බත රස කරන රට සරු කරන බල මාළු

බල මාළුවා කියන්නේ අපේ රටේ ජනප්‍රිය මාළුවෙක්. දකුණු පළාතේ නම් බල මාළු උයන්නේ මිරිසට සහ ඇඹුල්තියල් විදිහට. ඉතින් බලමාළු දැන් නම් කූල් පෙට්ටියේ එන්නේ. මීට කාලෙකට කලින් මේ මාළු කූල් පෙට්ටිවල ගහන එක එන්නට කලින් මාළු වේලුවා, නැතිනම් මාළු කරවල හැදුවා, එහෙමත් නැත්නම් ජාඩි හදලා ජාඩි විදිහට ගෙවල් වලට ආවා. බල මාළු අපිට නම් අලුත්ම මාළු විදිහට, ටින් මාළු විදිහට වගේම කරවල උම්බලකඩ විදිහටත් අපේ කෑම පිඟාන රසවත් කරන්න යොදාගන්නට පුළුවන්. ඉතින් අපි බල මාළු ගැන අද ටිකක් සොයා බලමු. 

 

1. බල මාළු ලංකාවේ උයන හැටි

බල මාළු ලංකාවේ උයන ක්‍රම ගණනාවක් තියෙනවා. අපේ මාළු හොදි හදන ක්‍රමයටම තමයි කේරලේ මලයාලි ක්‍රමයට මාළු හොදි හදන්නේ. මිරිස්, ගොරකා ගම්මිරිස් දාලා, ඉන් පස්සේ වතුර දාලා තව ඉඟුරු සුදුළූණුත් දාල සුප් එක වගේ රතුපාටට තම්බා ගන්නවා. කේරලේ නම් තවත් කුළුබඩු වර්ග කීපයක්ම එකතු කරනවා. බෙංගාලයේදී ස්කිප්ජැක් ටූනාවෝ උයන්නේ මුලින්ම බැදලා. මුලින්ම පොල්තෙල් වල බැදගන්න මාළුවා ඉන් පස්සෙ කේරල ක්‍රමයට ආසන්න විදිහට කුළු බඩු, ළූණු, රසකාරක එකතු කරලා හොඳට හොද්ද වගේ වෙන්න උයාගන්නවා. ඉතින් ඒ දෙපළාතේම උදවිය බත් එක්ක යහමින් මේ බලමාළු හොද්ද දාගෙන, බත් කල්දේරම් ගණන් ලෙසටම අඹරනවා.

 

2. බල මාළු විස්තර

බල මාළු ලංකාව වටේම මූදෙන් විටින් විට අහුවෙනවා. ඉන්දියානු සාගරයේ ඉන්න මාළුන්ගෙන් වැඩිපුරම වාණිජව අල්ලාගන්නා රසවත් මාළුවෙක් තමයි බල මාළුවා. මේ බල මාළුවා තරමක් ඌෂ්ණයි. ඒ කියන්නෙ කෑවම ටිකක් ඇඟ කසනවා, පළු එනවා, රතු වෙනවා වගේ ගතියක් තියෙනවා. ‍මේ බල මාළුවා අතීතයේ ඉඳලා එක එක රටවල මූදින් අහුවුණ මාළුවෙක් නිසා බල මාළු  විවිධ රටවල විවිධ ආකාරයට උයනවා. කෙලවල්ලා, ඇටවල්ලා, හුරුල්ලා අයිති වෙන ස්කොම්බිඩ්‍රෙ කියන කුලයට තමයි බලයාත් අයිති වෙන්නේ. අනෙක් මාළුන්ගේ බඩේ කළුපාට ඉරි කිහිපයක් දිග අතට තියෙන නිසා බලයා හඳුනාගන්න ලේසියි.

 

3. බල මාළු ඉන්නේ කොහේද?

වැඩිපුර ඇල්ලීම නිසාම බල මාළුවා යම් තර්ජනයකට මූණ පාලා තියෙනවා. ඇට්ලන්ටික්, පැසිෆික් සහ ඉන්දියානු සාගර තුනේම දකින්නට ඉන්න මේ බලයා නිවර්තන කලාපයේ වැඩිපුර හමුවෙනවා. බල මාළුවාට අඩි අටසිය පණහක් ගැඹුරට පීනන්න පුළුවන්. කෙලවල්ලා ඇටවල්ලා වගේ සම කුලේ මාළු එක්ක වැඩිපුර හැසිරෙන බල මාළුවා සමූහ වශයෙන් වැඩිපුර හැසිරෙන්නට ආසා කරන මාළුවෙක්. මේ මාළු වසරේ සෑම කාලයකම පැටවු බිහිකරනවා. මිනිස්සු කෑමට ඇල්ලුවේ නැතොත් අවුරුදු 10ක් විතර ජීවත් වෙනවා.

 

4. අල්ලන හැටි

ලංකාවේ නම් මූදු අයිනෙන්, වෙරළාසන්නයෙනුත් බල මාළුවා අහු වෙනවා. ඒනිසා දවසේ මූදු යන බෝට්ටුවලත් බල මාළු එනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් විශාල වශයෙන් මාළු අල්ලන ට්‍රෝලර් යාත්‍රා වලට තමයි බල මාළු  වැඩිපුර අහුවෙන්නේ. විශාල යාත්‍රා වලින් ගිහින් බිලීකොකු ගහලාත් තොග වශයෙනුත් බල මාළු අල්ලනවා. ඒ ක්‍රමයෙදි එකට ඉන්න වෙනත් කෙලවල්ලා වගේ මාළුත් අහුවෙනවා. අනෙක් ක්‍රමයේදි බලයින් රෑනක් ඉද්දි ඔවුන් වටවෙන පරිදි විශාල නෙට් ​එකක් ගහනවා. ඒ විදිහට නෙට් මගින් අල්ලන මාළු ශීතාගාර වල දමලා වෙරළබඩ ධීවර වරායන්ට ගෙනත් දෙනවා.

 

5. රට රටවල උයන හැටි

බල මාළුවා ලංකාවේ වගේම වෙනත් රටවලත් කෑමට ගන්න ජනප්‍රිය මාළුවෙක්. මේ මාළුවා ඉන්දුනීසියාවේදී අල්ලපු ගමන් දුම් ගහනවා. පොල්ලෙලි දමලා කරලා රත් කරලා පදමට ගත්තාට පස්සේ ඒ බාගෙට තැම්බුණු මාළු වලින් විවිධාකාරයේ කෑම ඉන්දුනීසියාවේදී හදාගන්නවා. ඒ ක්‍රමය චකලන් ෆුෆු කියන නමින් හැඳින්වෙනවා. ජපානයේ අය මාළු අමුවෙන් කන්න කැමතියි. එයාල මාළු සහ බත් එකට තියලා ඒවාට වෙනමම සෝස් වර්ග එකතු කරලා බල මාළුත් සශුමි විදිහට ආහාරයට ගන්නවා. සුද්දාගේ රටවලදි බල මාළු නැත්තම් ස්කිප්ජැක් සාමාන්‍යයෙන් රත්වූ තැටියක රත් කරගෙන ලුණු, මිරිස් එකතු කරගෙන අහාරයට ගන්නවා.

 

6. බලයා කැපීම සහ පිළියෙල කිරීම

බලමාළු කපාගන්න නම් අපේ ලංකාවේ ධීවරයින් සහ වෙළෙන්දොත් දක්ෂයි. කපාගත් මේ මාළු හොඳින් ශීත කළොත් කලක් තියාගන්නත් පුළුවන් . දැන් ලංකාවේ තිබෙන ලාබ ටින්මාලු වලනම් බලමාළු නැති තරම්. ඉස්තරම් බලමාළු ඇතුලත් කුඩා මාළු ටින් එකකුත් ටිකක් මිල අධිකයි. ලංකාව වටේම මුහුද තිබු​ණත් ලංකාවේ විදෙස් වෙළඳපොලට යන බල මාළු කිලෝවක් රුපියල් 1,500කට වැඩි මිලක් වෙනවා. ඒ නිසාම අපිට මාළු ලැබෙන මාළු ලෑල්ලේ බොහෝවිට ඉස්තරම්ම බල මාළු ගන්න නෑ. දෙවනි, තෙවනි පෙළ තත්ත්වයේ මාළු තමයි අපේ ලෑලිවල සුලබව තියෙන්නේ.

 

ලංකාවට බල මාළු කියන්නේ ප්‍රෝටීන ලැබෙන හොඳ ආහාරයක්. ඒ වගේම ඉන්දියානු සාගරයේ ඉන්න බලයා ඇතුළු ටූනා කුලයේ මාළු අපනයනයෙන් අපේ රට විශාල ආදායමක් ද ලබාගන්නවා. දැනට දැඩි අවදානමක නොහිටියත් බල මාළු අල්ලන්න නියමිත ධීවර ක්‍රම පාවිච්චි කරන එක දිගුකාලීනව වැදගත් වෙනවා.ප්‍රෝටීන වෙනසක් නිසාම බල මාළු යම් ඌෂ්ණ ස්වභාවයක් ගත්තත් රතු මාළු ආහාරයට ගන්න කැමති අය අතර බලමාළුවා හැමදාම ජනප්‍රිය මාළුවෙක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *