ට්‍රිප් එකක් යන්නද සෙට් වෙන්නේ? එහෙමනම් මේ ගැජට් බැජට් එහෙමත් පැක් කරගන්න එක ප්‍රයෝජනයක් වෙයි.

දැන් වෙනකොට කොරෝනා තත්ත්වෙත් පොඩ්ඩක් සමනයක් වෙලා තියෙන නිසා, ගොඩක් අය ට්‍රිප්ස් එහෙම යනවා. තවත් ගොඩක් අය ට්‍රිප් යන්න හිතාගෙන ඉන්නවා, ගිය අවුරුද්දේ ඇරියසුත් එක්කම කවර් කරන්න. හරි, ට්‍රිප් යන එක අලුත් දෙයක් නෙවෙයි. ට්‍රිප් එකක් යනකොට ගෙනියන්න ඕන මොනවද කියන එක ගැනත් හැමෝටම වගේ සාමාන්‍ය අදහසක් තියෙනවා. හැබැයි දැන් කාලේ අපි ට්‍රිප් එකක් යනකොට පැක් කරගන්න දේවල් අතරට ඔය සමහර ගැජට් බැජට් එහෙමත් අයිති වෙනවා. ඒ ඇයි කියලා දිගටම කියවගෙන යනකොට තේරෙයි.

එහෙමනම් බලමු ට්‍රිප් එකක් යනකොට ගෙනියන්න වැදගත් වෙන ගැජට් බැජට් ටිකක් මොනවද කියලා!

 

1. ට්‍රැවල් පවර් ඇඩැප්ටරයක්

මෙන්න මෙව්වා ඉතින් අනිවාර්ය දේවල්. දැන් අපි සංචාරයක යෙදෙන කොට ෆෝන් චාර්ජර්, කැමරා බැටරි චාර්ජර් අරව මේවා අරගෙන යනවා. හැබැයි සමහර වෙලාවට, අපි නවතින තැනක අපේ චාර්ජර් වලට හරි වෙනත් මොකක් හරි කරන්ට් එකට ගහන ගැජට් එකක් හරි ගහන්න හරියන පවර් සොකට් නෑ. දැං මොකේදැයි දං වළඳන්නේ? ආන්න එතකොට තමයි මේ ට්‍රැවල් ඇඩැප්ටරයක් වටින්නේ. මේවට ඔය ව්‍යවහාර බාසාවෙන් ගොඩක් අය කියන්නේ ‘කැටයක්’ කියලා. හැබැයි හොඳ ට්‍රැවල් ඇඩැප්ටරේක එක එක විදියේ සොකට් ගණනාවකට හරියන ප්ලග් කූරු වගේම, සොකට් කීපෙකුත් තියෙනවා. නවීන ඒවල USB පෝට් එකක් දෙකක් එහෙමත් තියෙනවා.

 

2. නොයිස් කැන්සලින් හෙඩ්ෆෝන්

ට්‍රිප් එකක් යනකොට කොච්චර සොබා අසිරිය බල බලා ගියත්, සිංදුවක් කාරිය කියාගෙන ගියත්, පොඩ්ඩක් තමන්ට නිස්කලංකේ ඉන්න වුවමනා මොහොතක් එනවා. අන්න ඒ වෙලාවට සිංදුවක් අහන්න තියේ නං සුපිරි. සිංදු නං ඉතින් ස්මාට්ෆෝන් එකෙන් හරි වෙන ස්මාට් ගැජට් එකකින් හරි අහන්න පුළුවන්. හැබැයි ඒක පුද්ගලිකව සහ නිස්කලංකේ රසවිඳින්න නම් හෙඩ්ෆෝන් දෙකක් තියෙන්න ඕන. නිකම්ම හෙඩ්ෆෝන් හරියන්නෙත් නෑ. මගතොටේ සද්ද බද්ද කපාහැරලා සංගීතේ විඳින්න නං නොයිස් කැන්සලින් හෙඩ්ෆෝන් දෙකක් ඕන.

 

3. ට්‍රැවල් ස්ටීම් අයන් එකක්

සාමාන්‍යයෙන් ට්‍රැවල් කරන හාදයෙක්ට හාදියකට ඒ තරම් ඇඳුම් අයන් කරලා මදින්න අවශ්‍යතාවයක් එන්නෙ නෑ. හැබැයි ඉතින් සමහරු කැමතියි පිළිවෙලට ඇඳුම් අයන් කරලම මදින්න. ඉතින් එහෙම කෙනෙක්ට ඔය නවාතැන් ගන්න තැනක අයන් එකක් හොයාගන්න නැති වෙන්න පුළුවන්. ආන්න එහෙම අවස්ථාවකට ගැලපෙන්නේ ට්‍රැවල් ස්ටීම් අයන් එකකුත් ගෙනියන එක. අර වතුර දාලා ස්ටීම් එකෙන් ඇඳුම් මදින්න පුළුවන් මේ ජාතියේ අයන් එකක් ඉතාම හුරුබුහුටියි. ප්‍රමාණයෙන් කුඩා නිසා පහසුවෙන් අරගෙන යන්නත් හැකියි.

 

4. ඇක්ෂන් කැමරාවක්

ඇක්ෂන් කැමරාවක් මොකටද? ඇයි ස්මාට්ෆෝන් එකෙන් වීඩියෝ කරන්න බැරිද? එහෙම අහන කෙනෙක් ඇත්තටම ඇක්ෂන් කැමරාවක් පාවිච්චි කරලා නෑ. දැන් ඔය නැන්දලා මාමලා එක්ක තුන්සරණේ කිය කියා යන වන්දනා චාරිකාවක් නෙවෙයි, නියම ඇඩ්වෙන්චර් වැඩ ඇතුළත් වෙන ටුවර් එකක් නම් යනනේ, ඇක්ෂන් කැමරාවක වටිනකම කියලා නිම කරන්න බෑ. මේ ඇක්ෂන් කැමරා වල තියෙන හයි කොලිටි ෆොටෝ සහ වීඩියෝ හැකියාව වගේම, ඉතාම සුළු චලනයක් වුණත් හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන් වීමත් ඇඩ්වෙන්චර් වැඩ වලට වටිනවා. අනික මේ ඇක්ෂන් කැමරා බයික් එකක හැන්ඩ්ල් එකේ, හෙල්මට් එකේ හයි කරන්න හරි අතේ බැඳගන්න හරි පුළුවන් වීමත් වටිනවා.

 

 

5. පවර් බෑන්ක් එකක්

දැන් කාලේ අපිට ස්මාට්ෆෝන් එකෙන් තොර ලෝකයක් නැති තරම්නේ. වෙන මොකුත් ඕන නෑ. ගොඩක් දෙනෙක් සංචාරය කරනකොට ෆොටෝ ගන්නෙත් තමන්ගේ ස්මාට්ෆෝන් එකෙන් තමයි. ඒකට අවුලක් නෑ. හැබැයි ෆොටෝ, වීඩියෝ සීන් වලදී ඉක්මනට බැටරි බහිනවා. අතරමග ෆෝන් චාර්ජ් කර කර ඉන්න තැනුත් නැහැනේ. ආන්න ඒ නිසා ඒකට හොඳම පිළියමක් තමයි පවර් බෑන්ක් එකක් ගෙනියන එක. හොඳ වර්ගෙක ටිකක් වැඩි කැපෑසිටි එකක පවර් බෑන්ක් එකක් නම් ස්මාට්ෆෝන් එකක් දෙපාරක් විතර ෆුල් චාර්ජ් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අනික් රීචාර්ජබල් උපාංග චාර්ජ් කරන්න යොදාගන්නත් පුළුවන්.

 

6. ජල පිරිසිදුකරණ බෝතලයක්

සාමාන්‍යයෙන් අපි ලංකාවේ යන එන සංචාරයකදී අපිට වතුර හිඟ වෙන්නේ කලාතුරකින්. හැබැයි ඉතින් ඔය කෑම්පින් ට්‍රිප් එකක් එහෙම යනවා නම්, මගදී එහෙමට වතුර ගෙනියන්න විදියකුත් නැති නම්, වතුර සපයාගන්න වෙන්නේ ස්වභාවික ජල මූලාශ්‍ර වලින් තමයි. හැබැයි ඉතින් ෆිල්ම් වල පෙන්නනවා වගේ කෙලින්ම දොළ පාරකට හරි විලකට හරි නැඹුරු වෙලා කට තියාගෙන වතුර බොන එක ඒ තරම් ඇඟට ගුණ නෑ. හිතන්න බැරි රෝගාබාධ හැදෙන්න පුළුවන්. අන්න ඒ නිසා එක්කෝ වතුර නටවලා බොන්න ඕන. එහෙම නැතිනම් වෝටර් පියුරිෆයර් එකක් ගෙනියන්න ඕන. සාමාන්‍යයෙන් මේ වගේ වතුර පිරිසිදුකාරණ ෆිල්ටර් උපාංගයකින් වතුරේ තියෙන අහිතකර විෂබීජ, බැක්ටීරියා අනං මනං ගාණට ෆිල්ටර් කරලා දෙනවා. දැන් මේ විදියේ වෝටර් පියුරිෆයට් සෙට් කරපු වතුර බෝතල්ම ගන්න තියෙනවා.

 

7. කින්ඩ්ල් එකක්/ටැබ් එකක්

උඩිනුත් කිව්වනේ ට්‍රිප් එකක් යනකොට කයිය ගැසීම, මගතොර නැරඹීම, එක් වෙලා සිංදු කීම වගේ ක්‍රියාකාරකම් ඔක්කොම බෝරින් වෙන තැනක් එනවා කියලා. අන්න එහෙම වෙලාවක ඉතින් එක්කෝ නිදාගන්න ඕන, එක්කෝ සිංදු අහන්න ඕන, එක්කෝ පොතක් පතක් බලන්න ඕන. දැන් මගතොටේ පොතක් කියවන්න පුළුවන් කෙනෙක්ට ආස පොතක් බෑග් එකේ දාගෙන යන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි කින්ඩ්ල් ඊබුක් රීඩර් එකක් හරි, ඊබුක් රීඩර් ඇප් එකක් තියෙන ටැබ් එකක් හරි ගෙනියන එකේ වාසි තියෙනවා. විශේෂයෙන්ම පුස්තකාලයක්ම තමන් ගාව තිබීම. එක පොතක් කියෝන කොට කම්මැලි හිතුණොත් තව එකක් කියවන්න පුළුවන්. මෙතනිනුත් ඇත්තටම පොත් කියවන්න සාර්ථකම ගැජට් එක වෙන්නේ කින්ඩ්ල් එක තමා.

 

8. පොකට් ෆ්ලෑෂර් ටෝච් එකක්

අපිට කොයි තරම් වෙලා තියෙනවද, හදිසියේ රෑ එළියකට පහළියකට බහින්න වෙනවා, හැබැයි හොඳ ටෝච් එකක් නැති? දැන් කාලේ හැම ෆෝන් එකකම ෆ්ලෑෂර් ටෝච් එකක් තියෙනවා තමයි. හැබැයි ඉතින් ඒවෑයින් ලැබෙන එළිය සීමිතයිනේ. ආන්න ඒ නිසා, හොඳම දේ තමයි පොකට් සයිස් හොඳ ෆ්ලෑෂර් ටෝච් එකක් ගන්න එක. හොඳ බ්‍රෑන්ඩ් එකකින් බලලා ගත්තොත් කල් පවතිනවා. අනික චාර්ජ් කරන්න පුළුවන් එකක් නම් තවත් ලේසියි.

 

දැන් තේරෙනවනේ මේ වගේ ගැජට් බැජට් ට්‍රැවල් කරනකොට කොයි තරම් වැදගත් වෙනවද කියලා. ඇත්තටම තමන්ගේ සංචාරයේ හැටියට අවශ්‍ය වෙන ගැජට් බැජට් තෝරගෙන පැක් කරගන්න පුළුවන්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *