මෙක්සිකෝවේ අද්භූත බෝනික්කන් වනාන්තරය

වනාන්තරයක් කියන්නෙ ස්වභාව සෞන්දර්යය නොඅඩුව ගැබ් වුණ තැනක් වගේම වටපිටාවේ නිහඬබව, පාළු ගතිය එක්ක ස්වභාවයෙන්ම හරිම ගුප්ත හැඟීම් දනවන ස්ථානයක්. ඒ ගුප්තබව නිසාම වනාන්තර එක්ක ඈඳුන අද්භූත කතන්දර බොහොමයි. අපි කලිනුත් කතා කළා මේ අද්භූත සිදුවීම් එක්ක ඉස්සරහින්ම නම කියවෙන ජපානයේ අඔකිගහරා වනාන්තරය ගැන. ඒ වගේම නැතත් ඊට බොහොම ආසන්න ප්‍රමාණයකට බය හිතෙන වනාන්තරයක් ගැන තමයි මේ අදත් කියන්න යන්නෙ. වාසනාවකට මේ අද කියන්න යන අද්භූත වනාන්තරයත් ලංකාවේ පිහිටල තියෙන එකක් නම් නෙමෙයි. මේ වනාන්තරය පිහිටලා තියෙන්නෙ මෙක්සිකෝවේ බෝනික්කන් දුපතේ. හොල්මන් බෝනික්කන්, කාලය වගේ අදහස් දෙන අමුතු අමුතු නම් වලින් මේ වනාන්තරය හැඳින්වෙනවා. කොහොම උනත් මේක ටිකක් අමුතු කතාවක්. කියවලම බලමුකෝ මොකක්ද මේ අපි ආස කරන ලස්සන බෝනික්කෝ ගැන ආස හිතෙන්නේ නැති කතාව කියල. 

 

1. Island of the Dolls (La Isla de las Muñecas)

මේ අමුතු බෝනික්කන් වනාන්තරය එහෙමත් නැත්තම් බෝනික්කන් දූපත පිහිටලා තියෙන්නේ මෙක්සිකෝ අග නගරයට දකුණු පසින්. මේක ඇත්තටම දූපතක්. මේ දූපත පුරාම ගස් වල ලෝකයේ හැම වර්ගයකම වගේ බෝනික්කන් එල්ලලා තියෙන එක තමයි මේකෙ විශේෂත්වය. බෝනික්කන් කියන්නෙ ස්වභාවයෙන්ම සිත් ඇදගන්නා සෙල්ලම් බඩුවක් වුණාට කාලාන්තරයක් තිස්සේ අව්වට, වැස්සට නිරාවරණය වෙමින් ගස් මුදුන් වලින් එල්ලෙමින් බියජනක හැඟීම් ඇතිකරන මේ බෝනික්කෝ දකින එකනම් ආස හිතෙන වැඩක් කියල කවුරුත්ම කියන එකක් නැහැ. මේ තැන් තැන්වලින් එල්ලෙන බය හිතෙන බෝනික්කන් නිසාම මේ වනාන්තරය හොල්මන් වනාන්තරයක් විදිහටත් හැඳින්වෙනවා. හැබැයි එහෙම කියන්න මේ වනාන්තරය පිටුපස තියෙන ඉතිහාස කතාවත් බොහෝදුරට බලපානවා.

 

2. දූපතේ පිහිටීම

මේ අමුතු වනාන්තරය එහෙමත් නැත්තම් දූපත පිහිටල තියෙන්නෙ මෙක්සිකෝ නගර මධ්‍යයේ ඉඳලා සැතපුම් 17ක් දකුණින් පිහිටි සොචිමිල්කෝ බොක්කේ. දූපතට ලඟාවෙන්න ලඟම මාර්ගය තමයි එම්බාර්කැඩෙරෝ කූමන්කෝ වෙතින් පිටත් වීම. හැබැයි එතන ඉඳලත් පැයක, එකහමාරක ගමනක්. මේ දූපතට ගමන් කරන්න උදව් කරන්න සංචාරක මඟපෙන්වන්නන් ඕනතරම් හිටියට පැරණි මිත්‍යා විශ්වාස නිසා එහෙම පාර පෙන්නන්න බය මිනිස්සුත් මේ ප්‍රදේශයේ ඕනතරම්. 

 

3. Don Julian Santana Barrera

මේ ජූලියන් තමයි ඉතිහාසය වෙනස් කරලා මේ දූපත වෙනස්ම මඟකට අරන් ගියපු පුද්ගලයා. ජූලියන් කියන්නෙ 20 වෙනි සියවසේ මැද භාගයේදී විතර තමන්ගේ බිරිඳ සහ දරුවන් අතහැරල මේ දූපතේ පදිංචියට ආපු පුද්ගලයෙක්. ඔහු තමයි මේ කැලයේ ගස්වල බෝනික්කන් එල්ලීම ආරම්භ කරලා වසර 50ක් විතර පුරාවට දිගටම බෝනික්කන් එල්ලීම සිදුකරලා තියෙන්නෙ. එහෙම කරන්න බලපාපු හේතුව තමයි මෙන්න මේක.

 

4. අද්භූත ඉතිහාස කතාව

ගෙදර අතහැරලා මේ දූපතේ පදිංචියට ආපු ජූලියන්ට ඇල මාර්ගයක් දිගේ ගලාගෙන ආපු පොඩි දැරිවියකගේ මළ සිරුරක් හමුවුණු බව කියනවා. ඒත් එක්කම ගසාගෙන ආපු බෝනික්කෙක් මියගිය දැරිවියව සිහිවෙන්නත් අනාගතයේ නපුරු ආත්මයන්ගෙන් කැලය ආරක්ෂා කරන්නත් කියලා ජූලියන් විසින් ඒ අසලම ගසක එල්ලලා තියෙනවා. හැබැයි මේ එල්ලපු එකම බෝනික්කගෙන් ජූලියන් සැනසීමට පත්වෙන්නෙ නැහැ. මැරුණු දැරියගේ ආත්මය ඔහුට පෙනී සිටිමින් “I want my Doll (මට මගේ බෝනික්කා ඕනේ)” යයි කියමින් කරදර කරන නිසා ඔහු ඇල මාර්ගය දිගේ පාවෙලා එන හැම බෝනික්කෙක්ම, බෝනික්කන්ගේ කොටසක්ම මෙහෙම ගස්වල එල්ලන්න පුරුදු වුණා. එහෙම කරලත් මදිවුන තැන එළිමහනේ ඇවිදින වෙලාවල් වලට කුණු ගොඩවල් අවුස්සමින් සොයාගන්න බෝනික්කොත්, ඔහු දූපතේ වවන එළවළු හුවමාරු කරලා ලබාගන්න බෝනික්කොත් ඔහු මෙහෙම කැලයේ ගස්වල එල්ලන්න පුරුදු වුණා. 

 

5. ජූලියන්ගේ මරණය

මේ විදිහට අවුරුදු 50ක් පුරාවට ගස්වල බෝනික්කන් එල්ලමින් ගතකරපු ජූලියන්ගේ ජීවිතය නිමවෙන්නෙත් අවාසනාවන්ත විදිහට. මුල්ම වතාවේ අර දැරියගේ මළ සිරුර දැක්කා කියන තැනම පාවෙමින් තිබියදී ජූලියන්ගේ මළ සිරුරත් සොයා ගැනෙනවා. මරණයට හේතුව හෘදයාබාධයක් කියලා සමහර තැන්වල ලියවිලා තිබුණත් හුඟ දෙනෙක් කියන්නෙ ඔහුගේ මරණයට හරිම හේතුවනම් කවුරුත්ම දන්නෙ නැහැ කියලයි. 

 

6. වර්තමාන තත්ත්වය 

කාලාන්තරයක් තිස්සෙ ගස් මුදුන් වලින් එල්ලෙන අවපැහැ ගැනුණු බෝනික්කන් පිරුණු මේ වනාන්තරය අදටත් මහා අද්භූත පෙනුමක් තියෙන පරිසරයක්. මේ ඉතිහාස කතාව ගැන සඳහන් වෙන පොත්පත්, ලිපි වගේ දේවල් අඩංගු වෙන පුංචි කෞතුකාගාරයකුත් දැනට මේ දූපතේ තියෙනවා. මේ තැන ගැන විස්තර දැනගන්න එන අයට පරණ ලිපි එහෙම කියවලා ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න මේ මඟින් පුළුවන්.

 

7 සංචාරක ආකර්ෂණය 

 

කිසිම ප්‍රියජනක හැඟීමක් දැනෙන්නෙ නැති මහා එපා කරපු පෙනුමක් තියෙන තැනක් වුණත් මේ ස්ථානයට තියෙන සංචාරක ආකර්ෂණය නම් හොඳ මට්ටමක තියෙනවා. මෙක්සිකෝවේ සංචාරය කරන පිරිස මේ අමුතු බෝනික්කන් වනාන්තරය බලන්න එන්නනම් අමතක කරන්නෙම නැහැ. ඒ අවට තියෙන වෙනත් සංචාරක ස්ථානයන් එක්කම මේ තැනටත් එන දෙස් විදෙස් සංචාරකයෝ මේ පුංචි ගැහැණු දරුවාගේ සහ ඇය වෙනුවෙන් මියගිය ජූලියන්ගේ ආත්මයන් සිහිපත් කරලා අදටත් මේ ගස්වල බෝනික්කන් එල්ලන එක පුරුද්දක් කරගෙන තියෙනවා. ඒ නිසාම අර කලින් කියපු අවපැහැ ගැනුණු පරණ බෝනික්කන් අතරින් පතරේ අලුත් බෝනික්කන් එහෙමත් ගස් මුදුන් වලින් පහලට එල්ලෙනවා මේ තැනට යන ඕනම කෙනෙකුට දැකගන්න පුළුවන්. 

 

ඔන්න ලස්සන තැන් වගේම අද්භූත තැන් එහෙමත් දැකබලා ගන්න කැමති සංචාරකයින්ට ගිහින් බලන්න හොඳ ලෝකයේ තියෙන අමුතුම සංචාරක ස්ථාන වලින් එකක් තමයි මේ මෙක්සිකෝවේ බෝනික්කන් දූපත කියල කියන්නේ. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *