සුන්දර සමක් ලබාගැනීමට භාවිතා කළ යුතු බියුටි ප්‍රඩක්ට්ස් මොනවාද?

අපේ ගෑණු ළමයිනුයි කාන්තාවොයි හිතන් ඉන්නෙ සුදු වෙන එක තමා ලස්සනම කියල. ඔය සුදු වෙන්න ගාන බ්ලීචින් ක්‍රීම් වල තියෙන රසායන වලින් හමට වෙන්නෙ සුළුපටු හානියක් නෙවෙයි. ලස්සන කියන්නෙ හමේ පැහැපත්කම, පිරිසිදුකම සහ නිරෝගී බව. ඉස්සර කාලෙ උදවිය ක්‍රීම් ජාති නොගෑවට ගලේ උරච්චි කරපු සුදුහඳුන්, මීරි කිරි, කහ, කොකුම් පොතු, කොහොඹ වගේ ස්වභාවික සත්කාර වලින් තමන්ගෙ සම රැකගත්ත. ඊට අමතරව ආහාරයට එකතු කරගත්තෙ වස විස නැති එළවළු, පලා කොළ, පළතුරු. දැන් අපේ තියෙන කාර්යබහුලකමත් එක්ක කහ, සුදු හඳුන් උරච්චි කරන්නයි කොහොඹ ගලේ අඹරන්නයි වෙලාවක් නෑ. කන්න බොන්නත් වසවිසෙන් තොර ජාති නෑ. ඒ නිසා සමේ නිරෝගීකම රැකගන්න කෘත්‍රිම ආලේපන පාවිච්චි කරන්න වෙනව.

හැබැයි එහෙමයි කියල අතට අහුවෙන ඕන ක්‍රීම් එකක් මූණෙ අතුල්ලන්න හුරු වෙන්න එපා. අනික සම කියන්නෙ මුහුණේ සම විතරක් නෙවෙයි, මුළු ශරීරයේම සමේ නිරෝගීකම ගැන හිතන්න ඕන. අද අපි මේ කියන්න හදන්නෙ ඔයාලා සල්ලි වියදම් කරල ගෙනාවට හරි විදියට පාවිච්චි කරන්න නොදන්න බියුටි ප්‍රඩක්ට්ස් හරි පිළිවෙලට කොහොමද පාවිච්චි කරන්නෙ කියන එක ගැනයි.

 

“මතක් කිරීමක්”

Image Source – health.com

ඔබට තියෙන්නෙ කලින් බ්ලීචින් ක්‍රීම් ගාල හානි වුන සමක් නම් නැවත කිසිම රූපලාවන්‍ය නිෂ්පාදනයක් ආලේප කරන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න. හානි උන සමක් යථා තත්ත්වයට ඇවිත් මාස තුනක්වත් ගත වෙනකම් සමට විවේකයක් දිය යුතුයි.

 

ඔයාගෙ සම මොන වගේ සමක්ද?

Image Source – adnacristinabeauty.co.uk

සමේ ස්වභාවය, ඒ කියන්නෙ තෙල් සහිත සමක්ද, සාමාන්‍ය සමක්ද නැත්නම් වියලි සමක්ද කියල මුලින්ම දැනගෙන ඉන්න. මූණෙ ගාන්න ක්‍රීම් ජාති ගන්න කලින් සම හඳුනාගෙන ඉන්න මෙන්න මේ ලින්ක් එකේ විදියට.

අනිත් කාරණය තමයි ඔයාගෙ සම මොන වගේද කියන එක දැනගත්තට පස්සෙ ඔයා ගන්න ස්කින් ප්‍රඩක්ට්ස් එකම වර්ගයකින් අරගන්න එක. එක එක වර්ග වලින් පාවිච්චි කරනවට වඩා එකම වර්ගයක නිෂ්පාදන ලබාගන්න. ආසියාතික අපේ හමට යුරෝපා හෝ බටහිර රටවල නිෂ්පාදන ඒ තරම් හොඳින් ගැලපෙන්නෙ නෑ. ඒ නිසා දේශීය හෝ ඉන්දීය නිෂ්පාදන ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

 

1. මුලින්ම ක්ලෙන්සර් (Cleanser)

Image Source – lorealparisusa.com

ක්ලෙන්සර් එකකින් සම පිරිසිදු කරනව. සම ඇතුළට කාවැදුණු කුණු දූවිලි පවා ක්ලෙන්සර් එකකින් ඉවත් කෙරෙනව. රාත්‍රියට නින්දට පෙර සම පිරිසිදු කරන්න ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න. රැකියාවට යන යුවතියක් නම් ඔයා පාවිච්චි කරන මේකප් වගේම සමේ තැන්පත් වෙන දුම්, දූවිලි සහ කුණු ආදිය ඉවත් කර ගැනීමට ක්ලෙන්සර් එකක් භාවිතා කළ යුතුමයි. දවසම ගෙදර රැඳෙන ගෘහණියක් උනත් කුස්සියේ උයන පිහින වැඩ වලදි තෙල් සහිත දුමට සම නිරාවරණය වෙන නිසා ක්ලෙන්සර් එකක් රාත්‍රියේදි සම පිරිසුදු කරගන්න අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඒකෙන් සමේ කුරුළෑ ඇති වීම වැළැක්වෙනව.

 

2. දෙවනුව ෆේස් වොශ් (Face Wash)

Image Source – sasa.com

ක්ලෙන්සර් එකකින් සමේ සිදුරු විවර කරල සම තුළට කාවැදුණු කුණු දූවිලි ඉවත් කළාට ස්වභාවයෙන් සමේ රැඳෙන තෙල් සහ කුණු ඉවත් කරන්න ෆේස් වොශ් එකක් පාවිච්චි කරන්න ඕන. ෆේස් වොශ් එකේ පෙන නැගෙන සබන් ගතිය අඩංගු නිසා සමේ සිදුරු තුළ ඇති තෙල් ගතියෙන් යුතු කුණු දූවිලි ඉවත් කරල සම තවත් පිරිසිදු කරනව.

 

3. ඊළඟට ටෝනර් (Toner)

Image Source – today.com

එච්චර වැදගත්කමක් නොදෙන නමුත් ඔයාලගෙ සමේ පැවැත්මට වැදගත්ම නිෂ්පාදනයක් තමා ටෝනර්. ක්ලෙන්සර් සහ ෆේස් වොශ් වලින් පිරිසිදු කිරීමට ඇරුණු සමේ සිදුරු වසා, සමේ තෙතමනය රැකගෙන, සමට පෝෂණයක් ලබාදෙන ටෝනර් එක සමට අවශ්‍යම නිෂ්පාදනයක්.

 

4. ඔයාට තියෙන්නෙ කුරුළෑ සහිත සමක් නම් ඊළඟට මේ පියවර

Image Source – steemkr.com

ඇන්ටි ඇක්නේ නිෂ්පාදන, එහෙමත් නැත්නම් කුරුළෑ මර්දන නිෂ්පාදන. ඔබ කුරුළෑ සඳහා පාවිච්චි කරන ආලේපන තියෙනවා නම් ටෝනර් එකෙන් පසුව ඒවා ආලේප කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

 

5. පස්වන පියවර සීරම් (Serum)

Image Source – elkamael.com

ඇන්ටි ඇක්නේ ආලේපයෙන් පසුව හෝ කුරුළෑ වලට ප්‍රතිකාර නොකරන කෙනෙක් නම් ටෝනර් එකෙන් පසුව සම මත සීරම් ආලේප කරන්න. මෙයින් සමට අවශ්‍ය පෝෂණය නිසි පරිදි සමට ලබා දෙනව. සීරම් එකක් භාවිතය වැදගත් වෙන්නෙ වයස අවුරුදු 30ට වැඩි අයට. ඔයාලත් එක්කම වයසට යන සමට බාහිරින් ලැබිය යුතු පෝෂණය සහ තෙතමනය පහසුවෙන් ලබාගන්න සීරම් උදව්වක් වෙනව.

 

6. අන්ඩර් අයි ක්‍රීම් (Under Eye Cream)

Image Source – lorealparisusa.com

බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන වල ඇස් වටා භාවිතයෙන් වළකින්න කියල ලියල තියෙන බව ඔයාල දකිනව ඇති. ක්ලෙන්සර් සහ ටෝනර් එහෙම ඇස් වටේ පාවිච්චි නොකරන දේවල්. ෆේස් වොශ් එකකින් පමණක් ඇස් වටා පිරිසිදු කිරීම ප්‍රමාණවත්. ඇස් වටා සම ඉතාම සියුම් සහ සංවේදියි. මේ නිසා ඇස් යට සමේ තෙතමනය රැකගන්න, රැලි වැටීම සහ කළු වීම වළක්වන්න ඒ සඳහාම නිපදවූ ක්‍රීම් වර්ග තියෙනව.

 

7. අවසාන වශයෙන් මොයිස්චරයිසර් (Moisturizer)

Image Source – nivea.co.uk

සමේ තෙතමනය රැකගැනීමෙන් සම වියලීම වළකා සම රැලි වැටීම, අකලට සම වයසට යෑම වළක්වනව. මොයිස්චරයිසර්, නයිට් ක්‍රීම් සහ ඩේ ක්‍රීම් වශයෙන් ලබාගන්න පුළුවන්. දහවල් කාලයේදී ආලේපයට සම හිරු කිරණින් ආරක්ෂා කරන මොයිස්චරයිසර් එකක් නම් වඩාත් සුදුසුයි. මුහුණට වෙනමත් ශරීරයේ ආලේපයට වෙනමත් මොයිස්චරයිසර් පාවිච්චි කරන්න. මුහුණේ සමට පමණක්ම අවධානය යොමු නොකර ශරීරයම වසා සිටින සමේ නිරෝගීකම රැකගන්න උත්සහ කරන්න.

 

Cover Image Source – beautyheaven.com.au/ essence.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *