ඇමරිකාව හුවාවේට (Huawei) තරවටු කිරීම අපිට බලපාන්නේ කොහොමද?

හුවාවේ කියන්නේ ලෝකේ දෙවනියට විශාලතම මොබයිල් ෆෝන් නිෂ්පාදනය කරන සමාගම. ඒ වගේම ලෝකයේ බිලියන තුනක් ජනතාවට ජාල පහසුකම් දෙන්න නෙට්වර්ක් උපකරණ සහ ටෙලිකොම් යටිතල පහසුකම් සලසන්නත් හුවාවේ දායක වෙලා තියෙනවා. දැනට ටෙලිකොම් බඩු මාකට් එකේ හුවාවේ ඉන්නේ උඩම තැන. ෆෝන් මාකට් එකෙත් වැඩිම වේගයෙන් ඉදිරියට එමින් හිටපු හුවාවේ සමාගම ෆෝන් වෙළඳාම අතින් දෙවනි තැන හිමිකරගත්තා. පහුගිය දවසක ඇමරිකාව සහ චීනය අතර තියෙන වෙළඳ යුද්ධය උත්සන්න වුනා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු කොම්පැණි වලට නියෝගයක් කළා හුවාවේ සමාගම එක්ක ගනුදෙනු කරන්න එපා කියලා. ඒ නිසා හුවාවේ සමාගමට මොනවා වෙයිද? එයින් අපිට තියෙන බලපෑම මොකද්ද? කියලා අපි විස්තර ටිකක් බලමු.

 

1. ඇමරිකානු නියෝගය මොකද්ද?

Image Source – ft.com

ඇමරිකාව නියෝග කරන්නේ ඇමරිකානු සමාගම් වලට. හුවාවේ සමාගම නෙට්වර්ක් බඩු හදනකොට වගේම ෆෝන් හදනකොටත් ඇමරිකානු සමාගම් වල සහයෝගය ගන්නවා. ෆෝන් හදනකොට චිප්සෙට් සහ චිප් ආකිටෙක්චර් තියෙන්නේ ඇමරිකානු සමාගම් වල. ක්වල්කොම්, බ්‍රෝඩ්කොම්, ඒ ආර් එම් වගේ කම්පැණි වල චිප් විධායක නියෝගයෙන් පස්සේ හුවාවේට ලැබෙන්නේ නැහැ.  නෙට්වර්ක් බඩු වලට අවශ්‍ය චිප් සෙට්ස් පවා හුවාවේට අහිමි වෙනවා. ඒ එක්කම ගූගල් එකේ තියෙන නිෂ්පාදනත් මොබයිල් ෆෝන් වලට පාවිච්චි කරන්න තහනම් වෙනවා. ප්ලේස්ටෝර් නැතිවෙනවා විතරක් නෙමෙයි, ජී මේල්, ගූගල් මැප්ස්, ගූගල් ඩ්‍රයිව්, ෆොටෝස්, යූ ටියුබ් වගේ ගොඩක් සේවාවන් අලුත් හුවාවේ ෆෝන් වලට දාන්න අවසර නැති වෙනවා.

 

2. තියෙන හුවාවේ ෆෝන් එකට මොකද වෙන්නේ?

ගූගල් ප්ලේ ස්ටෝර් එකෙන් දිගටම කචල් ආවොත් අපේ අතේ තියෙන හුවාවේ ෆෝන් එකට අලුත් ඇප්ස් දාන්න බැරි වෙනවා. මේක ගූගල් වලට විතරක් නෙමෙයි ඇමරිකානු අනෙක් ඇප්ස් කම්පැණි වලටත් බලපානවා. ට්විටර්, ෆේස්බුක් වුනත් අප්ඩේට්ස් සහ සහයෝගය දෙන එක ඉදිරියේදී අවිනිශ්චිත තත්ත්වයක් උදා වෙනවා. ඇප් අයිති ගූගල් එකට නෙමෙයි. ඒ නිසා කෙනෙක්ට කියන්න පුළුවන් හුවාවේලට ‘හු ස්ටෝර්’ වගේ එකක් හදලා ඇප් දෙන්න හැකිනේ කියලා. ඒත් එන ප්‍රශ්නයක් තමයි, දැනට ලංකාවේ වැඩිපුරම පාවිච්චි වෙන වට්සැප්, ෆේස්බුක්, ට්විටර් වගේ ගොඩක් ඇප්ස් අයිති ඇමරිකානු සමාගම් වලට. එතකොට හුවාවේ හු ස්ටෝර් එකක් හැදුවත් ඒකෙන් පවා ඇමරිකානු ඇප්ස් දාගන්න එකට කචල් එන්න ඉඩකඩ තියෙනවා.

ගූගල් සමාගමෙන් එන ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් නොඒම, ප්ලේ ස්ටෝර් නැති වීම වගේ ගැටළු වලට දැනට තියෙන හුවාවේ ෆෝන් වලට මුහුණ දෙන්න වෙනවා. තවත් මාස තුනකට ගූගල් සමාගම හුවාවේට තමුන්ගේ සේවාවන් පවත්වාගෙන යන්න අවසර දීලා තියෙනවා. එයින් පස්සේ මොනවා වෙයිද? ඒක හුවාවේ සමාගමවත් හරියට තවම දනනේ නැහැ.

 

3. අලුත් හුවාවේ ෆෝන් වලට?

හුවාවේ කියන්නේ චීන මාදිලියක්. ඔවුන්ගේ ඔනර් වගේ තවත් සබ් බ්‍රෑන්ඩ් තියෙනවා. හුවාවේ වගේ චීන ෆෝන් නිසා ලෝකයේ ෆෝන් වල මිල සීඝ්‍රයෙන් අඩු වුනා. අද කාලේ ඇමරිකානු ඩොලර් සීයකටත් යම්තාක් දුරකට වැඩකරගන්න පුළුවන් ෆෝන් එකක් ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒකට සමාගම් අතර තියෙන තරඟෙත් හේතු වෙලා තියෙනවා. ඉස්සරහට හුවාවේ ෆෝන් වලට යන කල දවස නම් හොඳ වෙන පාටක් නැහැ. දැනට එක් එක් බජට් වලට හොඳ ෆෝන් රිවිව් කරද්දි ඉහළම වැඩිමිල ෆෝන් අතර මෙන්ම පහළම මට්ටම දක්වාත් හුවාවේ ෆෝන් තියෙනවා. ඒත් ඉස්සරහට හුවාවේත් ඒකේ සබ් බ්‍රෑන්ඩ් එහෙමත් ඒ රිවිව් වලින් හිමිහිට අයින් වේවි. ඇමරිකාව තමුන්ගේ මේ නියෝගය වෙනස් නොකළොත් හුවාවේ ෆෝන් අපේ ගෙවල් වල තිබුන පරණ රෙඩ් හාට් අයන් වගේ කෙමෙන් කෙමෙන් පැත්තකට යාවි.

 

4. 5ජී අපිට ලැබීම

Image Source – asia.nikkei.com

4ජී ආවා. ඇවිල්ලා දැන් ලංකාව වටේම පැතිරුණා. ඉන් පස්සේ තියෙන්නේ 5ජී. 5ජී වලට එද්දි දැනට ලෝකේ සාර්ථකම තාක්ෂණය තියෙන්නේ හුවාවේට. හුවාවේ සමාගමට මේවා ගැන පර්යේෂණ කරන්න වෙනමම විශාල යුනිවර්සිටි එකක් පවා තියෙනවා. ඔවුන් ඒවායේ පරීක්ෂණ කරලා අනෙක් එරික්සන්, නොකියා කම්පැණි වලට කලින් කොහොමහරි 5ජී සාර්ථකව ඉදිරිපත් කරන්නට සමත් වුනා. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හුවාවේට එදිරි නියෝගයටත් මේ 5ජී වෙළඳපොල හුවාවේ වෙත නැමීමත් හේතු වෙලා තියෙනවා කියලා ගොඩක් විචාරකයින් කියනවා. අපේ රටේ ටෙලිකොම් ජාල වලිනුත් වැඩි කොටහක් චීනයේ මේ හුවාවේ සමාගමේ උපකරණ වලින් දුවනවා. අපි වගේ රටවලට එරික්සන්, නොකියා වලට වඩා හුවාවේ ඇත්තටම මිල අඩුවෙනුත් ලැබෙනවා. දැන් මේ ඇමරිකාවෙන් එන මෘදුකාංග, චිප්සෙට් ආදී සහාය නැතිවුනාම 5ජී ලබාදෙන්න හුවාවේට අපහසු වෙනවා. වෙනත් විකල්ප හොයාගන්න ඉඩකඩ තිබුනත් අපි බලාපොරොත්තු වන ඉක්මනට 5ජී ඉදිරියේදි ලංකාවට එන එකක් නම් නැහැ.

 

5. අලුත් ෆෝන් මිල

ඇමරිකානු රජය විසින් හුවාවේ සමාගමට එරෙහිව නියෝග පැනෙව්වාට චීන අනෙක් ෆෝන් වලට තවමත් එතරම්ම අනතුරක් නැහැ. ඒත් දැන් තියෙන විදියට ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය දැඩිව යනවා. ඉදිරියේදී එහෙම අවුලක් ආවොත් ඇත්තටම මොබයිල් ෆෝන් නිපදවන්නට ඇමරිකානු සමාගම් වලට වෙනත් රටවල් සොයාගන්නට වේවි. ඒ එක්කම මොබයිල් ෆෝන් වල මිලත් ටිකක් වැඩිවේවි. එක ප්‍රධාන තරඟකරුවෙක් ඉවත්වීම කියන්නේ ක්‍රීඩාවකට උනත් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා ෆෝන් මාකට් එකට ගෝලීය වශයෙන් මේ හුවාවේ තහනම දැඩිව බලපානවා.

 

6. සැම්සුන් වලට කල්ල මරේ

දැනට හුවාවේ දෙවනි වෙලා හිටියේ මොබයිල් ෆෝන් මාකට් එකෙන් සැම්සුන් වලට විතරයි. සැම්සුන් සමාගමට තමුන්ගේ හිතේ හැටියට බිස්නස් පතුරුවන්න හුවාවේ බෑන් එක නිසා පුළුවන්කම ලැබෙනවා. වාණිජ යුද්ධය තියෙන්නේ ඇමරිකාව සහ චීනය අතර වුනත් මොබයිල් ෆෝන් වෙළඳාම අතින් නම් දැන් පේන විදියට ඉස්සරහට දිනන්නේ දකුණු කොරියාව තමයි. ඇමරිකාව හැරුනු විට අපි වගේ ආසියානු රටවලට හරියන්න චීනයේ සහය නැතිව ෆෝන් එකක් හදන්න පුළුවන් හැකියාව හොඳටම තියෙන්නේ දකුණු කොරියාවට. ඒ එක්කම ලංකාවෙත් හුවාවේ අප්සට් වෙද්දි සැම්සුන් ෆෝන් පාවිච්චි කරන අයගේ ආඩම්බරයත් තව ටිකක් වැඩිවේවි.

 

7. අලුත්ම ඇප් ස්ටෝර්, ඕ එස්

Image Source – huaweiupdate.com

දැනට ලෝකේ ජනප්‍රියම මොබයිල් ඕ එස් දෙකයි. එකක් ඇන්ඩ්‍රොයිඩ්, අනික අයි ඕ එස්. අපේ රටේ වුනත් ටිකක් යහමින් තියෙන අය ඇපල් ගත්තාට බොහෝ දෙනා පාවිච්චි කරන්නේ ඇන්ඩ්‍රොයිඩ්. ගූගල් වල සහාය නැතිව වුනත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් හදාගන්න පුළුවන්. ඒත් හුවාවේට ඒ අභියෝගය ජයගන්න හැකියාව තියේවිද? එහෙම නැතිව අලුත්ම මොබයිල් ඕ එස් එකක් එක්ක දීග යන්න හුවාවේට පුළුවන් වෙයිද? මොනව වුනත් හුවාවේ සමාගමේ ලොකු තැන් කියන විදියට හුවාවේ සමාගම ගේම් එක නිකම්ම අත අරින්නේ නැහැ. ඔවුන් අපිට දැනෙන විදියට වගේම අපිට හිතාගන්න බැරි විදියටත් මොබයිල් ෆෝන් මාකට් එකට, නෙට්වර්ක් බඩු මාකට් එකට බහින්නට පටන් ගනීවි. ඒ කියන්නේ අපිට අලුත් ඇප් ස්ටෝර්, ෆෝන් වගේ දේවල් ඉස්සරහට දකින්නට ලැබේවි.

 

8. මේ ප්‍රවණතාවය හොඳයිද?

විවෘත වෙළඳාමට සීමා මායිම් දැඩි ලෙස පැනවීම වෙළඳාමට හොඳ දෙයක් නෙමෙයි. ඒක තාක්ෂණිකව ලෝකේ දියුණුවටත් සැරටම බලපානවා. ඒත් මේ වැඩේ පටන් ගත්තේ ඇමරිකාව නෙමෙයි. අපි පාවිච්චි කරන ෆේස්බුක්, ට්විටර්, වට්සැප් ආදිය වෙනුවට චීනය වෙනමම එයාලගේ නිෂ්පාදන තියාගත්තා. චීනය තුළ විශාල ෆයර්වෝල් එකක් මගින් වෙනත් රටවල ඇප් නැතිව ඒ රටේම දේවල් සහිත චීන ෆෝන් එකක් චීන රජය විසින් චීන ජනතාවට හඳුන්වා දුන්නා. චීනය බිලියනයකට අධික ජනගහණයක් සිටින රටක්. ඉතින් ඇමරිකානු සමාගම් වලට චීනය තුළ මීට වඩා ව්‍යාපාරික අවස්ථා කරන්න ඉඩක් තිබුනා නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙවැනි නියෝගයක් පනවන්න අවශ්‍යතාවයක් ඇතිවෙන එකකුත් නැහැ.

 

කොහොම වුනත් චීනය කියන්නෙ නිහඬ ඒත් ප්‍රබල රටක්. හුවාවේ සමාගම පුන පුනා කියනවා චීන රජය සමග ඔවුන්ට ගනුදෙනු නැහැ කියලා. ඒත් ඇත්තටම චීනයේ දියුණු වෙන ව්‍යාපාරයක් තියෙනවා නම් ඒක සැබැවින්ම චීන රජයට කුමක් හෝ සම්බන්ධකම් ගොඩක් එක්ක ගොඩනැගෙන දෙයක් කියන එක ලොකු රහසක් නෙමෙයි. ඉස්සරහට හුවාවේට මොකද වෙන්නේ? චීනෙට මොකද වෙන්නේ? ඇමරිකාව තමුන්ගේ මුරණ්ඩු ගති අත හරියිද? රැඳෙන්න ලයිෆි අපි එක්ක. ලංකාවේ තොරතුරු වගේම තාක්ෂණික, ආර්ථික ලෝකයේ සිදුවෙන වෙනස්කම් ගැනත් ඔයාලව දැනුවත් කරන්න අපි බලාගෙන ඉන්නවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *