බයික් එකක ටෙක්නිකල් ස්පෙක් එක සරලව කියවමු

ලංකාවේ වසරකට වැඩිපුරම අලෙවි වන වාහන ජාතිය තමයි මෝටර් සයිකල්. මෝටර් සයිකලයක් කියන්නේ ඕනිම කෙනෙකුට සල්ලි ටිකක් එකතු කරගෙන පොඩි ලීස් එකකට වුනත් ගෙදරට ගන්න පුළුවන් බඩුවක් වෙලා. ඉතින් මෝටර් සයිකල් එකක් ගන්න කියල අපි ෂෝරූම් එක්කට ගියත්, එහෙම නැතිනම් ඉන්ටනෙට් සර්ච් ක​ළත් ඒ ස​ඳහන් විස්තර ආදිය හරියට තේරුම් ගන්න අපිට අමාරුයි. එයින් කරුණු කීපයක් අපි සරලව තේරුම්ගන්​න බලමු.

 

1. බයික් ටයිප් එක

බයික් එකක ස්පෙක් එක ගැන කතා කරද්දි ඒකට අදා​ළ මාදිලිය වැදගත් වෙනවා. බයික් කියද්දි ලංකාවේ පාරවල් වල ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ නේකඩ්, ස්ටෑන්ඩර්ඩ් මාදිලියේ බයික් තමයි. හො​ඳට ලස්සනට හැඩකරලා රේස් වලට හදාපු බයික් ස්පෝට් බයික් වෙනවා. ටිකක් උසට තියෙන කටුක පළාත්වල ගමනාගමනයට හදාපු බයික් ට්‍රේල් බයික් නැතිනම් ඕෆ් රෝඩ් බයික් විදියට හඳුන්වනවා. නැගල අහක් වෙලා බිම වාඩිවුනා වගේ බොහොම පාත සීට් එකක වාඩිවෙලා චූන් එකේ යන්න තියෙන බයික් කෘසර් බයික් වෙනවා. කෘසර් එකම ටිකක් මොඩිෆයි කරලා වේගෙනුත් යන්න හදාපු හාලි ඩේවිඩ්සන් වගේ බයික් අයිති වෙන්නේ ටුවරින් බයික් වලට. ඒ වගේම ගියර් නැති, අමාරු නැති ස්කූටිත් තියෙනවා. ඔය විදියට බයික් මාදිලි ගොඩක් තියෙනවා. ඒ ඒ බයික් මාදිලිය අනුව බයික් වල ටෙක්නිකල් ස්පෙක් එක වෙනස් වෙනවා.

 

2. බයික් එකේ බර

ඉස්සර ජපානෙන්, යුරෝපෙන් ආපු බයික් යක්ස බරක් තියෙන්නේ. ඒත් දැන් ඉන්දියාවෙන් එන මොඩල් වැඩි බරක් නැහැ. මුල් කාලෙදි මේ ඉන්දියන් බයික් පපඩම් ​වගේ කියලත් අපේ අය කිව්වා. ඒත් ඉන්දියන් බයික් වල තෙල් පිරිමහන්න සහ නිෂ්පාදන වියදම් අඩු කරන්නයි එයාල බයික් සැහැල්ලුවට හදන්​නේ. ට්‍රේල් බයික් එ​හෙම නැතිනම් ඔෆ් රෝඩ් බයික් වලත් සාමාන්‍යයෙන් අනික් බයික් වලට වඩා බර අඩුයි. ඔෆ් රෝඩ් වලදි බයික් එක සැහැල්ලු වෙන තරමට ගල් මුල් උඩින් බයික් එක ගෙනියන්න ලේසියි. ඒ වගේම ස්කූටර් මොඩලුත් සාපේක්ෂව බර අඩුවෙන්න නිෂ්පාදනය කරනවා. ඇමරිකාවේ හෙම දකින්න තියෙන විශාල බයික් සමහරක් ඒවා කිලෝ පන්සීයකටත් වඩා බරයි. කිලෝමීටර දාස් ග​ණන් යන්න විශාල සිලින්ඩර ධාරිතාවෙන් යුතු ඒ බයික් අමුතුවෙන් සැහැල්ලු කරන්න නිෂ්පාදකයෝ උත්සාහ කරන්නේ නැහැ.

 

3. බලය සහ ටෝක් එක

බලය ගොඩක් වෙලාවට අශ්ව බල වලින් මනිනවා. ඒ වගේම ටෝක් එක නිවුටන් මීටර වලින් මනිනවා. ගොඩක් වෙලාවට බයික් මෙහෙදි වර්ග වෙන්නේ සිලින්ඩර ධාරිතාවයට අනුව. ඒ අනුව 100, 110, 125, 150, 160, 200, 250 ආදී නම්බර් වල බයික් අපිට සුලබව දකින්න තියෙනවා. මේ සිලින්ඩර කැපෑසිටි එක සහ බලය අසමාන වෙන වෙලාවලුත් තියෙනවා. අපි​ට නිතර දෙවේලේ ඇහැ ගැටෙන යමහා එෆ් ඉසෙඩ් 150 සීසී බයික් එකක් ගනිමු. එෆ් සෙඩ් එකේ මැක්සිමම් හෝස් පවර් ස​ඳහන් ​වෙන්නේ 13.2ක් විදියට. ඒත් 125 සීසී කේ ටී එම් ඩියුක් බයික් එකේ පවර් එක 14.5ක් විදියට දැක්වෙනවා. ඒ අනුව සිලින්ඩරේ විශාල වුනාට හැමතිස්සේම ලබාදෙන බලය එක සමාන වෙන්නේ නැහැ. ඒ නිසා බයික් එකක් බලද්දි මැක්සිමම් ටෝක් එක, පවර් එක ගැනත් බලන එක වැදගත් වෙනවා.

 

4. තෙල් වැඩකිරීම

මයිලේජ් කියලා ඉංගිරිසියෙන් දැක්වෙන තෙල් කිරීම ලංකාවේ දි බයික් එකක් ගැනීමෙදි සෑහෙන වැදගත් සාධකයක් වෙනවා. හීරෝ ස්ප්ලෙන්ඩර්, ඩෝන් වගේ හීරෝ බයික් වගේම සීටී 100 වගේ බජාජ් මොඩලුත් හො​ඳටම තෙල් කරනවා. සමහර බයික් වල ලීටරයට 60-70ටත් වඩා කරනවා කියලා ස​ඳහන් වෙලා තියෙනවා. මෙතනදි නම් බයික් එකේ ස්පෙක් එකට අමතරව පාවිච්චි කරන දෙතුන් දෙනෙකුගෙනුත් අහන්න පුළුවන් නම් වටිනවා. මොකද කවුරුවත් නැති සමතලා පාරක තෙල් පිච්චෙනවාට වඩා අපිට යන්න තියෙන පාරවල් වල තෙල් පාවිච්චිය ටිකක් වැඩිවෙන්න ඉඩ තියෙනවා.

 

5. වීල්බේස් එක සහ ආනතිය

ජී එන් 125 බයික් එකේ හැඩල් එක පිහිටලා තියෙන විදියට නෙමෙයි පල්සර් එකේ හැඩල් එක තියෙන්නේ. ඒ බයික් එකේ මාදිලිය අනුව දිග ප්‍රමාණ සහ හැඩල් එකේ ආනතිය වෙනස් වෙනවා. හාලි ඩේවිඩ්සන් වගේ බයික් එකකදි රේක් ඈන්ගල් එක නැතිනම් හැඩල් එකේ ආනතිය අංශක 35ක් පමණ වෙන වෙලාවලුත් තියෙනවා. මේ විශාල දිග හැඩල් සහිත බයික් පොඩි ස්පීඩ් වලදි ටිකක් හසුරුවන්න අමාරුයි වගේ තේරුනාට ඒ බයික් වලට නියමිත වේගයට එද්දි බයික් එක බබා වගේ හසුරුවන්න පුළුවන්කම ලැබෙනවා.

 

6. සීට් එකේ උස

ට්‍රේල් බයික් හැරුනාම අනෙක් බයික් වලදි බයික් එකේ සීට් එක පාත තියෙන එක බයික් එක හැසිරවීමේදී වඩාත් පහසුවක් වෙනවා. ට්‍රේල් බයික් වලදි නම් බයික් එකට ගොඩ වුනාම යාන්තම් වගේ ඇඟිලි පො​ළවේ ගහන්න හැකි මට්ටමට තමයි සීට් එක පිහිටලා තියෙන්නේ. මේ සීට් එකේ උස අඩු හෝ වැඩි වුනත් හැම බයික් ජාතියකදීම සීට් එකේ වාඩිවිය යුතු සහ කකුල් තියාගන්න ඕනි ආකාරයක් තියෙනවා. බයික් එකක් ගන්න බලද්දි ඒ බයික් එකට ගැලපෙන ආකාරයට කකුල් දෙක තියලා පොඩ්ඩක් තමුන්ට ගැලපෙනවාද කියාල බලන්න පුළුවන් නම් ගොඩක් හො​ඳයි.

 

7. එන්ජින් විස්තර

එන්ජින් එක සේම් කැපෑසිටි එක වුනත් එන්ජින් එකට සෙට් වෙන වෑල්ව් ගා​ණ අනුව බලය වෙනස් වෙනවා. මේ නිසා දැන් ඉන්දියන් බයික් වල ෆෝ වෑල්ව්ද? ටූ වෑල්ව්ද කියලාත් ස​ඳහන් වෙලා එනවා. ඒ වගේම බයික් එකේ විශාලත්වය වැඩිවෙද්දි ලික්විඩ් කූලින් මෙතඩ් එකක් වඩාත් හො​ඳයි. එයා කූලින් වලට වඩා කාර්යක්ෂමව එන්ජිම කූල් කරන්න ලික්විඩ් කූල් වලදී පුළුවන්කම ලැබෙනවා.  සුවිශාල ට්‍රැෆික් බයික් වල හෙම සිලින්ඩර දෙකේ විශාල එන්ජින් තියෙනවා. ඒත් සාමාන්‍ය අපිට ලංකාවේ පාරවල් වල මල්ටි සිලින්ඩර බයික් දකින්නට ලැබෙනවා අඩුයි. සිලින්ඩර ගා​ණ වැඩිවෙද්දි බලය හො​ඳයි. ඒත් අපේ රටේදි හෙම තෙල් කිරීම සහ බයික් මිල වගේම 500 සීසී වලට වඩා වැඩි බයික් වලට තියෙන ටැක්ස් සහ බලපත් කේස් නිසා ලොකු බයික් අපේ රටේ දකින්න තියෙන්නේ අඩුවෙන්.

 

8. බ්‍රේක් සහ සස්පෙන්​ෂන්

මුලදි කිව්ව ආකාරයට ඉන්දියන් බයික් වල 100 සීසී බයික් වලදි තෙල් සැපටම කරනවා. ඒත් බයික් එක 60ට වඩා වේගෙන් පාගද්දි බයික් එකම අපිත් එක්කම ඩ්ර්ර්ර්ර් ගාලා ගැස්සෙන්න ගන්නවා. ඒ නිසා බයික් එකක් ටිකක් වේගෙන් යන අදහසින් ගන්නවා නම් බයික් එකේ සැප පහසුව, සස්පෙන්​ෂන් ගැනත් ටිකක් හොයල බලන එක වටිනවා. සින්ගල් ෂොක් එකක් විතරක් තිබුනත් මොනොශොක් බයික් ඩුවල් ශොක් වලට වඩා සැපපහසුව හො​ඳයි. දැන් නම් 150 සීසී බයික් වලටත් ඒ බී එස් බ්‍රේක් එනවා. ඒ ඇන්ටිලොක් බ්‍රේක් වලදි අපි හිතේ හයිය අතට අරං බ්‍රේක් පලු මිරිකුවේ නැතත් සුලු තෙරපීමකින් අදා​ළ බ්‍රේක් එක ගහගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ගොඩක් බයික් වල ඩිස්ක් බ්‍රේක් එනවා. බයික් එකේ ඩිසයින් එක, දිග ප​ළල උස, බර සහ ටයර් ආදියත් බ්‍රේක් සහ සස්පෙන්ෂන් වලට බලපානවා.

 

බයික් කියන්නේ ආගමක් නම් ඒකෙදි අපිට පොත් බලලා ඉගෙන ගන්න දේවල් වගේම එක්ස්පීරියන්ස් එකෙන් ඇ​ඟට ගන්න ඕනි දේවලුත් තියෙනවා. ඔහේ නැගලා සංසාර පුරුද්දට වාගෙ බයික් එකේ යනවාට වඩා විස්තර ටිකක් හරි දැනගෙන බයික් එකක යන එක බොහොම වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *