නිරුවතින් ඉන්න කැමති අයට යන්න එන්න හැසිරෙන්න මෙන්න තැන්

Nude Destinations

ඇඳුම් පැළඳුම් වලින් බැහැ මිනිහෙක් මනින්න කියලා කිව්වත් අපි බොහෝවිට තවත් නාඳුනන අයෙකු ගැන යම් අදහසක් ගන්න ඇඳුම් පැළඳුම් පාවිච්චි කරනවා. ඇඳුම් අඳින්නේ නැතිව හැසිරෙන්න කැමති පිරිසකුත් බටහිර රටවල වගේම අපේ රටවලත් දැන් බිහිවෙලා තියෙනවා. ඒක ඔවුන්ගේ ලැජ්ජ නැතිකම කියලා කෙලින්ම බාල කරලා දකින්න අමාරුයි. සැහැල්ලුවෙන් සොබා දහම එක්ක සමීපවෙන්න තියෙන අවස්ථාවක් විදියටත් නිරුවතින් සිටීම, නිරුවත් ලෝලීන් විසින් දක්වනවා. අද පමණක් නොව මීට වසර 2500කට ප්‍රථමද ජෛන මහාවීර විසින් ඇඳුම් කියන්නේ ජීවිතේට තවත් බරක් යැයි අදහස් දක්වා ඇඳුම් ප්‍රතික්ෂේප කළා. මේ විදියට නිරුවතින් ඉන්න, හැසිරෙන්න කැමති අයට ගැලපෙන ජනප්‍රිය තැන් තියෙනවා. එ වගේ නිරුවතින් ඉන්න අවස්ථාව ලැබෙන ස්ථාන සහ අවස්ථා කිහිපයක් ගැන දැනගනිමු.

 

1. වෙරා ප්ලායා – ස්පාඤ්ඤය

Nude Destinations

Image Source – twitter.com

කෘත්‍රිම ඇඳුම් ආයිත්තම් රහිතව නිදහසේ ඉන්න කැමති අය අතර ස්පාඤ්ඤයේ වෙරා ප්ලායා පළාත ප්‍රසිද්ධය. ස්පාඤ්ඤයේ ගිණිකොණ දිග වෙරළ තීරයට අයත් මෙම මුහුදු තීරුව කිලෝමීටර 2කටත් වඩා දිගය. එහි මුහුදු වෙරළ තීරය දිගට සංචාරක නිකේතන 2,000කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. සමහර වෙලාවට පාරවල් වලත් සංචාරකයෝ ඇඳුම් නැතුව, කිසිම වෙනසක් නැතිව පේන්නට ඉන්නවා. මේ වෙරළ තීරය නිරුවත ප්‍රිය අයට සම්පූර්ණයෙන්ම වෙන් කළ එකක් නෙමෙයි. ඉතිං ඒ නිසා ඇඳුම් සහිතව අඩනිරුවතින් ඉන්න සංචාරකයිනුත් මේ වෙරළ තීරයේදි හමුවන්නට පුළුවන්. ස්පාඤ්ඤයේදි සංචාරයකදී ඇඳුම් අඳින්නේ නැතුව සිටීම ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා මේ විදියේ නිරුවත්ව ඉන්නට පුලුවන් මුහුදු වෙරළ රැසක්ම ස්පාඤ්ඤයේ තියෙනවා.

 

2. සමුරායි බීච් – ඕස්ට්‍රේලියාව

Nude Destinations

Image Source – 9now.com

ෆෝ වීල් වාහනයකින් යායුතු මෙම සමුරායි බීච් එක තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ ජාතික වනෝද්‍යානයක. සමහරු වසර 20ක් විතර තිස්සේ සෑම ගිම්හාන කාලයකදිම මෙම බීච් එකට ඇවිත් නිදහසේ නිරුවතින් විනෝද වෙලා යනවා. 1996 දී තමයි මේ කලාපය ඇඳුම් නැති අයට හුරුපුරුදු කලාපයක් බවට පත් වෙලා තියෙන්නේ. මේක වනෝද්‍යානයක තියෙන නිසා මේ තැන ඇවිත් විනෝද වුනාට අරං එන හැම දෙයක්ම නැවත රැගෙන යන්නට ඕනි. මෙහි එන අය කොටින්ම තමුන්ගේ මළ අපද්‍රව්‍ය පවා තාවකාලික වැසිකිලි වල එකතු කරලා අරගෙන යන්නට හුරු වෙලා තියෙනවා.

“අපි ළඟ නැත්තේ ඇඳුම් විතරක් නෙමෙයි. අපිට වෙන හංගාගන්න කියලා ලොකු දෙයක් නැහැ. මේකප් නැහැ, කොණ්ඩ මෝස්තර නැහැ. අපිට මෙතැනට ආවම අමුතු සැහැල්ලුවක් ජීවිතේට දැනෙනවා.”  සමුරායි බීච් වෙත ආපු මැදිවියේ කාන්තාවක් සමුරායි බීච් එකේ අත්දැකීම ගැන අදහස් දක්වලා තිබුනේ එහෙමයි.

 

3. නිරුවත් යෝගා – නිව්යෝක්

Nude Destinations

Image Source – nakedinmotion.com

යෝගා මගින් සිත කය සංසුන් කරගැනීම ලංකාවේත් නගරබදව ජනප්‍රිය දෙයක්. නිව්යෝක් හි නේකඩ් යෝගා මධ්‍යස්ථාන වලදී සම්පූර්ණයෙන්ම නිරුවත් වී කරන යෝග ව්‍යායාම  තියෙනවා. ඒවායේ පිරිස් සමූහ වශයෙන් නිරුවතින් යෝග ව්‍යායාම ආදිය පුරුදු පුහුණු වෙනවා. ස්පෝට්ස් බ්‍රා සහ ලෙගින්ස් ඇඳගෙන, ඇදෙනසුලු ව්‍යායාම කිරීමේදී ඒ ඇඳුම් වලින් සමහර වෙලාවට අපහසුතා එනවා. ඒත් සම්පූර්ණ නිරුවතින් සිටින විට ඇඳුම් පැළඳුම් වල කිසිදු බාධාවකින් තොරව නිදහසේ සිරුරේ ඉන්ද්‍රිය චලනයට අවස්ථාව ලැබෙන බව නිරුවත් යෝගා හි යෙදෙන යුවතියන් පවසා තියෙනවා.

 

4. නිරුවත් බයික් සවාරි – ලන්ඩන්

Image Source – commons.wikimedia.org

මේ බයිසිකල් සවාරියේ අරමුණ ටිකක් පළල් එකක්. කාර් රථ සහ මෝටර් රථ වලින් වෙන පරිසර දූෂණය ගැන අවධානය ලබාගන්න තමයි මේ අය නිරුවතින් බයිසිකල් වල නැගිලා සවාරි යන්නේ. මේ වර්ෂයේත් ජුනි 9 වැනිදා මෙම නිරුවත් බයිසිකල් සවාරිය ලන්ඩනයේ රීජන්ට් පාක්, හයිඩ් පාක් සීමාවේ පැවැත්වුණා. කාර් වලින් සිදුවෙන පරිසර දූෂණය ගැන දැනුවත් කිරීමට අමතරව නිරුවතින් යෑම තුළින් සිරුරේ නිදහස සැමරීමත් මේ පාපැදි සවාරියේ අරමුණ වෙනවා.

 

5. නිදහසේ ගොල්ෆ් – ලා ජෙනී, ප්‍රංශය

ප්‍රංශය කියන්නේ කලාවට වගේම නිරුවතටත් එතරම් සීමා මායිම් නැති රටක්. ප්‍රංශයේ නිරුවතින් ඉන්න පුලුවන් නිවාඩු නිකේතන ගොඩාක් තියෙනවා. දකුණු අත්ලාන්තික කලාපයේ තියෙන මෙම ලා ජෙනී කලාපය හෙක්ටයාර 127කින් සමන්විත වෙනවා. මේ අඩවියේ නිරුවතින්ම ගොල්ෆ් සෙල්ලම් කරන ගොල්ෆ් පිටිද තියෙනවා. නිරුවත් ක්‍රීඩා වලට දේශගුණය උණුසුම් කාල වකවානුව තමයි සුදුසුම. යුරෝපයේ නිරුවත් ඩෙස්ටිනේශන් එකකට යනවා නම් කාලගුණ දේශගුණික තත්ත්වයන් බලලා යන එක වඩාත් සුදුසුයි. මොකද තද ශීත සහ වැසි කාලවලදී නිරුවතින් සිටීම ප්‍රායෝගික නැහැ.

 

6. ෆින්ලන්තයේ සෝනා

Nude Destinations

Image Source – coach.nine.com.au

ෆින්ලන්තය කියන්නේ සෝනා සංස්කෘතියේ මහගෙදර වගේ තැනක්. අලුතින් ඔෆිස් එකට පැමිණි හැඩකාර ගැහැණු ළමයා සමග සෝනා එකකට ගිහින් සැහැල්ලුවෙන් විනෝදයෙන් චැටක් දාන එක ෆින්ලන්තයේදි අලුත් දෙයක් නෙමෙයි. වෙනත් යුරෝපා රටක කෝපි කෝප්පයක් බොන්නට යුවතියක් එක්ක යනවා වගේ සරල දෙයක් තමයි ෆින්ලන්තයේදී සෝනා එකකට යෑම කියන්නේ. සෝනා කියන්නේ සම්පූර්ණ සිරුරම හුමාලයට විවෘත කරලා සිරුරට සැනසීම උදාකරගන්නා ක්‍රමයක්. ෆින්ලන්තයේදී බොහොම ලස්සනට හදපු සෝනා මධ්‍යස්ථාන වලට විදේශිකයින්ද යනවා. විදේශිකයිනුත් නිරුවත් සිරුරට හුමාලය අල්ලලා, මොකක්ද මේ ෆින්ලන්ත ජනයා ලබාගන්නා විනෝදය කියලා අත්දැකීම් ලබාගන්නවා ඇති.

 

7. කැරිබියන් හි නිරුවත් කෘෘස්

Nude Destinations

Image Source – cruisebare.com

කැරිබියන් කලාපය කියන්නේ ලෝකයේ සුවපහසු මගී නෞකා වලින් සැප විඳින ජනයා අතර ජනප්‍රිය කලාපයක්. කැරිබියන් හි ඇතැම් මගී නෞකාවන් නිරුවත් සංචාර සංවිධානය කරනවා. මේවාට එකතු වෙන්නේ වැඩිමනක් මැදිවියේ උදවිය. නිදහසේ කාලය ගත කරන්න කියලා නැවකට ගොඩවුනාම නැව මූදේ යද්දි කිසිම රටක නීතියකට රීතියකට නැව යටත් වෙන්නේ නැහැ. එ් නිසා ඕනි හැටියට නිරුවතින් සෙල්ලම් කරන්න මේ නිරුවත් සංචාර වලදි ඉඩකඩ ලැබෙනවා. සමහර සාමාන්‍ය නැව් වලත් ඇතැම් පූල් සහ කලාපයන් නිරුවත් සංචාරකයින්ට වෙන් කරන වෙලාවල් තියෙනවා.

පෙරදිග තන්ත්‍රයාන දහම, කාම සූත්‍රය, ඛජුරහෝ කැටයම් ආදී පැරණි සලකුණු තුළින් බටහිර ජනයාට පෙර සිටම ඇඳුම් රහිතව සිටීමේ නිදහස පෙරදිග දියුණු වැසියන් භුක්ති විඳලා තියෙනවා කියා පේනවා. නිරුවත් රූපකාය මගින් ජීවිතයේ යථාර්ථය පෙන්වන බව ඒ නිරුවතින් සිටින්නට කැමති ඇතැම් අය විශ්වාස කරනවා. කොහොම වුනත් සමාජයේ කොටසක් ඒ නිරුවතින් සිටින ක්‍රියාවට කැමති නම් ඒ අයට ඉඩ දෙන්නට දියුණු සමාජ ක්‍රියා කරලා තියෙනවා. අනෙක් අයට බාධාවක් නොවන විදියට ඒ ඇඳුම් නැතිව හැසිරෙන්න පුලුවන් තැන් දියුණු රටවල නිර්මාණය වෙලා තියෙනවා.

Cover Image Source – gbtimes.com/ mentalfloss.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *