කාලය ගතවෙද්දි ලෝකයේ බොරු වෙච්ච අදහස් 7ක්

ඉස්සර යුරෝපයේ හැම ගෙදරම වගේ අශ්වයෝ හිටියට කාර් තිබුනෙ පෝසත් ගෙවල්වල විතරයි. දැන් හැම ගෙදරම කාර් තිබුනට අශ්වයො ඉන්නෙ පෝසත් ගෙවල්වල විතරයි. එවුව එහෙම තමයි මල්ලි. අශ්වයෝ ගැන කතා කරන්න ඕන නෑ. අපි කතා කරමු මේකට ටිකක් ලඟින් යන දෙයක් ගැන. ඒ තමයි ඒ කාලේ තාක්ෂණික වශයෙන් ප්‍රාඥයො දැඩි පදනම් සහිතව ප්‍රකාශ කරපු මත මේ වෙද්දි බිඳිලා තියෙන හැටි ගැන. ඇත්තටම බොහෝදෙනෙක් නොවැදගත් කියල හිතපු දේවල් මේ මොහොත වෙද්දි අපිට අත්හරින්නට බැරි තරම් සමීප වෙලා. මේ මොහොතෙ කවුරු හෝ අපිට මේ දේවල් අත්හරින්න කිවුවොත් අපි ඒ වෙනුවෙන් දැඩි ලෙස විරුද්ධ වෙන්න තරම් ඒ දේවල් අපිට උපයෝගී වෙලයි තියෙන්නෙ. පුදුමයි නේද එහෙම දේවල් තියෙනව කියන එක ගැන. පුදුම නොවී කියවන්න. අපි මේ මොහොතෙ හරියන්නෙ නෑ කියල හිතන කොයිතරම් දේවල් තව කාලෙකට පස්සෙ ලෝකෙ මිනිස්සුන්ට නැතුවම බැරි වෙයිද? මේ අතීතෙ එහෙම තත්ත්වයක් ගැන වර්තමානෙ කතාව.

 

1. හෑන්ඩ්ෆෝන් මොකටද ලෑන්ඩ්ෆෝන් තියෙද්දි

ඔවු හෑන්ඩ්ෆෝන් ගැනත් මේ විදියෙ කතාවක් තියෙනව. ඒ තමයි ලෑන්ඩ්ෆෝන් නිසා හෑන්ඩ්ෆෝන්වලට ඉඩක් නැතිවෙයි කියන එක. ඒ වුනත් දැන් වෙද්දි ඉන්න මිනිස්සු ගාණට වඩා හෑන්ඩ්ෆෝන් තියෙනවා. වෝකි-ටෝකි එකකට වඩා තරමක් ඇඩ්වාන්ස්ඩ් දෙවැනි ලෝක යුද්ධෙ වාහනවලට සවි කරපු සීමාසහිත තාක්ෂණයක් විදියට තමයි මේක නිකුත් වෙන්නෙ. ඊටපස්සෙ ලක්ෂරි වාහන වෙනුවෙන් නිකුත් වෙනවා. 1973දි මෝටරෝලා එකේ පර්යේෂක මාටින් කූපර් කිලෝ එකකට වඩා බර ජංගම දුරකතනයකින් ගන්නව බෙල් ලැබ්ස්වලට කෝල් එකක්. ඒ ගන්නෙ තමුන්ගෙ තරගකාරයට තමුන් ඒ වැඩේ මුලින්ම කරපු බව පෙන්වන්න. ලොකු කමට. ලොකුකමට කෝල් එක ගත්තට මොකද ඔහුම කියනව මේකනං රැහැන් සහිත ලෑන්ඩ්ලයින් ටෙලිෆෝනය මිනිස්සුන්ගෙන් මගහරවන්න හේතුවක් නොවෙන බව. ඒක බොරු වුනානෙ ඉතිං.

 

2. ගෙදරකට කම්පියුටරයක් වැඩක් නෑ

මීට අවුරුදු විස්සකට කලින් වගේ තමයි මධ්‍යම පාන්තික පවුල් ඇතුළෙ ගෙවල්වලට ටිකෙන් ටික කම්පියුටර් එන්න පටන්ගත්තෙ. වින්ඩෝස් 95 එක්ක සුළුතරයකට තිබුනු මතක 2005 වෙද්දි සැළකිය යුතු තරමකට වැඩි වෙලා. මේ වෙද්දි බොහෝ රැකියා පරිගණක ආශ්‍රිතව සිද්ධ වෙන්න අරගෙන. ප්‍රධාන විනෝද සැපයුම් මාර්ගයත් පරිගණකයටම සින්න වීමත් සමග බොහෝදෙනා අමතර ආදායමක් සොයන විදියත් පරිගණකය විසින්ම ගිලගත්තු නිසා දැන් නිවසක පරිගණකයක් නැති වෙන්නෙ නැති තරම්. හැබැයි 1977දි කෙන් ඕල්සන් හිතුවෙ තමුන්ගෙ ක්ෂේත්‍රය වුනත් පර්සනල් කම්පියුටර්ස් මිනිස්සු නොගනීවි කියලයි. මේ වෙද්දි ලෝකෙ ඉන්න මිනිස්සු බිලියන 7ට බිලියන දෙකක් පර්සනල් කම්පියුටර්ස් තියෙනවා.

 

3. ඔන්ලයින් ෂොපින් හරියන්නෙ නෑ

දැන් කවුද ඔන්ලයින් ෂොපින් නොකරන්නෙ? ​පොත්පත්, දරුවන්ට සෙල්ලම්බඩු, ෆැෂන් අයිටම්ස් වගේම ගෙදර දොර ආහාරපාන පවා ගෙදරටම ගේන විධි ක්‍රම මේ වෙද්දි සැළසුම් වෙලා ඉවරයි සහ ඒවාට මිනිසුන් අනුගත වෙලා ඉවරයි. විදේශයන්ගෙන් වගේම රට තුළත් ක්‍රියාත්මක වන නොයෙකුත් සේවාවන් රස්තියාදුව, මග වියදම වගේම කාර්යබහුලත්වයට විසඳුමක් විදියට මේ ක්‍රමයට පණ දෙනවා. 1994දි පටන්ගත්තු මේ වැඩේ ගැන ඊට අවුරුදු 5කට පස්සෙත් හිතලා තියෙන්නෙ ඇද වැටෙන ව්‍යාපාරයක් විදියටයි. නමුත් මේ වෙද්දි ලෝකයේ ඉහළින්ම ඉන්න ධනවතුන් මේ ව්‍යාපාර ක්‍රමවේදය නිසා දියුණුවක් ලබා තිබෙනවා.

 

4. කමියුනිකේෂන් සැටලයිට්

සැටලයිට් නැත්තං කොරයි. සැටලයිට් නිසා කොයිතරම් සේවයක් වෙනවාද කියන එක ලේසි විදියකට කියන්න බෑ. කොටිම්ම මේ ලෝකෙ ෆෝන් එකක්වත් පාවිච්චි නොකරන මනුස්සයෙකුට පවා සැටලයිට්වලින් සේවයක් වෙනවා. රටකට සැටලයිට්වලින් තියෙන ප්‍රයෝජන කොයිතරම්ද කියන දේ සහ අවශේෂ කාරණා හිතලා බැලුවොත් අපි මේ කියන්න යන්නෙ මේ මොහොතෙ මිනිස් ජීවිතය සහ ලෝකය මේ තරම් ෂේප් එකේ තියෙන්න බලපාපු හොඳම තාක්ෂණික නිෂ්පාදනයක් ගැන වෙන්න පුළුවන්. 1961දි රුසියාවෙන් ස්පුට්නික් සැටලයිට් යවද්දි මේ කමියුනිකේෂන් සැටලයිට් නිසානං මහ සෙතක් වෙන එකක් නෑ කියන කතාව කියවුනා. ලෝකයට තියා අඩුම තරමෙ ඇමරිකාවටවත් වැඩක් නැති වෙයි කියල කියපු කතා බොරුවුනේ ඊට අවුරුදු තුනකට පස්සෙ ඇමරිකාව ලයිවු ටීවී බලපු නිසායි. කොහොමහරි ලෝකෙම තනි ගම්මානයකට වෙලා මෙවුව අහන එකත් විහිළුවක්.

 

5. අශ්වයෝ තමයි වැඩේ

කොහොමත් අපි ඉන්ට්‍රො එකේ කියපු අශ්වයො කතාව මෙතනටත් අදාළයි. ඇත්තටම ඒ කාලෙ තිබුනු අදහස වුනේ කොච්චර කාර් තිබුනත් මිනිස්සු අස්සයො අතෑරලා කාර්වලට හුරු වෙන එකක් නැති වෙයි කියන එක. 1885දි පළවෙනි කාර් එක කාල් බෙන්ස් හැදුවට පස්සෙත් කාලයක් යනකංම මේ වගේ පැයට කිලෝමීටර් 23ක් තරං වේගෙකින් යන භයංකර වාහන ගැන මිනිස්සුන්ගෙ හිතේ තිබුනෙ බයක්. ඉතිං එයාලා හිතුවෙම නෑ අස්සයොන්ව රිප්ලේස් වේවි කියල.

 

6. න්‍යෂ්ටික බලය

ඇල්බට් අයින්ස්ටයින් කියන්නෙ ලෝක පූජිත විද්‍යාඥයෙක්. හොයාගත්තු නිමක් නැති දේ අතරෙ අයින්ස්ටයින් න්‍යෂ්ටික බෝම්බ සහ බලය ගැනත් පර්යේෂණ සිදු කරනවා. ඒ අතුරින් 1934 අවුරුද්දෙ ඔහු පලකළ පර්යේෂක සටහනක තියෙන්නෙ න්‍යෂ්ටික බලය මොන විදියට ප්‍රයෝජනයට ගත හැකි වේදැයි ගැන අදහසක් නැති නිසා එයින් ප්‍රයෝජනයක් තියෙන බව තමන් නොසිතන විත්තියයි. හැබැයි ඉතිං මේ වෙද්දි ලෝකය පුරාම න්‍යෂ්ටික බලාගාර තියෙන විත්තිය නොරහසක්.

 

7. ඕල්ටර්නේටිවු කරන්ට් වියද​ම

එඩිසනුයි ටෙස්ලායි අතරෙ ඇවිළුනු කරන්ට් එක සම්බන්ධ සටන ඕල්ටර්නේටිවු කරන්ට් සොයාගත් ටෙස්ලා දිනූ බව මේ වෙද්දි ලෝකයට හෙළිවී අවසානයි. දිගු දුරකට යැවිය හැකි ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාව ගැන එඩිසන් සහ ලෝකයේ බොහෝ දෙනා කියූ මතය වුනේ මේක ගැන පර්යේෂණ කිරිල්ල බොරු වැඩක් බවත්, මේක ලෝකයටම හානිකර භයානක දෙයක් විත්තියත්, මේක වියදම් අධික ව්‍යාපෘතියක් පමණක් බවත්. ඉතිං ඒ අදහස් ඔක්කොම අද වෙද්දි බොරු වෙලා තියෙන බව මේ ආටිකල් එක කියවන ඔයාලා දන්නවනෙ.