ඉස්සර කාලෙ කාන්තාවන්ගේ හැඩ රුව විස්තර කරද්දි කොණ්ඩෙට හිමිවුණේ විශේෂ තැනක්. කාන්තාවකගේ ලස්සන මනින පංචකල්යාණියෙනුත් එකක්නෙ කේශ කල්‍යාණිය කියන්නෙ. ඔය නීල වරල ගැන දන්න ඔක්කොම ආලවට්ටම් දාල ඒ කාලෙ කවි, කතන්දර ලිව්වට අද මේ විසි එක්වෙනි ශතවර්ෂය වෙද්දී නම් කොණ්ඩේ වවන එකට වඩා කපන එක ගැන තමයි කාන්තාවෝ උනත් උනන්දු. ඉස්සර වගේ උල්පත් වතුර නැති, ක්ලෝරීන් වතුරෙන් නාන, කාර්යබහුල ජීවිත එක්ක එකඅතකට කොණ්ඩයක් නඩත්තු කරන්න කාලය, ශ්‍රමය කැප කරන්න අමාරුයි තමයි. අනික ලෝකෙ හැමදේම වෙනස් වෙන එකේ දවසෙන් දෙකෙන් වැවෙන කොණ්ඩෙට ඔය විලාසිතාවක් කළාම මක් වෙනවද ඉතින්.
කොයි හැටි වෙතත් මේ කියන්න යන්නෙ 2020 වර්ෂයේ, ඒ කියන්නෙ මෑතම කාලෙ ඉතාම ජනප්‍රිය වෙච්ච ලස්සන ladies haircut කිහිපයක් ගැනයි. සමහර ඒවානම් පරණ styles උනත් ආපහු අලුත්වෙලා කරලියට ආපු විලාසිතා.
1. Bob Cut
මේක අපි කවුරුත් දන්න පරණ විලාසිතාවක්. 1990 ගණන් වල පුංචි ගැහැණු දරුවෝ අතරේ එහෙම සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා තිබුන විලාසිතාවක්. ඒ කාලෙ හුඟක් දෙනෙක් දැනගෙන හිටියේ බොප් (Bop) cut කියලයි. ඒ උනාට හරිම නම තමයි Bob Cut කියන එක. හැබැයි ඉතින් ඒ කාලෙ කෝකටත් හිටිය සැලූන් එකේ අයියා ලඟට ගියාම පුවක් ගෙඩියේ මුඩ්ඩ ගැලෙව්ව වගේ කපන එකම කට් එකනම් නෙමෙයි මේ කියන Bob Cut එක.
Bob Cut කියන්නෙ උරහිස දක්වා වගේ උස ප්‍රමාණයට කපන කොණ්ඩ විලාසිතාවක්. ඉස්සරහට fringe එකක් තියල තමයි බොහෝවිට කපන්නේ. කොණ්ඩෙට ලොකු අවධානයක් දෙන්න අපහසු කාර්යබහුල ජිවන රටාවක් තියෙන කෙනෙකුට වඩාත්ම ගැලපෙන විලාසිතාවක් තමයි මේක. හුඟක්ම ගැලපෙන්නෙ ලොකු, ඒ කිව්වේ සරු, ඝනකම කොණ්ඩයක් තියෙන සිහින් දිගටි මුහුණක් තියෙන කෙනෙකුටයි.
2. Pixie Cut
Pixie කියන්නෙත් කොට කොණ්ඩ විලාසිතාවක්. හැබැයි Bob Cut එකටත් වඩා කොට, බෙල්ලේ මුල හරියටම තරම් කොටට කොණ්ඩය කපන විලාසිතාවක්. යට හරියෙන් කොණ්ඩේ අඩුවටත්, උඩට වෙන්න ටිකක් දිගටත්, ඉස්සරහට කැමැත්ත අනුව කොටට හෝ ටිකක් දිගට fringe එකක් තියෙන්න කපන විලාසිතාවක්. මේක හරිම modern විලාසිතාවක් වගේම කලින් කිව්වා වගේ පහසුව හිතන අයට හරිම හොඳ විලාසිතාවක්. හැබැයි වැඩියම ගැලපෙන්නෙ උස, දිගැටි සිහින් මුහුණක් තියෙන අයට තමයි.
3. Blunt Cut
Blunt කියන වචනයේ තේරුම ගත්තොත් මුවහත් නැති, මොට වගේ තේරුමක්. ඉතින් මේ cut එකත් ඒ වගේම ෆ්ලැට් cut එකක්. Layers මුකුත්ම නැතුව නිකන්ම තනි කෙලින් කොණ්ඩේ අග්ගිස්ස කපන ක්‍රමයක්. කොටටම හෝ ටිකක් දිගට කැමති විදිහට කපන්න පුළුවන්. වැඩියම ගැලපෙන්නෙ straight කොණ්ඩයක් තියෙන කෙනෙකුටයි. මේ විලාසිතාව සාමාන්‍යයෙන් නම් fringe එකක් නැතුව කපනවා උනත් තමන්ගේ කැමැත්ත මත, නළලේ හැඩය ගැන ප්‍රශ්න එහෙම තියෙනවනම් fringe එකක් තියන්නත් පුළුවන්. කොහොම උනත් ලස්සනට, පහසුවට වගේම කොණ්ඩේ පැලුණු අගිස් එකවර කපල දාල කොණ්ඩේ නිරෝගීකම රැකගන්නත් උදව් වෙන විලාසිතාවක් මේක.
4. Layered Haircut
Layered Hair කියල කියන්නේනම අද කාලෙ තරුණියෝ අතරේ අතිශය ජනප්‍රිය කොණ්ඩ විලාසිතාවක්. නම කිව්ව ගමන් නොදන්න කෙනෙක් නැති තරම්. මේ layered hair කියල කියන්නෙ කොණ්ඩේ කොටට හෝ දිගට තට්ටු කිහිපයක් හිටින විදිහට කපන එකටයි. ඒ කියන්නෙ ලේයර්ස් කිහිපයක්. කොණ්ඩේ උඩ ඉඳන් යටට ගත්තම එක සමාන දිගක් නැහැ. තට්ටු කිහිපයක් විදිහට තමයි තියෙන්නෙ. තුනී කොණ්ඩයක් තියෙන අයට කොණ්ඩෙට වැඩි පෙනුමක් ලබාගන්න, ඝණ කොණ්ඩයක් තියෙන අයගේ කොණ්ඩේ බර අඩුකරගෙන පීරන්න පහසු තත්ත්වයක් ඇති කරගන්න, මුහුණේ මහත පෙනුම අඩු කරගන්න වගේ වාසි කිහිපයක්ම මේ layered haircut එකේ අතුරු වාසි විදිහට අත්විඳින්න පුළුවන්.
5. Feathered Haircut
කලින් කියපු layered haircut කියන්නෙත් feathered cut එකේම එක මට්ටමක් තමයි. හැබැයි layers වලදී වෙන්නෙ තට්ටු කිහිපයකට කොණ්ඩේ කැපීම විතරයි. නමුත් layers කපනවට වඩා කොණ්ඩේ අගිස් කැපීම මඟින් කොණ්ඩෙට පෙනුමක් එකතු කරන්න මේ feathered cut එකේදී උත්සාහ කරනවා. Layers වලට වඩා කොණ්ඩේ අගිස් සහ කපපු තට්ටු වෙන වෙනම ලස්සනට පේනවා මේ විලාසිතාවේදී. හරියට කුරුළු තටු වගේ නිසා තමයි Feather කියන නමත් වැටිලා තියෙන්නෙ. අවුල් වෙලා තියෙද්දී උනත් ලස්සන පෙනුමක් තියෙන නිසා විලාසිතා ගැන මහා ලොකුවට වද වෙන්න ඕන නැතිකම තමයි මේ haircut එකේ තියෙන ලොකුම වාසිය.
6. Shag Cut
මේක බැලු බැල්මට ටිකක් පිස්සු පෙනුමක් තියෙන කොණ්ඩ විලාසිතාවක් කියලත් හිතෙන්න පුළුවන්. හැබැයි fashion trending අතරේ නම් ඉහළින්ම තියෙන විලාසිතාවක්. Layered ක්‍රමයේදී වගේම කොණ්ඩේ තට්ටු විදිහට කපන විලාසිතාවක් උනත් කොණ්ඩේ උඩ, ඒ කියන්නෙ crown area එකේ ඉඳලම තට්ටු විදිහට කපන එක තමයි මේ විලාසිතාවෙදි වෙන්නෙ. කොණ්ඩේ නඩත්තු කරන්න ලොකු වෙලාවක් නැති, පහසුව සහ ලස්සන සහ අලුත් විලාසිතා කියන ඔක්කොම ගැන උනන්දු කෙනෙකුට කියාපු haircut එකක්.
7. Comb over Cut
කොට කොණ්ඩෙට කැමති, අලුත්ම විලාසිතා උත්සාහ කරලා බලන්න කැමති කාන්තාවන්ට ගැලපෙන තවත් එක විලාසිතාවක් තමයි මේ comb over cut කියල කියන්නෙ. Comb over කියන්නෙ කාන්තාවන් විතරක් කොණ්ඩේ කපන විදිහක් නම් නෙමෙයි. දැන් කාලෙ හුඟක් ජනප්‍රිය, මැදින් කොණ්ඩේ වැඩිපුර ඉතුරු වෙන්න දෙපැත්තෙන් අඩු කරලා කපන පිරිමි කොණ්ඩ විලාසිතාවට කියන්නෙත් comb over cut කියලම තමයි. ඒකෙ කාන්තා version එක ගැන තමයි මේ කතා කරන්නෙ. ඔලුවට නිදහසක් වගේම ලොකු වෙනසකට කැමතිනම් අත්හදා බලන්න පුළුවන් ලස්සන, trending විලාසිතාවක්.
Leave a Reply