තමන්ගේ බජට් එකට සහ අවශ්‍යතාවයට හරියටම හරියන ලැප්ටොප් එකක් ‍තෝරාගන්නේ මෙහෙමයි!

දැන් කාලේ ලැප්ටොප් එකක් කා ගාවද නැත්තේ! දැන් කාලේ ලැප්ටොප් එකක් කාටද අවශ්‍ය නොවෙන්නේ! ඇත්තටම තොරතුරු තාක්ෂණ යුගයක ඉන්න අපි හැම දෙනෙක්ටම තමන්ගේ කියලා පරිගණකයක අවශ්‍යතාවය පැන නගිනවානේ. එතකොට ඉස්සර වගේ පීසී නැතිනම් පුද්ගල පරිගණක කියලා ඩෙක්ස්ටොප් පරිගණක ගන්න යුගය දැන් ඉවරයි. වැඩි දෙනෙක්ට පරිගණකයක් කියනකොට ඔලුවට එන්නේත් ලැප්ටොප්.

දැන් වෙළෙඳපොළේ ලැප්ටොප් බ්‍රෑන්ඩ් සෑහෙන්න තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් වලත් එක එක විදියේ, එක එක වැඩ කෑලි තියෙන, එක එක මිල ගණන් වලට ගන්න තියෙන ලැප්ටොප් තවත් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔය අතරින් තමන්ට හරියටම ගැලපෙන ලැප්ටොප් එකක් ‍තෝරගන්නේ කොහොමද? ලැප්ටොප් එකක් ගන්න එක සෙල්ලමක් නෙවෙයි. මොකද ලක්ස බාගයක්, ලක්සයක් දීලා ලැප්ටොප් මැසිමක් අරගෙන තමන්ට හරියන්නෙ නැතිනම් ඊළඟ සතියේ තව එකක් ගන්නද? බැහැනේ. ඒ නිසා තමන්ගේ වැඩටත්, තමන්ගේ හිතටත්, තමන්ගේ පොකට් එකටත් හරියටම හරියන ලැප්ටොප් එකක් ගන්න උපදෙස් කීපයක් අපි ලබාදෙනවා.

 

1. ලැප්ටොප් එකක්ම ඕනෑද?

Image Source – osgusa.com

මේක තමයි මුලින්ම හිතලා බලන්න ඕන ප්‍රශ්නය. ඩෙක්ස්ටොප් කම්පියුටර් එකක් නැතුව ලැප්ටොප් එකක් ගන්නේ ඇයි කියලා. හරි, දැන් කාලේ ට්‍රෙන්ඩ් එක ලැප්ටොප් තමයි. ලැප්ටොප් එකක් ඕනම තැනක අරගෙන යන්නත් පුලුවන්. ගෙදර මේසේ තියලා තිබ්බත් බොහොම පොඩි ඉඩක් යන්නේ. ඔය කරුණු ඇත්ත. හැබැයි ඩෙක්ස්ටොප් එකක තියෙන සමහර වාසි ලැප්ටොප් එකක නැහැ කියන එකත් මතක තියාගන්න ඕන. එකක් තමයි ලැප්ටොප් එකක බැටරිය බහිනවා. ලැප්ටොප් එකක් නැතිවෙන්න, උස්සන්න, වැටීමකින් එහෙම හානි වෙන්නත් ඉඩක් තියෙනවා. දැන් අලුත්ම ගේම් වලට ගැලපෙන්න කෑලි බෑලි දාලා ඩෙක්ස්ටොප් කම්පියුටර් එක අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්නේ. හැබැයි ලැප්ටොප් එහෙම බෑ.

දැන් ඔහොම වාසි අවාසි හිතලා බලලා, ඉන් පස්සේ හිතන්න වෙනවා තමන්ට ලැප්ටොප් එකක් අවශ්‍ය ඇයි කියලා. ඔ‍ෆිස් ගෙනියන්න, කැම්පස් ගෙනියන්න වගේ වැඩ සෙට් වෙනවා නම් ඉතින් ලැප්ටොප් එකක් තමයිනේ. ඇත්තටම ගොඩක් දෙනෙක් ලැප්ටොප් එකකට යන ප්‍රධාන කාරණය තමයි ඒක ජංගම වීම.

 

2. ලැප්ටොප් එක ඕනෑ මොනවා කරන්නද?

 Image Source – theverge.com

මෙන්න මේ කාරණාවට පිළිතුරු දීලා ඉන්න එක අත්‍යාවශ්‍ය වෙනවා, මෙතනින් එහාට තියෙන කරුණු කාරණා ගැන හිතන්න නම්. ලැප්ටොප් එකක් සල්ලි දීලා අරගෙන මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ?

සමහරුන්ට ලැප්ටොප් එකක් අවශ්‍ය වෙන්නේ ඔ‍ෆිස් එකේ වැඩ, ඉගෙන ගන්න වැඩ එහෙම කරන්න. ඒ අතරට සිංදුවක් අහන්න, ‍ෆිල්ම් එකක් බලන්න වගේ සීන් එකකුත් තියෙන්න ඕන. ඒ කියන්නේ වැඩි හරියක් ඔ‍ෆිස් පැකේජ් වල වැඩ, ඉන්ටර්නෙට් එකේ වැඩ සහ අනෙක් එන්ටර්ටේන්මන්ට් වැඩ තමයි සිද්ධ වෙන්නේ.

හැබැයි තවත් කෙනෙක්ට ලැප්ටොප් එක වුවමනා වෙන්නේ ග්‍රැ‍ෆික් ඩිසයිනින්ග්, ඇනිමේෂන් ඩිසයිනින්ග් සහ වෙනත් ඔය ඔටෝ කැඩ් වගේ සොෆ්ට්වෙයාර් වලින් කරන ඩිසයිනින්ග් වගේ දේවලට වෙන්න පුලුවන්. අන්න ඒ වගේ වැඩවලට ප්‍රබල දෘඩාංග සහ මෙහෙයුම් පද්ධතියක් තියෙන මැෂින් එකක් වුවමනායි.

දැන් ගේම් ගහන්න ලැප්ටොප් එකක් ගන්න අයටත් එහෙමයි. දැන් කාලේ වීඩියෝ ගේම් වලටම හදපු ලැප්ටොප් තියෙනවා.

ඉතින් මේ වගේ තමන්ට ලැප්ටොප් එකක් අවශ්‍ය වෙන්නේ මොනවා කරන්නද, තමන් ලැප්ටොප් එකෙන් ගන්න වැඩ මොනවද කියලා තීරණය කරන්න වෙනවා ඔක්කොටම කලින්.

 

3. බ්‍රෑන්ඩ් එක

Image Source – vikramnvp11.com

පිටකො‍ටුවේ ඕනම කෑල්ලක් දෙසීයයි ගොඩකින් ඩෙනිමක් ගන්න, රුපියල් තුන්සීයට පේමන්ට් එකෙන් සන්ග්ලාස් කුට්ටමක් ගන්න ඩයල් එකක් වුනත් ලැප්ටොප් එකක් ගන්න ගියහම බ්‍රෑන්ඩ් ගැන කථා කරනවා. හැබැයි ඒක සාධාරණ දෙයක්. මොකද ඔය එක එක ලැප්ටොප් බ්‍රෑන්ඩ් එක එක දේවලට ප්‍රසිද්ධයි. උදාහරණයක් විදියට ඇපල් උපාංග ඩිසයිනින්ග් වලට වටිනවා කියලා මතයක් තියෙනවා. HP වැඩට සුපිරි හැබැයි රත් වෙනවා කියලා කියනවා. ඒසර් වගේ බ්‍රෑන්ඩ් බැලන්ස් වගේම සාපේක්ෂව ලාභදායී කියලත් කියනවා. හැබැයි දැන් වෙනකොට එහෙමම කියන්නත් බෑ. මොකද හැම ලැප්ටොප් නිෂ්පාදකයෙක්ම උත්සාහ කරන්නේ හැම අතින්ම ඉහළ උපාංග වෙළෙඳපොළට එවන්න. අන්න ඒ නිසා දන්න බ්‍රෑන්ඩ් එකකින් ‍තෝරගත්තහම හරි. ජීවිතේට අහලා නැති බ්‍රෑන්ඩ්, බ්‍රෑන්ඩ් නැති චයිනීස් ලැප්ටොප් වලට එහෙම නොයන එක නුවණට හුරුයි.

 

4. සයිස් එක මොකක්ද?

Image Source – youtube.com

මේ අහන්නේ ස්ක්‍රීන් සයිස් එක ගැන. ඒකත් තීරණය වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය මත. නිරන්තරයෙන් එහා මෙහා ගෙනියන්න වෙන ලැප්ටොප් එකක් නම් වඩා කුඩා තිර ප්‍රමාණයකට යන එක සුදුසුයි. ඕනෑ නම් ඉතාම පොඩි සයිස් එකේ ඇටම් ප්‍රොසෙසරයක් තියෙන නෝට්බුක් එකක් වුනත් ඒ වගේ දේකට ගැලපෙයි. හැබැයි ඉතින් ඩිසයිනින්ග් කරන, ‍ෆිල්ම් එකක් බලන, ගේම් එකක් ගහන වගේ වැඩ වලට නම් විශාල තිර ප්‍රමාණයේ ලැප්ටොප් එකක් තමයි ගැලපෙන්නේ. දැන් අඟල් 17.3 වගේ විශාල ලැප්ටොප් වුනත් තියෙනවා. හැබැයි ඉතින් විශාල ලැප්ටොප් තිර වලින් සුලභ වෙන්නේ අඟල් 15.6 ප්‍රමාණය.

 

5. 2 ඉන් 1?

Image Source – johnlewis.com

මේක ටිකක් උත්තර දෙන්න අපහසු ප්‍රශ්නයක්. මොකද තාමත් මේ කියන්න යන කරුණ ‍රැඳිලා තියෙන්නේ ලැප්ටොප් එකේ ප්‍රයිස් ටැග් එක මත. ඒ තමයි සාම්ප්‍රදායික තිරයකින් සහ යතුරු පුවරුවකින් යුතු ලැප්ටොප් එකක් මිලදී ගන්නවද, එහෙමත් නැතිනම් දැන් තියෙන නවීන ටච්ස්ක්‍රීන් පැනලයකින් සහ ගලවා වෙන් කරන්නට හරි අනික් පැත්තට නවන්නට පුලුවන් යතුරු පුවරුවකින් යුතු 2 ඉන් 1 වර්ගයේ ලැප්ටොප් එකක් ‍තෝරගන්නවද? 2 ඉන් 1 එකක වාසිය තමයි අවශ්‍ය මොහොතේදී ටැබ්ලට් එකක් හෝ ග්‍රැ‍ෆික් ටැබ්ලට් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් හැකියාව. ඒ වගේම තවත් බොහෝ සාම්ප්‍රදායික ලැප්ටොප් එකක නැති ප්‍රයෝජන මේකෙන් ගන්න පුලුවන්. හැබැයි අවාසිය තමයි තාමත් මේ වර්ගයේ නෝට්බුක් උපාංග මිලෙන් සාපේක්ෂව වැඩි වීම.

 

6. ස්ක්‍රීන් එකේ කොලිටියත් වැදගත්

Image Source – imore.com

ඇයි ස්ක්‍රීන් එකේ කොලිටිය වැදගත් වෙන්නේ? හේතුව සරලයි. ග්‍රැ‍ෆික් ඩිසයිනින්ග් වගේ කරන හාදයෙකුට වැඩක් තියෙනවද ලෝ රෙසලූෂන් එකක් තියෙන, ඒ තරම් හොඳට කලර්ස් නොපෙනෙන තිරයක්. නෑනේ. එහෙම කෙනෙක්ට ඕන අති පැහැදිලිව වර්ණයන් සහ තොරතුරු පේන, ඉහළ රිසොලුෂන් එකක් තියෙන සුපැහැදිලි තිරයක්. ගොඩක් ඩිසයිනර්ස්ලා ඇපල් මැක් උපාංග වලට පෙම් බඳින්න එක හේතුවකුත් වෙන්නේ ඕක.

අනෙක් අතට ‍ෆිල්ම් එකක් එහෙම බලනකොටත් හොඳ තිර විභේදනයක්, පැහැදිලි වර්ණ, සුපැහැදිලි දසුන් ලබාදෙන තිරයක් තියෙන එක හොඳයි. හැබැයි ඒ වගේ දේකට අර තරම් දුර යන්න ඕන නෑ.

 

7. හොඳම හාඩ්වෙයාර්ද ඕනෑ?

Image Source – initinfotech.in

මෙන්න ගොඩක් දෙනෙක් ලැප්ටොප් ගන්න ගියාම වරද්ද ගන්න තැන. ගොඩක් අයට ඕනෑ කරන්නේ ඒ වෙනකොට වෙළෙඳපොළේ තියෙන උපරිම හැකියාවන් තියෙන අලුත්ම දෘඩාංග ටික. ඉතින් වැඩිම ‍රැම්, හොඳම ප්‍රොසෙසර්, වැඩිම ගණන් ග්‍රැ‍ෆික් කාඩ් එහෙම දාලා මැසිම හදලා ගන්නවා. හැබැයි පාවිච්චි කරන්නේ ලියුමක් ටයිප් කරන්න, ඉඳලා හිටලා ‍ෆිල්ම් එකක් බලන්න වගේ දේකට. අපරාදෙනේ. අන්න ඒ නිසා වැඩි හාඩ්වෙයාර් බලයක් තියෙන ලැප්ටොප් එකකට යන්න ඕන, තමන් ඒ හාඩ්වෙයාර් බලයෙන් ප්‍රයෝජන ගන්නවා නම් විතරයි. නැතිනම් මොකටද නිස්කාරනේ සල්ලි අපතේ අරින්නේ. ඔන්න හොඳ ‍රැම් මතකයක් එහෙම තිබුණට කාරි නෑ.

හැබැයි ඉතින් ඩිසයිනර්ස්ලා, විශේෂයෙන්ම හාඩ්කෝර් ගේමර්ස්ලා එහෙම ලැප්ටොප් ගන්නකොට, ඒවායේ ග්‍රැ‍ෆික් කාඩ් එහෙම අනාගතේදී අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියලා හොයලා බලලා ගන්න එක වටිනවා. එතකොට ටෙරා බයිට් කීපයකවත් හාඩ් ඩ්‍රයිව් එකක් එහෙම තියෙනවා නම් මේ වගේ අයට වටිනවා.

මේ ඇරෙන්න හැමෝම අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණයක් තියෙනවා දෘඩාංග සම්බන්ධයෙන්. ඒ තමයි සුපිරිම බැටරියක්!

 

8. ඔපරේටින් සිස්ටම්!

Image Source – verge.com

අපිට ලැප්ටොප් එකට ඕන ඔපරේටින් සිස්ටම් එක නැතිනම් මෙහෙයුම් පද්ධතිය මොකක්ද කියලා හිතනකොට ඒකට විකල්ප තියෙනවා. හැමෝටම හුරුපුරුදු වින්ඩෝස්. එතකොට ඇපල් ලෝලීන්ගේ හිතවතා Mac OS. නිදහස් සහ විවෘත කේත මෘදුකාංග අගයන වැඩ්ඩෝ රෙකමන්ඩ් කරන ලිනක්ස් පදනම් වුණු මෙහෙයුම් පද්ධති. සමහර වෙලාවට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති එක්ක එන ලැප්ටොප් එහෙමත් තියෙනවා.

කොහොම වුනත් වින්ඩෝස් දාපු ලැප්ටොප් එකක් ගන්නවා නම් හිතන්න ඕන අනිවාර්ය කාරණයක් තියෙනවා. මේ වින්ඩෝස් පිටපත හොර කොපියක්ද නැද්ද කියන එක. සමහර ආයතන වලින් “මේක වින්ඩෝස් දුවන ලැපක් මල්ලි” කියලා ඇ‍ඟේ ගහන්නේ කඩේ තියෙන ක්‍රැක් කරපු වින්ඩෝස් කොපියක් ඉන්ස්ටෝල් කරපු මැෂිමක්. අන්තිමට සෙටප් කරාටත් පස්සේ ෂේප් එකේ කස්ටමර්ට කඩේ අයියා කියනවා “අප්ඩේට්ස් ඕෆ් කරලා තියන්න” කියලා. අන්න ඒ වගේ වංචා වලට අහුවෙන්න එපා. වින්ඩෝස් දාලා එනවා නම් ජෙනුයින් මෙහෙයුම් පද්ධතිය තියෙන්න ඕන. එහෙම බැරි නම් ඩොස් තියෙන ලැප්ටොප් එකක් අරගෙන තමන්ටම හොර බැරිනම් ජෙනුයින් වින්ඩෝස් දාගන්න පුලුවන්.

එහෙමත් නැතිනම් ඇයි වින්ඩෝස් වලම එල්ලිලා ඉන්නේ? දාගන්නකෝ ලිනක්ස් පදනම් වුණු සුපිරි නිදහස් සහ විවෘත මෙහෙයුම් පද්ධතියක්. කාටවත් සත පහක් ගෙවන්න ඕනෑත් නෑ. කාටවත් පදිරි වෙන්න ඕනෑත් නෑ.

 

9. ගාණ කීයක් වගේ වෙයිද?

Image Source – arstechnica.com

මෙන්න මේක තමයි කාරණාව. ඔය උඩ තියෙන හැම දේම ගාණට බැලුවත් අපි හිරවෙන්නේ මේ ප්‍රයිස් එක කියන කාරණාවේදී තමයි. එතනදී අපිට ප්‍රයිස් එකත් එක්ක උඩ කියලා තියෙන විදියේ අපේ වුවමනා එපාකම් බැලන්ස් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් අවශ්‍ය නම් දැන් ලංකාවේ ලැප්ටොප් විකුණන සෑහෙන තැන්වල ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් දෙනවා කියන එකත් මතක තියාගන්න ඕන. සමහර ඒවා නම් ක්‍රෙඩිට් කාඩ් එකට අදහන්න බැරි විදියේ ඩිස්කවුන්ට් එහෙමත් දෙනවා! අන්න ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා ඉන්න එක වටිනවා.

 

10. අන්තිමට තවත් හොයලා බලන්න

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලැප්ටොප් එකක් ගන්න එක කඩෙන් මාළු පන්සීයක් ගේනවා වගේ තදියමට කරන්න පුලුවන් දේවල් නෙවෙයි. හොඳට හොයලා බලලා, තමන්ගේ අවශ්‍යතාවය සහ බජට් එක ගැන හිතලා මතලා තමයි ගන්න ඕන. එක කඩේකින් දැක්ක ගමන් ලැප්ටොප් එකක් ගන්න දුවන එකත් ගොන් වැඩක්. යන්න තව කඩවල් කීපෙකට. මිල ගණන් සසඳන්න. එහෙම මිල ගණන් සසඳනකොට මතක ඇතිව වොරන්ටිය ගැනත්, ඒ කිව්වේ වගකීම් සහතිකය ගැනත් හිතන්න. හැම මොහොතකම ඒජන්ට් වොරන්ටි නැතිනම් බලයලත් අලෙවි නියෝජිතයාගේ වගකීම් සහතිකය එක්කම ලැප්ටොප් එකක් ගන්න උත්සාහ කරන්න.

එහෙම කල් අරගෙන, හොයලා බලලා, තමන්ට ගැලපෙන එල කිරිම ලැප්ටොප් එක අරගන්න!

 

Cover Image Source – anderscpa.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *