යූටියුබ් එකට ආපු දන්න කියන නිවේදකයෝ

මීට අවුරුදු පහකට විතර කලින් යූටියුබ් එකේ වැඩිපුරම හිටිය නිර්මාණකරුවෝ බොහෝදෙනෙක් යූටියුබ් වෙත යොමු වුණේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලා වලින් තමන්ට කිසිදිනක ඉඩකඩක් ලැබෙන එකක් නැහැ කියන සිතුවිල්ල උඩ. ඇතැම් නිර්මාණකරුවෝ පස්සෙ කාලෙකදි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරලා තිබ්බේ ආධුනික තමන්ට මාධ්‍ය ආයතනවලින් සිද්ධ වෙච්ච කෙනෙහිලිකම් නිසා  තමන්ගෙම කියලා යූ ටියුබ් චැනල් එකක් පටන් ගෙන නිර්මාණ කරන්න පටන් ගත්තා කියලා. ඊට පස්සේ මාධ්‍ය ආයතනවලින් මේ නිර්මාණකරුවන්ව තමන්ගේ වැඩසටහන් සඳහා දායක කරගන්නට පටන් ගත්තා. හැබැයි මේ වෙද්දි අපිට දකින්න තියෙන රැල්ල තමයි මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත මේ වෙනකොට කෙමෙන් කෙමෙන් යූටියුබ් එකට සංක්‍රමණය වෙනවයි කියන එක. අපි අද කතා කරන්න යන්නේ නිවේදකයන් විදිහට ගමන ආරම්භ කරලා අද වෙනකොට සාර්ථකව යූටියුබ් චැනල් පවත්වාගෙන යන කීපදෙනෙක් ගැන.

 

 

1. ලහිරු මුදලිගේ 

සමාජ මාධ්‍ය ජාලාවල දුක් අහන අයිය විදිහට ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන ලහිරු අද වෙනකොට ලංකාවේ යූටියුබ් වපසරිය  ඇතුළේ ඉන්න ජනප්‍රියම පූරකයා විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු යූටියුබ් චැනල් එකට පමණක් සීමා නොවී හරි TV නමින් මාධ්‍ය ජාලයක්ම පවත්වාගෙන යනවා. ගොඩක් අය දන්නෙ “Stand by with Lahiru” වැඩසටහන විතරක් වුණාට පොඩ්ඩක් ඒ චැනල් එක ඇතුළට ගිහිල්ලා බැලුවොත් එහෙම ඊට එහා වැඩක් කරන්න ලහිරු ඇතුළු කණ්ඩායම උත්සාහ කරනවායි කියලා ඔබට තේරෙයි.

 

 

2. හරින්ද්‍ර ජයලාල්

ස්වර්ණවාහිනිය සන්නාමය සමඟ එකට බැඳිලා හිටිය හරින්ද්‍ර ජයලාල් අවුරුදු 17ක් තිස්සේ සහභාගි වුණු අමාදහර වැඩසටහනින් ඉවත් කිරීම ගැන පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලයන් තුළ විශාල විරෝධයක් එල්ල වුණා. හරින්ද්‍ර නිවේදකයෙකු ලෙස කෙතරම් සාමාන්‍ය ජනතාවට සමීප පුද්ගලයෙක්ද කියන එක ඒ තුළිනුත් වැටහෙනවා. හරින්ද්‍ර තමන්ගෙ යූටියුබ් නාලිකාව තුළින් විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලයන් සමග සංවාද ඉදිරිපත් කරන අතර ඒ හැම සංවාදයකම යම් ප්‍රමිතියක් පවත්වාගෙන යන්න ඔහු උත්සාහ කරනවා. 

 

 

 

3. චමුදිත සමරවික්‍රම

“Truth with Chamuditha” නමින් තමන්ගේ යූටියුබ් නාලිකාව පවත්වාගෙන යන චමුදිත සමරවික්‍රම ප්‍රසිද්ධියට පත්වෙලා ඉන්නේ ඕනෑම ආකාරයක වැඩසටහනක් ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු විදිහටයි. ඔහු මේ වන විට පවත්වාගෙන යන සංවාදාත්මක යූටියුබ් වැඩසටහන් මගිනුත් මේ බව තවත් පැහැදිළි වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල ඔහු විසින් කරළියට ගෙන ආ ළමා අනාවැකිකරු වැනි චරිත පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වලින් දැඩි විරෝධයක් එල්ල වුණා.

 

 

4. සමන් අතාවුදහෙට්ටි

නිවේදකයකු සහ හඬ කැවීම් ශිල්පියෙකු විදිහට මුළු රටම ආදරේ කරන සමන් අතාවුදහෙට්ටි “Saman4You” නම් තමන්ගේ යූටියුබ් නාලිකාව හරහා ඒ අවකාශය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න උත්සාහ කරන බව මේ දක්වා ඔහු එකතු කරලා තියෙන වීඩියෝ මගින් පැහැදිළි වෙනවා. නමුත් අවාසනාවකට වගේ කුණු රසයට වැඩි කැමැත්තක් දක්වන යුටියුබ් ප්‍රේක්ෂකයන්ගෙන් නම් ඔහුගේ ඒ වෑයමට  තල්ලුවක් ලැබිලා නැහැ. කොහොම වුණත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදිහට සමන් අතාවුදහෙට්‍ටි අඩු ප්‍රතිචාරවලින් අධෛර්යයට පත් නොවී තමන්ගේ වැඩපිළිවෙල ඉදිරියට සාර්ථකව ගෙනියයි කියලා අපි විශ්වාස කරනවා.

 

 

 

5. ජැක්සන් ඇන්තනී

ජැක්සන් ඇන්තනීගේ ඉදිරිපත් කිරීම් ගැන ආපහු අටුවාටීකා ඉදිරිපත් කරන්න ඕන කියලා අපි හිතන්නේ නැහැ. ජැක්සන්ගේ යූටියුබ් චැනල් එක හරියට නිකං මහා සිංහලයේ වංශ කතාව යූටියුබ් වැඩසටහනක් බවට පත් කළා වගේ. ඔහු තමන්ගේ බහුශ්‍රැත බවින් සහ ඉදිරිපත් කිරීමේ ශෛලිය මගින් ප්‍රේක්ෂකයාව වශී කර ගන්න සමත් වෙලා ඉන්නවා.

 

 

 

6. කැලුම් විජේසූරිය 

කැලුම් විජේසූරිය යූටියුබ් අවකාශය තුළ හෙමින් ගමනක් යන පුද්ගලයෙක්. නමුත් ඔහුගේ සෑම වීඩියෝවක් තුළින්ම වෘත්තීයමය භාවය ඉහළින්ම ආරක්ෂා කරගෙන යන්න කටයුතු කරලා තියෙනවා. මේ නිසාම යූටියුබ් වැනි සමාජ ජාලා මාධ්‍ය පිළිබඳව විශ්වාසය නොතබන වීණා ජයකොඩි වැනි කලාකාරිනියන් පවා ඔහු සමග සංවාද වල යෙදෙන්න කටයුතු කරලා තියෙනවා.

 

 

7. කිංස්ලි රත්නායක 

තාමත් යූටියුබ් අවකාශයේ එතරම් ජනප්‍රිය චරිතයක් නොවුණත් කිංස්ලි රත්නායක තමන්ගෙ චැනල් එක තුළින් සංවාද වගේම වෙනත් විදියේ වැඩසටහනුත් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා. විශේෂයෙන්ම මිනිස්සුන්ට අලුත් යමක්, අලුත් දැනුමක් ලබාදෙන්න ඔහු විසින් උත්සාහයක් දරලා තියෙන බව පැහැදිළියි. නමුත් කණගාටුවට කරුණ වෙන්නේ මේ චැනල් එක නිතර නිතර යාවත්කාලීන නොවීමයි.

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *