රඟපාලා ජනප්‍රිය වෙන්න කලින් වෙනස්ම රස්සාවල් කරපු බොලිවුඩ් නළු නිළියෝ

දැන් තරු වගේ බැබළුනාට මොකද සමහර බොලිවුඩ් නළු නිළියෝ එක පාරටම ක්ෂේත්‍රයට කඩා පාත් වුණු අය නෙමෙයි. ඒ අය තමන්ගෙ ජීවිත සටන ගෙනියන්​න නොයෙකුත් මාර්ග ඔස්සේ ගිහින් අන්තිමේදි රඟපෑමෙන් නතර වෙච්ච උදවිය. අපි බලමුද අද වෙද්දි ජනප්‍රිය බොලිවුඩ් තරු කීපයක් රඟපාන්න කලින් කරපු රැකියාවන් මොනවද කියල?

 

1. න​වසුදීන් සිද්දීක්

ඕනෑම චරිතයක් ලෙසටම ගොඩ දැමීමට සමත් බොලිවුඩ් නළුවෙක් තමයි නවසුදීන් සිද්දීක් කියන්නෙ. නවසුදීන් සිනමා රංගනයට පිවිසෙන්නට කලින් රසා​යනඥයෙක් හැටියට තමයි රස්සාව කරල තියෙන්නෙ. ඔහු රසායන විද්‍යාව සඳහා උපාධිධරයෙක්. වේදිකා නාට්‍යයක් නැරඹීමෙන් පස්සේ ක්ෂණිකවම රංගනය කෙරෙහි ආශාවක් ඇති කරගන්න නවසුදීන් ඉන් පස්සේ දිල්ලියේ ජාතික රංග​ පාඨශාලා​වට ඇතුළත් වෙලා රංගනය හදාරන්න පටන් ගන්නවා. ඉන් පස්සේ වේදිකා නළුවෙක් හැටියට රංගන ජීවිතය අරඹලා තමයි ක්‍රම ක්‍රමයෙන් ඉන්දීය සිනමාවේ හොඳම නළුවෙක් හැටියට අද මේ ගමන ඔහු ඇවිත් තියෙන්නෙ.

 

2. අමිතාබ් බච්චන්

ඉන්දීය සිනමාවේ ජීවමා​න දැවැන්ත පෞර්ෂ්‍ය​ය වන අමිතාබ් බච්චන් සිනමා රංගනයට පිවිසෙන්න කලින් ‘ෂෝ වොලස්’ නම් සමාගමේ විධායක නිලධාරියෙක් හැටියට තමයි සේවය කරල තියෙන්නෙ. ඔහුගේ මුල්ම පඩිය වෙලා තියෙන්නෙ ඉන්දීය රුපියල් 500ක්. පස්සෙ කාලෙකදි ගුවන් විදුලි නිවේදකයෙක් වෙන්නටත් අමිතාබ් උත්සාහ කරල තියනවා. ඒත් ඔහුව ඒකෙන් ප්‍රතික්ෂේප වෙනව. ඉන් පස්සේ තමයි මුම්බායට ඇවිත් රංගන ශිල්පියෙක් හැටියට ඔහු තමන්ගෙ ගමන අරඹලා තියෙන්නෙ.

 

3. ආක්ෂේ කුමාර්

රජීව් හරි ඕම් භාතියා, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ආක්ෂේ කුමාර් තමන්ගෙ පළමු රැකියාව හැටියට කරල තියෙන්නේ කෝකියෙක් සහ වේටර්වරයෙක් හැටියට සේව​ය කිරීමයි. සටන් ශිල්ප​ය ඉගෙන ගන්න බැංකොක් නුවර ඉඳිද්දී තමයි ආක්ෂේ ඒ රස්සාව කරල තියෙන්නෙ. සටන් ප්‍රගුණ කිරීමෙන් පස්සේ නැවත ඉන්දියාවට එන ආක්ෂේ සටන් ගුරුවරයෙක් හැටියට රැකියාව අරඹනව. ඉන් පස්සේ තමයි ඔහුට මෝස්තර නිරූපණ ශිල්පියෙක් හැටියට කටයුතු කරන්නත්, බොලිවුඩයට එකතු වන්නටත් මග පෑදෙන්නෙ.

 

4. බෝමන් ඉරානි

හාස්‍යජනක චරිත රංගනයට වැඩි තැනක් දීල තියන බෝමන් ඉරානි කියන්නේ සීරියස් චරිතයක් වුණත් එකෙන්ම ගොඩ දාන්න පුළුවන් නළුවෙක්. බෝමන් ඉරානිගෙ මුල්ම රැකියාව වෙන්නෙ මුම්බායේ ‘ටාජ් මහල් පැලස්’ හෝටලයේ වේටර්වරයෙක් සහ හෝටල් සේවකයෙක් හැටියට වැඩ කිරීමයි. ඉන් පස්සේ ඔහු ඡායාරූප ශිල්පියෙක් හැටියටත් කටයුතු කරනවා. රඟපෑ​ම කෙරෙහිත් පැසැල් කාලේ ඉඳන්ම ඇල්මක් තියන බෝමන්, රංගන ශිල්පයත් හදාරන්න පටන් ගන්නවා. ඉන් පස්සේ රාම් ගෝපාල් වර්මාගේ ‘ඩර්නා මනා හේ’ චිත්‍රපටයටත්, රාජ්කුමාර් හිරානි ගේ ‘මුන්නාභායී එම්බිබිඑස්’ චිත්‍රපටයටත් රංගනයෙන් එකතු වෙලා ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන්න බෝමන් ඉරානි සමත් වෙනව.

 

5. අර්ශාඩ් වර්සි

බෝමන් ඉරානි ජනප්‍රියත්වයට පත් වෙච්ච ‘මුන්නාභායී’ චිත්‍රපට පෙළ හරහා තමන්ගේ ජනප්‍රියත්වය තවත් මට්ටමක් ඉහළට ගෙනගිය නළුවෙක් තමයි අර්ශාඩ් වර්සි කියන්නෙ. බොහොම කුඩා කාලේ ඉඳන් ජීවිතේ නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණු දෙන්න සිද්ධ වුණු නිසා අර්ශාඩ් වර්සි මුල් කාලේ රැකියාවක් හැටියට කරලා තියෙන්නෙ ගෙයින් ගෙට ගිහින් සුවඳ විලවුන් සහ රූපලාවණ්‍ය නිෂ්පාදන විකුණන එකයි. ඒ කාලේ ඉඳන්ම නර්තනය කෙරෙහි අර්ශාඩ් වර්සි දක්වලා තියෙන්නෙ දැඩි කැමැත්තක්. මේ ආශාව හින්දම පස්සෙ කාලෙක නර්තන ශිල්පියෙක් සහ නර්තන නිර්මාණකරුවෙක් හැටි​යට අර්ශාඩ් ප්‍රසිද්ධිය ලබනව. මේ හරහා තමයි ඔහුට බොලිවුඩයට සේන්දු වෙන්න මග පෑදෙන්නෙ.

 

6. සනී ලියෝන්

සරාගී නිලි සනී ලියෝන්ගෙ කලින් රස්සාව කියල කියපු ගමන් ගොඩක් දෙනෙක්ට සිහියට නැගෙන වෘත්තියක් තියනවා. හැබැයි ඒ වෘත්තියටත් කලින් සනී ලියෝන් වෙනත් රැකියාවනුත් කරල තියනව. මුලින්ම ඇය රැකියාව කරන්නෙ ජර්මානු බේකරියකයි, ඉන් පස්සේ විශ්‍රාම සහ බදු සම්බන්ධ ආයතනයකත් ඇය සේවය කරනවා. ඊට පස්සේ සනී ලියෝන් වැඩිහිටි චිත්‍රපට ක්ෂේත්‍රයට එකතු වෙලා අන්තිමට බොලිවුඩයෙන් නතර වෙනවා.

 

7. තාප්සී පන්නු

මේ වෙද්දි බොලිවුඩ් සිනමාව තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන, බොලිවුඩය හොල්ලගෙන ඉන්න නිළියක් තමයි තාප්සී කියන්නෙ. තාප්සීට සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්න මග පෑදෙන්නෙ මෝස්තර නිරූපණ ශිල්පය හරහායි. හැබැයි ඊටත් කලින් ​ඉඳන් තාප්සී කියන්නෙ කොම්පියුටර් වැඩකාරියක්. මෘදුකාං​ග ඉංජිනේරුවරියක් වන ඇය ඇගේ තවත් යාළුවන් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා ‘Font Swap’ නම් ඇප් එකකුත් නිර්මාණය කරල තියනවා. මේ අංශයෙන් අනාගතයක් තිබ්බත් දවස තිස්සේ කර​න කාර්යාල රැකියාවකට තිබුණ අකමැත්ත නිසා තමයිලු තාප්සී ක්‍රම ක්‍රමයෙන් සිනමාව පැත්තට යොමු වෙලා තියෙන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *