සියල්ල පිළිවෙලින් එක් කර සුවඳ එනතුරු හොඳින් තෙම්පරාදු කරගන්න.
  • එයට මස් ටික සහ සියඹලා එක් කර මස් වැහෙන ගාණට වතුර එක් කර මද ගින්නේ හින්දගන්න.

 

5. බ්ලචාන්

Image Source – camemberu.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කබලේ බැද කුඩු කරගත් කූණිස්සන් කප් 1\2
  2. වියළි පොල් කප් 1\4
  3. මිරිස් කුඩු තේ හැඳි 1 1\2
  4. තලාගත් සුදුළූණු බික් 2
  5. තලාගත් ඉඟුරු තේ හැන්දක්
  6. දෙහි යුෂ මේස හැඳි 3
  7. ලුණු

 

  • පොල් ටික පෑන් එකක දමා රන් වන් පැහැ වන තුරු බැදගෙන නිවෙන්න හරින්න.
  • අනෙක් සියල්ලම බ්ලෙන්ඩ් කරගන්න. එයට කූනිස්සන් කුඩු සහ පොල් ටික එක් කර නැවත බ්ලෙන්ඩ් කරගන්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එක් කරගන්න.

 

6. සීනි සම්බෝලය

Image Source – foodie.lk

රසටම හදාගන්න සීනි සම්බෝලයක් ලම්ප්‍රයිස් එකට තියනව. ළූණු ටික හොඳින්ම මැලවෙන්න මේක හදාගන්න ඕන.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සිහින්ව කපාගත් ළූණු
  2. සැර අනුව කෑලි මිරිස්
  3. මිරිස් කුඩු චුට්ටක්
  4. රම්පෙ
  5. කරපිංචා
  6. සේර කෑල්ලක්
  7. කුරුඳු පොතු කෑල්ලක්
  8. කරදමුංගු
  9. කරාබු නැටි
  10. උම්බලකඩ
  11. සියඹලා ඉස්ම
  12. තලාගත් ඉඟුරු
  13. තලාගත් සුදුළූණු
  14. සීනි
  15. ලුණු

 

  • ළූණු ටික භාජනේකට දාගෙන ඒකට කෑලි මිරිස්, මිරිස් කුඩු, ලුණු, සීනි, සියඹලා ඉස්ම දාල හොඳට අනාගන්න.
  • තෙල් ටිකක් ලිපේ තියන් රත් උනාම ඒකට රම්පෙ, කරපිංචා, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු, සේර, එකතු කරගෙන සුවඳ එනකම් තෙම්පරාදු කරගන්න. ඊට පස්සෙ ඒකට ඉඟුරු සුදුළූණු එක්කම උම්බලකඩ ටික එකතු කරන් කලවම් කරල ඒ එක්කම අනාගත්තු ළූණු එකතු කරල කලවම් කරගන්න.
  • සාමාන්‍ය ගින්දරේ විනාඩි 2න් 2කට සැරින් සැරේ හැන්දකින් ළූණු ටික පෙරලන්න ළූණු මැලවෙනකම්. දැන් ගින්දර අඩුම කරගන්න.
  • ගින්දර අඩුම කළාට පස්සෙ සීනි සම්බෝලෙ හොඳට පාට වැටිල තද දුඹුරු පාට වෙනකම් විටින් විට කලවම් කර කර ලිපේ තියාගන්න.

 

7. බිත්තරයක්

Image Source – blueapocalypse.com

ලම්ප්‍රයිස් එකට තියන්නෙ තම්බල ඊට පස්සෙ බැදගත්තු බිත්තරයක්. මුලින්ම බිත්තරය හොඳින් තම්බගන්න. තම්බාගත් බිත්තරයේ කටු ඉවත් කරගත්තට පස්සෙ පිහිතුඩකින් තැනින් තැන සිදුරු කරන්න. බිත්තරය තෙලට දාල බදින කොට තෙල් විසි වෙන එක ඒකෙන් වැළකෙනව. බිත්තරය වැහෙන ගාණට තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට කහ කුඩු පොඩ්ඩක් එකතු කරගන්න. කහ එක් කරගත් තෙලේ බිත්තරය පෙරලමින් බැදගන්න.

 

8. බේක් කරගන්න

Image Source – pinterest.com

පිසගත් සියල්ලම කෙසෙල් කොළ වල පිළිවෙලින් බෙදාගන්න. මේ දීල තියෙන ප්‍රමාණ වලින් ලම්ප්‍රයිස් 3ක් හදාගන්න පුළුවන්. හොඳින් කෙසෙල් කොළෙන් ඔතාගෙන කැමති නම් ෆොයිල් කොළේකිනුත් ඔතාගන්න. සෙල්සියස් 160ට ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 15ක් විතර බේක් කරගන්න. ඕෆ් කරගත්ත අවන් එක ඇතුලෙම නිවෙන්න තියල කෑමට ගන්න.

Cover Image Source – viva.co.nz/ whimsicalchef.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *