දසමහ යෝධයෝ ගැන වැඩි දෙනෙක් නොදන්න රස කතා

අද හැදෙන වැඩෙන පරපුර නොදන්නවා වුණාට අපේ රටේ පරම්පරා ගණනාවක් කුඩා කාලෙදි ආච්චිලා සීයලාගෙන් අහගත්තේ  සුරංගනා කතා නෙමෙයි, අපේ ඉතිහාසය සම්බන්ධ ඇත්ත කතා. ඒ අතරේ දුටුගැමුණු රජතුමා සහ දස මහා යෝධයන්ගේ කතා ප්‍රධාන තැනක් ගත්තා. දුටුගැමුණු රජතුමා සමඟ  කරට කර සටන් වල යෙදෙමින් අපේ රටේ වගේම සම්බුද්ධ ශාසනයේ ඉතිහාසය වෙනස් කරන්න මේ දසමහ යෝධයෝ කටයුතු කළා. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ මේ දසමහ යෝධයෝ ගැන බොහෝ දෙනෙක් නොදන්න කතා කීපයක්.

 

1. අධිවේගී ගමන් ශක්තියක් තිබ්බ නිමල

මහවැලි ගඟේ එක් තොටුපළක් මුර කිරීමේ කාර්යය බාර වෙලා තිබ්බේ කාවන්තිස්ස රජතුමාගේ තවත් පුත්‍රයකු වුණු දීඝාභය කුමාරයට. දවසක් කොටසර කියන ගමේ සිටි දොළොස් හැවිරිදි දරුවෙක් තම පියාගේ ඉල්ලීමක් මත දීඝාභය කුමාරයා මුණගැසීමට ගියා. මේ කුඩා දරුවා එක් දිනක් තුළ මෙතරම් දුරක් ගමන් කළා කියලා පුදුමයට පත් වුණු දීඝාභය කුමාරයා ඔහු කීදේ ඇත්තදැයි විමසීමට මිහින්තලයේ වෙසෙන තම මිත්‍රයෙකු වෙත ඔහු අතේ පණිවිඩයක් යැව්වා. එදිනම  මිහින්තලේට ගිය නිමල පණිවිඩය බාරදී අනුරාධපුරයට ගොස් තිසා වැවෙන් දිය නා, ජයසිරි මහා බෝධිය වන්දනා කොට එදිනම දීඝාභය කුමාරයා වෙත පැමිණියා.මේ දරුවාගේ අසාමාන්‍ය කාය ශක්තිය ගැන පැහැදුණු දීඝාභය කුමාරයා කාවන්තිස්ස රජතුමා වෙත මේ නිමලව යොමු කළා.

 

2. රා නිසා නම වෙනස් කරගත්ත නිමල

දුටුගැමුණු රජතුමා තමන්ගේ සටන් ව්‍යාපාරය ඉදිරියට ගෙන යද්දී එක්තරා අවස්ථාවක දසමහා යෝධයන්ගේ ශක්තිය පරික්ෂා කිරීමට පොඩි තරඟයක් තිබ්බා. ඒ තමයි විශාල ගුදමක් රා වලින් පුරවලා ඒ රා ප්‍රමාණය සම්පූර්ණයෙන්ම බොන්න පුළුවන් දක්ෂයා කවුද කියන එක පරීක්ෂා කරන එක. ඒ අවස්ථාවේදී අනිත් දසමහ යෝදයෝ කිසිම කෙනෙක් මෙම අභියෝගය සඳහා ඉදිරිපත් නොවෙද්දි කලින් අපි කියපු නිමල යෝධයා සම්පූර්ණ රා ගුදමම බීල ඉවර කළා. මේ නිසා එදා ඉඳන් මේ යෝදයා ව සුරානිමල එහෙමත් නැත්තං සුරනිමල වශයෙන් හඳුන්වන්න පටන් ගත්තා.

 

3. දීඝජන්තු මරා දැමීම 

එළාර රජුගේ ප්‍රබලතම දීඝජන්තු නම් යෝධයා පරාජය කිරීමට අපහසු පුද්ගලයෙකු ලෙස සම්මතයක් තිබුණා. ඊට හේතු වූයේ ඔහු සතු අසීමිත කාය ශක්තිය. මේ සඳහා උපායක් කල්පනා කළ විහාර මහා දේවිය කඳවුරු තිස් දෙකක් නිර්මාණය කොට ඒ කඳවුරු තිස් දෙකෙහි දුටුගැමුණු රජතුමාගේ පිළිරූ තිස් දෙකක් තැබුවා. ඉන් රැවටුණු දීඝජන්තු කඳවුරෙන් කඳවුරට කරණම් ගසමින්  සියළු පිළිරූ දෙපළු කළා. අවසාන කඳවුරේ රැඳී සිටි සුරනිමල දීඝජන්තු ප්‍රකෝපයට පත් වන ආකාරයේ අපහාසාත්මක දේවල් කියන්න පටන් ගත්තා. දීඝජන්තු තම කඩුව ගෙන යළිත් කරණමක් ගසමින් සුරනිමලව මරා දැමීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේදී  වහා තමන් සිටි තැනින් ඉවතට ගිය සුරනිමල දීඝජන්තුව බිම වැටෙන්නට සලස්වා සිය කඩුවෙන් ඇන මරාදැමුවා.

 

4. කඬොල් ඇතාගේ වෛරයට පාත්‍රවූ යෝධයා

එක්තරා අවස්ථාවක තමන්ගෙ දසමහා යෝධයන්ගේ ශක්තිය පරික්ෂා කරන්න  තවත් උපක්‍රමයක් හිතපු රජතුමා කඬොල් ඇතාට රා පොවලා මත් කරලා දසමහ යෝදයෝ ඉන්න දිහාවට කුලප්පු කරලා එව්වා. ඒ වෙලාවෙදි නන්දිමිත්‍ර යෝධයා කඩොල් ඇතාව දළ දෙකෙන් අල්ලලා බිම ඉන්දෙවුවා. තමන්ට මෙමගින් අපහාසයක් සිදු කළා යැයි හිතපු කඬොල් ඇතා නන්දිමිත්‍රව ආපහු මුණගැහුණු අවස්ථාවක පහර දෙන්න හිතාගෙන ගල් ගෙඩියක් තමන්ගේ හොඬය අස්සේ සඟවාගෙන හිටියයි කියල කියවෙනවා. නමුත් විජිතපුර සංග්‍රාමය අවස්ථාවේදී කඬොල් ඇතා මතට තාප්පයක් කඩා වැටෙනවා දැකපු නන්දිමිත්‍ර ඒ තාප්පය තමන්ගේ අත් වලින් වළක්වලා කඬොල් ඇතාගේ ජීවිතය බේරලා තියෙනවා. එම අවස්ථාවේදී වසර ගණනක් තියාගෙන හිටපු වෛරය අවසන් කරලා කඬොල් ඇතා නන්දිමිත්‍ර එක්ක යළිත්  මිත්‍ර වුණා.

 

5. ගෝඨයිම්බර යෝධයාට පාඩමක් ඉගැන්වූ ථේරපුත්තාභය හිමියන්

මාගම රජ වාසලට යන්නට කලින් ගෝඨයිම්බර යෝධයා රාජපුරුෂයෝ එක්ක එක්තරා විහාරයකට පැමිණිලා තියෙනවා. ඒ විහාරයේ පොල් ගස්  තියෙනව දැකපු යෝධයා මේ ගස් හොලවලා, පොල් ගස් පලලා මද කාලා තැන් තැන් වල දාලා නිදාගෙන ඉඳලා තියනව. ඒ අවස්ථාවේදී පන්සලට වැඩම කරපු ථේරපුත්තාභය හිමියන් පන්සල අපිරිසිදු කරපු ගෝඨයිම්බර යෝධයාට පාඩමක් උගන්නන්න හිතාගෙන යෝධයාගේ කකුල් වලින් ඇදගෙන පන්සල වටා ගෙනියලා තියෙනවා. අවසානයේදී තමන්ට වඩා ශක්තිමත් කෙනෙකුගේ ග්‍රහණයට හසු වෙලා කියන එක වටහා ගත්ත ගෝඨයිම්බර යෝධයා සමාව ඉල්ලලා තියෙනවා. පස්සෙ කාලෙක මෙම ථේරපුත්තාභය හිමියන් සිවුර ඇරලා දසමහා යෝධයගෙන් එක් අයෙක් බවට පත්වෙනවා.

 

6. කෙළෙස් සතුරන් පැරද වූ ථේරපුත්තාභය යෝධයා 

කලින් සඳහන් කරපු ථේරපුත්තාභය හාමුදුරුවෝ රජතුමාගේ ආරාධනය පිට සිවුර ඇරලා රට මුදාගැනීමේ සටනට එකතු වුණා. විවිධ සංග්‍රාම වලදී තමන්ගේ කාය ශක්තියෙන් සහ බුද්ධි ශක්තියෙන් ක්‍රියාන්විත සාර්ථකව නිම කරන්න දායක වුණු ථේරපුත්තාභය යෝධයා සියළු සටන් අවසානයේ දුටුගැමුණු රජු අනුරාධපුරයේ රජ වූ විට තමන්ට තවත් සතුරන් ඇති බව පැවසුවා. පුදුමයට පත් වූ රජතුමා ඒ කුමන සතුරෙක්දැයි විමසුවා. ඒ කෙළෙස් සතුරන් යැයි පැවසූ ථේරපුත්තාභය යෝධයා නැවතත් තමන්ට මහණවීමට අවසර ඉල්ලුවා. රජතුමාගෙන් අවසර ලබපු ඔහු යළිත් ථේරපුත්තාභය නමින්ම මහණ වෙලා, බවුන් වඩලා මහරහත් නමක් බවට පත්වුණා.

 

7. ඉන්දියාවේදී රහත් බවට පත් වූ ගෝඨයිම්බර යෝධයා 

බොහෝ දෙනෙක් දන්න විදිහට රිටිගල ජයසේන සමඟ සටනෙන් පස්සේ  මත්වෙලා රාජ මාළිගාවට පිවිසෙන්න උත්සාහ කරන ගෝඨයිම්බරව දුටුගැමුණු රජතුමා විසින් පිළිගන්නේ නැහැ. ලජ්ජාවට පත් වූ එම යෝධයා මුහුදේ පිහිනා ගොස්, අනතුරව අතිදැවැන්ත  දුරක් පා ගමනින් ගොස් හිමාල පර්වතයේ වාසය කරන රහතන් වහන්සේලා ඇසුරෙහි මහණදම් පිරීමට පටන් ගත්තා. එහිදී උන් වහන්සේ රහත් වූ බව කියවෙනවා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *