ලංකාවේ ඉඳලා වීසා නැතුව යන්න පුළුවන් රටකට නිවාඩුවට ගිහින් එමුද?

ලංකාවේ ගොඩක් දෙනෙක්ට පිටරටකට යනවා කියන එක හීනයක් වගේ. එතකොට නිකම් නිවාඩුවක් අල්ලලා වෙන රටකට ටුවර් එකක් ගිහිල්ලා එනවා කියන්නේ ආයෙ හිතාගන්න බැරි හීනයක් වගේ. හැබැයි මේ කියන්නේ ලංකාවේ හැමෝම ගැන නෙවෙයි. හරි, ලංකාවේ සමහරුන්ට වෙන රටකට යන්න මුදලක් වියදම් කරන්න තරම් ආර්ථික ශක්තියක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඇත්තම කථාව මේකයි. සමහර රටවල් වලට යන්න ගේදොර උගස් තියන්න ඕන නෑ. ඒත් ගොඩක් දෙනෙක් එහෙම හිතන නිසාම කවදාවත් වෙන රටකට නිවාඩුවට හරි ගිහින් එන්න හිතන්නෙත් නෑ. අන්න ඒ නිසා, එහෙම අයව පොඩ්ඩක් ධෛර්යමත් කරන්නත් එක්ක අපි හිතුවා ඊළඟ නිවාඩුවට ගිහිල්ලා එන්න රටවල් කීපයක් සහ ඒ රටවලට ප්ලේන් ටිකට් එකේ ගාණත් සඳහන් කරන්න ඕන කියලා.

තවත් දෙයක්, මේ රටවල් හැම එකකටම ලංකාවේ ඉඳලා වීසා කරදරයක් නැතුව යන්න පුළුවන් තැන්. සමහර ඒවා ඔන්ලයින් වීසා. සමහර ඒවා ඒ රටට ගොඩබහිනකොටම දෙන වීසා. කොටින්ම කිවුවොත් ශ්‍රී ලංකා පාස්පෝට් එකට වීසා ෆ්‍රී රටවල්.

 

1. Indonesia

Image Source – arcadis.com

සුන්දර ආසියාතික රටක් වෙන ඉන්දුනීසියාවට යන්න ශ්‍රී ලංකා පාස්පෝට් එකක් හිමිකාරයෙක්ට වීසා අවශ්‍ය නෑ, දවස් 30ක් යනකල්. සුන්දර මුහුදු වෙරළ, වනාන්තර වගේම පුරා වස්තු සහිත භූමීන් වගේ දහසකුත් එකක් දේවල් බලන්න තියෙන ඉන්දුනීසියාවේ තමයි බොරෝබුදූර් සහ ප්‍රම්බානන් ස්ථූප සංකීර්ණයන් තියෙන්නේ. එතකොට ඉන්දුනීසියාවේ තියෙනවා තවමත් සක්‍රිය ගිණිකඳු. මේ ගිනිකඳු වලට හයික් යන්නත්  හැකියාව තියෙනවා. ඒ වගේම වන රක්ෂිතයන් බලන්න යන්න, කඳු මුදුනක ඉඳන් ඉර උදාව බලන්න, මුහුදු වෙරළේ විවේකයෙන් කල් ගෙවන්න වගේම රාත්තිරියේ බීච් පාටි එකකට සෙට් වෙලා ඇති වෙනකල් ෆන් ගන්නත් පුළුවන්. ඉන්දුනීසියාවට ගිහිල්ලා එන්න ප්ලේන් ටිකට් එක රුපියල් පණස්දාහක් වෙනකොට ගොඩදාගන්න පුළුවන්. සමහර කාල වලට ඊටත් අඩුවෙන් ලැබෙන්නත් ඉඩ තියෙනවා.

 

2. Kenya

Image Source – worldtravelguide.net

කෙන්යාව කියන්නේ අප්‍රිකාවේ තියෙන වනගහණ පාරාදීසයක්. විශේෂයෙන්ම වනසතුන් බලන්න එහෙම ආස කෙනෙක් නම්, කෙන්යාව කියන්නේ ගිහින් ආ යුතුම රටක්. සිංහයොන්ගේ ඉඳන් කුළු මීමුන් දක්වා ගැවසෙන වනරජදහනක සෆාරියක් ගිහින් එන්න පුලුවන්. කිලිමන්ජාරෝ කන්දට පස්සේ අප්‍රිකා මහාද්වීපයේ තියෙන උසම කන්ද වෙන කෙන්යා කඳුවැටිය නගින්න යන්න පුළුවන්. සුන්දර වෙරළ තීරයකට වෙලා ඈතින් ඉර පායන උදෑසනක් අත්විඳින්න පුළුවන්. ලුනටික් එක්ස්ප්‍රස් කියලා හැඳින්වෙන කෙන්යා වනාන්තර තැනිතලාවන් අතරින් දිවෙන නයිරෝබි-මොම්බාසා දුම්රියේ චාරිකාවක් ගිහින් එන්නත් පුළුවන්. කෙන්යාවට යන්න ශ්‍රී ලංකාවෙන් ඊ වීසා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඊ වීසා මාස තුනකට වලංගුයි. එතකොට රුපියල් 87,000 ක් වගේ වෙනකොට කෙන්යාවට යන්නත්, ගිහින් එන්නත් ටිකට් ගන්න පුළුවන්.

 

3. Maldives

Image Source – cntraveller.com

අපිට කිට්‍ටු රටක් වෙන මාලදිවයිනෙන් ඕන තරම් කට්ටිය ඇඳුම් අරගෙන යන්නත් ලංකාවට එනවා. හැබැයි අපි මාලදිවයිනට ගිහින් තියෙනවද? ඇත්තටම මාල දිවයින කියන්නේ එක පාරක් හරි ගිහින් බලලා එන්න ඕන සුන්දර දිවයින් සමූහයක්. විශේෂයෙන්ම මාලදිවයින් වල තියෙන මුහුදේ සහ මුහුදු වෙරළේ සුන්දරත්වයට සම කරන්න පුළුවන් වෙනත් තැන් නැති තරම්. ඒ වගේම මාලදිවයින් ගිහිල්ලා මුහුදේ කිමිදෙන්න, බෝට්‍ටු සවාරි, වතුරේ පාවෙවී ඉන්න වගේ සෑහෙන්න දේවල් කරන්න පුළුවන්. මුහුදු වෙරළේ හදපු කබානා එකක් ඉස්සරහා හාන්සි පු‍ටු දෙකක් තියාගෙන දෙන්නත් එක්ක ඉර බහින හැටි බලාගෙන හිටියත් සැපයි. විශේෂයෙන්ම හනිමූන් එකකට නම් මෙන්න කියාපු පැත්ත. මාලදිවයිනට යන්න වීසා ලැබෙනවා එහේ එයාර්පෝර් එකෙන්ම. එතකොට ගිහින් එන්න එයාර් ටිකට් එක රුපියල් 40,000 ක් වගේ වෙනකොට ගොඩදාගන්න පුළුවන්. හැබැයි ඒ ගාණ සමහර කාල වලට සෑහෙන්න අඩු වෙනවා කියලත් මතක තියාගන්න ඕන.

 

4. Nepal

Image Source – .rei.com

ඉන්දියාවට ඉහතින් පිහිටලා තියෙන නේපාලය කියන්නේ ආගමික, සංස්කෘතික විවිධත්වයත් එක්ක එන අපූරු සුන්දරත්වයක් වගේම සොබාවික සුන්දරත්වයෙන්ද පිරිපුන් අපූරු රටක්. නේපාලයේ විසිරිලා තියෙන ප්‍රසිද්ධ සිද්ධස්ථාන දැකබලාගන්න, අන්නාපූර්ණා කඳුවැටියේ ඇවිදින්න යන්න, හිමාලය පාමුල දුෂ්කර සුන්දරත්වය අත්විඳින්න පා ගමන් යන්න වගේම කත්මණ්ඩු, පටාන්, භක්තපූර් වගේ නගරවල ඇවිදින්න වගේ තව සෑහෙන්න දේවල් නේපාලයේ කරන්න තියෙනවා. රටට ඇතුළු වෙනකොටම ශ්‍රී ලංකා පාස්පෝට් එකට වීසා දෙන නේපාලයේ ඒ වීසා එකෙන් දින 90ක්, ඒ කියන්නේ මාස තුනක් වගේ ඉන්න පුළුවන්. නේපාලයට ගිහින් එන්න රිටර්න් එයාර් ටිකට් එක වෙන්නේ 70,000ක් වගේ ගාණක්. සමහර කාල වලට තවත් අඩුයි.

 

5. Samoa

Image Source – cntraveller.com

ඔස්ට්‍රේලියාවටත් සෑහෙන්න එහායින්, නිමක් නැහැ කියලා දැනෙන ශාන්තිකර සාගරය මැද්දේ පිහිටලා තියෙන පුංචි දූපත් රටක් වෙන සමෝආ අයිති වෙන්නේ පොලිනීසියානු දූපත් වලට. ටිකක් ගණන් වැඩි වුනත් අන්න ගිහින් බලලා එන්න දූපත් රාජ්‍යයන්. ගිණිකඳු, මහා වන ගහණ, සුන්දර වෙරළ තීරයන් ඇතුළු සොබාවික සෞන්දර්යය අත්විඳින්න කැමති අයට වගේම අපූරු පොලිනීසියානු සංස්කෘතිය අත්විඳින්නත් කැමති නම් සමෝආ තමයි යන්නම ඕන තැන. හැබැයි ඉතින් ලංකාවේ ඉඳලා යන එක ටිකක් වෙහෙසකරයි. ලංකාවට සම්පූර්ණයෙන්ම එහා ලෝකේ අනෙක් කොණේ මුහුද මැද්දේ පිහිටලා තියෙන සමෝආ දූපත් වලට යන්න දවසකටත් වැඩියෙන් ගත වෙනවා. සමහර වෙලාවට ෆ්ලයිට් කීපයකින්ම මාරු වෙවී යන්න වෙයි. රුපියල් ලක්ෂ දෙකකට වැඩි ගාණක් වැය වෙයි. හැබැයි මේ ට්‍රිප් එක ඊට වඩා දාස් ගුණයක් වටීවි. ලංකාවේ පාස්පෝට් එකක් තියෙන කෙනෙක්ට සමෝආ වලට ඇතුළු වෙනකොටම දවස් 60 කට ඇතුළු වීමේ බලපත්‍රයක් දෙනවා.

 

6. Singapore

Image Source – forbes.com

එක්තරා කාලෙක සිංගප්පූරුව කොයි තරම් නොදියුණුද කිවුවොත්, ඒ අය හිතුවේ කවදාහරි කොළඹ වගේ වෙනවා කියලා. ඒකට කොළඹ ක්‍රමය කියලා ප්ලෑනකුත් ගැහුවා. දැන් හැබැයි සිංගප්පූරුව තියෙන තත්ත්වේ බලනකොට අපිට ඒ කතාව ගැනම ලැජ්ජ හිතෙනවා. ඇයි? සිංගප්පූරුව කියන්නේ ආසියාවේ තියෙන සුරපුරයක් වගේ දියුණු රටක්. සංචාරය කරන්නත් මරු. යන්න එයාර් ටිකට් එකත් මාරම ලාබයි. හැබැයි ඉතින් ගිහිල්ලා කරන කියන දේවල් වලට නම් ටිකක් මුදල් වියදම් වෙන්න පුළුවන්. සිංගප්පූරුවේ කරන්න දහසකුත් එකක් දේවල් තියෙනවා. සන්ටෝසා දූපතේ ‍ටුවර් එකක් දාලා, මැඩම් තුසාඩ් කෞතුකාගාරෙට එහෙමත් ගිහින් එන්න පුළුවන්. යුනිවර්සල් ස්‍ටුඩියෝ බලන්න යන්න පුලුවන්. සත්ත්වෝද්‍යානය බලන්න යන්න පුළුවන්. නගරයේ නයිට් සෆාරියක් දාන්න පුළුවන්. රිදෙන්න ෂොපින් කරන්නත් පුළුවන්. සිංගප්පූරුවට ගිහින් එන්න එයාර් ටිකට් එක 40,000ක් විතර වෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ ගණන් අවුරුද්ද පුරාවට වැඩි වෙනවා වගේම තවත් අඩු වෙනවාත් කියන එක. ශ්‍රී ලංකා පාස්පෝට් හිමියෙක්ට අවුරුද්දක් යනකල් සිංගප්පූරුවට වීසා අවශ්‍ය නෑ.

 

7. Uganda

Image Source – forbes.com

උගන්ඩා කියන්නේ අප්‍රිකානු මහාද්වීපයේ තියෙන තවත් ප්‍රශ්න ගැටළු තිබුණු/දැනටත් තියෙන රටක්. හැබැයි අප්‍රිකානු රටකට ගිහිල්ලා එන්න කැමති කෙනෙක්ට උගන්ඩාව ගැලපෙනවා. විශේෂයෙන්ම පහුගිය ආණ්ඩුව කාලේ එහෙම බොහොම ලඟින් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා එහෙමත් උගන්ඩාව එක්ක තිබුණනේ. උගන්ඩාව සම්පූර්ණයෙන්ම වෙනත් රටවලින් වට වෙලා තිබුණත්, වික්ටෝරියා විලෙන් වැඩි හරියක් වගේම ඇල්බට් විලෙන් කොටසකුත් උගන්ඩාවට අයිතියි. ගොරිල්ලාවුන් බලන්න යන්න, මහා වනාන්තර වල සෆාරි යන්න, වික්ටෝරියා විලේ තියෙන පුංචි පුංචි දූපත් වල සවාරි යන්න වගේ සෑහෙන්න දේවල් උගන්ඩා වලත් කරන්න තියෙනවා. උගන්ඩාවට ගොඩබහිනකොටම මාස 3 කට වීසා දෙනවා. රුපියල් 130,000 ක් වගේ වෙනකොට උගන්ඩාවට ගිහින් එන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *