ලෙයින් වැකුණු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී දින සති ගෙවී ගොස් අවසානයි. එයින් දැනුණු කම්පනය තවමත් පහව ගොස් නැති වුනත්, ක්‍රම ක්‍රමයෙන් රටේ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙමින් පවතිනවා. තවදුරටත් ඇඳිරි නීතිය නැහැ. නමුත් තවමත් ආරක්ෂක අංශ, ත්‍රිවිධ හමුදා පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. මේ අතරේ තවත් ප්‍රශ්න පැන නගිමින් පවතිනවා. වාර්ගික කණ්ඩායම් අතර ඇතිවෙමින් තියෙන ආතතිය එයින් එකක්. පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව රටේ ඇතිවුණු ආර්ථික බිඳවැටීමක් වේ නම් ඒවා සමනය කිරීම තවත් ගැටළුවක්. කොහොම වුනත් මේ හැමදෙයක්ම එක්ක ඉහළින්ම තියෙන්නේ පුරවැසියන් විදියට අපේ වගකීම. අන්න ඒ වගකීම ඉෂ්ට කරන්නේ කොහොමද කියන එක තමයි ඊලඟට අපි හිතන්න වුවමනා.
1. සාමාන්‍ය ජීවිතයට ආයෙත්
මේ සා කම්පනයක් සිද්ධ වුනාට පස්සේ ආයෙමත් සාමාන්‍ය ජන ජීවිතයට හුරු වෙන එක බොහෝමයක් දෙනෙක්ට ගැටළුවක්. ඒ වගේම අභියෝගයක්. සමහරු ඉන්න පුළුවන් කිසිම දෙයක් නොවුනා වගේ කරදරයක් නැතුව තමන්ගේ වැඩක් කරගෙන ඉන්න අය. හැබැයි අපි බොහෝමයක් දෙනෙක්ට තාමත් හිත හදාගෙන ෆිල්ම් එකක් බලන්නවත් යන්න බෑ, යාලුවොත් එක්ක ජොලියක් දාන්න යන්න බෑ. ඒත් එහෙම හැමදාමත් ජීවත් වෙන්නත් බෑ. මේකට හොඳම දේ තමයි තවත් කවුරුහරි සහෘද මනසක් තියෙන කෙනෙක් එක්ක තමන්ට දැනෙන දේ කථා කරන එක. අදහස්, හැඟීම් බෙදාගන්න එක. එතනින් පස්සේ සාමාන්‍ය ජීවිතයේ වගකීම් සහ යුතුකම් වලට ආයෙමත් එන එක අපේ වගකීමක්.
2. හැරගියවුන් අමතක නොකරමු
බොහෝමයක් දෙනා කියන කථාවක් තමයි, අපිට දේවල් මතක තියෙන්නේ සතියයි කියන එක. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ ලඟම හිතවතෙකු හෝ පවුලේ අයෙකු ජීවිතක්ෂයට පත් නොවුනා වෙන්න පුළුවන්. එහෙම වුනත්, මියගිය හැම කෙනෙක්ම අපේ මිනිස්සු. ශ්‍රී ලංකාවේ පුරවැසියෝ, ශ්‍රී ලංකාවට ආපු අමුත්තෝ. අපි මේ හැම කෙනෙක්වම මතකයේ තියාගන්න ඕන. ඒක අපේ වගකීමක්. ඒ වගේම ඒ අය ජීවිතයෙන් සමුගත්තේ කුමක් නිසාද කියන එක අපි සිහියේ තියාගන්න ඕන. අන්න ඒකත් අපේ වගකීමක්.
3. සිහිකල්පනාවෙන් ජීවත් වෙමු
අපි අවුරුදු දහයකට කලින් තිස් වසරක් පුරාවට ඇදි ඇදී ගියපු බිහිසුණු සිවිල් යුද්ධයක් අවසන් කළා. ඒ යුද්ධය පැවතුණු කාලයේදී දකුණේ ජීවත් වුණු අපිත්, උතුරේ ජීවත් වුණු අපිත් එක වගේම ජීවිතය ගැන අතිමහත් අවිනිශ්චිතතාවයකින් කල් ගෙවුවේ. කොයි මොහොතක අපේ ජීවිතය නැති කරන බෝම්බයක් පුපුරයිද, ෂෙල් වෙඩිල්ලක් වැටෙයිද කියන හැඟීමත් එක්ක අපි එදිනෙදා ජීවත් වුනා. ඉන් පස්සේ යුද්ධය ඉවර වුනා, කානිවල් සමයක් ආවා. ඒත් දැන් ආයෙමත් අපි සිහිකල්පනාවෙන් ජීවත් වෙන්න ඕනය කියන පණිවුඩය අපිට ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා අපි මීට අවුරුදු දහයකට කලින් ජීවත් වුනා වගේම ඇස් කන් ඇරගෙන ජීවත් වෙන්න ඕන. වටාපිටාවේ සිද්ධ වෙන දේ ගැන අවධානයෙන් ඉන්න ඕන.
ඇත්තටම දැන් අපිට අසල්වැසියාව වුනත් විශ්වාස නැහැයි කියන එක මෝඩ කතාවක්. අපේ අවධානය නැතිවෙලා තිබුණය කියන වරද වහගන්න කියන මෝඩ කථාවක්. අපි අසල්වැසියාව ආශ්‍රය කරනවා නම්, අසල්වැසියා රහසින් රටට හෝ සමාජයට අනතුරුදායක දෙයක් කරනවා නම්, අපිට අනිවාර්යයෙන්ම ඒක ඉව වැටෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි තවදුරටත් අපේ අසල්වැසියාව ආශ්‍රය නොකරන එක.
4. අසල්වැසියාට ප්‍රේම කරමු
තමන්ගේ අවට ගැන, අසල්වාසීන් ගැන අවධානයෙන් ජීවත් වෙන්න කියන්නේ, තමන්ගේ අසල්වැසියාව සම්පූර්ණයෙන්ම අවිශ්වාස කරගෙන, සැකයෙන් ඒ දිහා බලමින් ජීවත් වෙන්න කියන එක නෙවෙයි. තමන්ගේ අසල්වැසියා ත්‍රස්තවාදියෙක් නොවේය කියන විශ්වාසයෙන්, තමන්ගේ අසල්වැසියා තවත් එක සහෝදරයෙක්ය කියන විශ්වාසයෙන් ජීවත් වෙන්න. අඩු තරමින් අපේ හිතේ සැකයකට තුඩු දෙන දෙයක් සිදුවෙන තාක්කල් විශ්වාසයෙන් ජීවත් වෙන්න. ඇත්ත කථාව තමයි අපි හැමදෙනෙක්ම එක රටක මිනිස්සු කියන එක. යම් කිසි අවාසනාවන්තකමක් නිසා, ඒ රටේම ඇතැම් මිනිස්සුන්ගේ මොළ වෙනත් පාර්ශවයන් විසින් ශෝධනයට ලක්වෙනවා. එහෙම මොළ සෝදගත්තු මිනිස්සු තමන්ගේම රටට වින කරන්න ක්‍රියාත්මක වෙනවා. හැබැයි එහෙම මිනිස්සු ඉන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් බවත්, බහුතරය අපේම මිනිස්සු බවත් මතක තියාගෙන ජීවත් වෙමු. අසල්වැසියාට ප්‍රේම කිරීම අපේ යුතුකමක් විතරක් නෙවෙයි, වගකීමක්.
5. වාර්ගික-ආගමික ගැටුම් වළකාලමු
මේ වෙනකොට මේ අවාසනාවන්ත පාස්කු ඉරිදා බෝම්බ සිදුවීමට සෘජුව වගකිව යුතු අය සහ ඊට හවුල් බොහෝ දෙනෙක් එක් ආගමික විශ්වාසයක අන්තයටම ගියපු රැඩිකල්වාදීන් වීම නිසාම, බොහෝ දෙනෙක් ඒ ආගමේ හැම කෙනෙක් දිහාම සැකයෙන් බලන්න පටන් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ආගමට පොදුවේ ගරහන්නටත්, ඒ ආගමේ භක්තිකයින් හැමෝම දිහා සැකයෙන් බලන්නත් පටන් අරගෙන තියෙනවා. හැබැයි මතක තියාගන්න. මූලධර්මවාදීන්, රැඩිකල්වාදීන්, ත්‍රස්තවාදීන් කොයි ආගමකින් වුනත් බිහිවෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි විරුද්ධ වෙන්න ඕන මූලධර්මවාදීන්, රැඩිකල්වාදීන්, ත්‍රස්තවාදීන් කියන කොටස් වලට මිසක්, තමන්ගේ ආගමක් අදහගෙන ඉන්න අහිංසක මිනිස්සුන්ට නෙවෙයි. අන්න ඒ නිසා වාර්ගික-ආගමික ගැටුම් වළක්වන්න, සිදුවන්නට කලින් ඊට ඉඩ අහුරන්න අපිට වගකීමක් තියෙනවා.
ඒ වගේම අපි කාගේ හෝ ආගමක් තුලින් මූලධර්මවාදීන්, අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් පැන නැගීමේ අවදානමක් පේනවා නම්, උන් අපේම ආගමේ වුනත්, උන් අපේම ජාතියේ වුනත් උන්ට විරුද්ධ වෙන්නත් අපිට පුරවැසියන් විදියට වගකීමක් තියෙනවා. අන්න ඒ වගකීම පැහැර හරින්න අපි කාටවත් බැහැ.
6. ආරක්ෂක අංශයන්ට අපේ සහාය
තවමත් රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා. තවමත් ආරක්ෂක අංශයන් මගින් සෝදිසි කිරීම් යනාදිය සිදුකෙරෙමින් පවතිනවා. සමහර වෙලාවට අපේ එදිනෙදා ජීවිතේ කටයුතු වලට මේ ආරක්ෂක අංශ වල පරීක්ෂණ කටයුතු, සෝදිසි කටයුතු කරදරයක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඒ කරදරය අපි විඳදරාගත යුතුයි. ඒ කටයුතු ආරක්ෂක අංශයන්ගෙන් සිදු කරන්නේ තවත් ලෙයින් තෙත්වුණු පාස්කු ඉරිදාවක් බිහි නොවීම වෙනුවෙන්. ඒ නිසා ආරක්ෂක අංශයන්ට සහ ඔවුන්ගේ මෙහෙයුම් වලට උපරිම සහයෝගය ලබාදීමත්, ඔවුන්ගේ වැඩකටයුතු වලට බාධා වන අයුරින් ක්‍රියා නොකිරීමත් අපේ වගකීම්.
7. පාට පක්ෂ බෙදීම් වලින් ලෝකය නොදකිමු
පාස්කු ඉරිදා ඛේදවාචකයත් සමගින් අපිව නියෝජනය කරන ජනතා නියෝජිතයින්, දේශපාලකයින් සම්බන්ධයෙන් බොහෝ විවාදාපන්න කරුණු කාරණා එළියට ආවා. විශේෂයෙන්ම රටේ පාලකයින් සහ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉෂ්ට කළාද කියන කරුණු කාරණා විවාදයට පාත්‍ර වුනා. හැබැයි අපි පුරවැසියෝ විදියට එක දෙයක් මතක තියාගත යුතුයි. රටේ පාලකයෝ සහ වෙන්න පාලකයෝ හැම කෙනෙක්ම හැම මොහොතකම තමන්ගේ බලය රඳවා ගැනීම හෝ බලය ලබාගැනීම කියන කාරණා වලින් එහාට ප්‍රමුඛත්වයක් ලබාදෙනවා හොරයි. ඒක මේ දශක ගණනාවක දේශපාලනයෙන් අපි ඉගෙන ගන්න ඕන කාරණාවක්. ඒ නිසාම මේ දේශපාලකයින් තමන් අතින් සිදුවුණු වැරදි වහගන්න, තමන්ගෙන් සිද්ධ වෙන්න ඕන වගකීම් පැහැර හරින්න උත්සාහ කරයි. ඒ වෙනුවෙන් ජනතාව නොමග යවන්න කරන්න පුළුවන් දේවල් කරයි. හැබැයි පුරවැසියෝ විදියට අපේ වගකීම තමයි ඒ අයට තමන්ගේ වැරදි මතක් කරලා දීම, ඒ වැරදි සම්බන්ධයෙන් නිසි පියවර ගන්න බල කිරීම සහ තමන්ගේ වගකීම් ඉෂ්ට කරනා තුරු ඒ ගැන බලකිරීම. හැබැයි ඒක පාට පක්ෂ එක්ක බෙදිලා කරන්න බෑ. අන්න ඒ නිසා තවදුරටත් පාට වලින්, පක්ෂ වලින් ලෝකය නොදැක, පුරවැසියෝ විදියට හිතන එක අපේ වගකීම.
ඡන්දේ දවසට අපිට ඕන අපේක්ෂකයාට, අපිට ඕන පක්ෂෙට ඡන්දේ දාලා එන්න පුළුවන්. හැබැයි එතකල් හරි දේ හරි විදියටත්, වැරදි දේ වැරදි විදියටත් දැකීමත්, වැරැද්ද නිවැරදි කරන්නට බල කිරීමත් පුරවැසි අපේ වගකීම.
අපි හැම දෙනෙක්ම එකම රටක, එකම ධජයක් යටතේ ජීවත් වෙන ශ්‍රී ලාංකීය පුරවැසියන් කියන එක සිහිතබා ගැනීමත් අපේ වගකීම!
Leave a Reply