ඩේටින් ඇප් එකක් දාගෙන හිටියට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති කොල්ලන්ට විශේෂයි!

දැන් කාලේ කෙල්ලො කොල්ලො සෙට් කරගන්න මග තොටේ, කඩපිලේ, පංසලේ, පල්ලියේ, බස් එකේ, කෝච්චියේ ඇහැට ඇහැ දෙන්නම ඕන නෑ. ඒවයිනුත් කෙල්ලො කොල්ලො සෙට් වුණත්, දැන් කාලේ සෑහෙන්න දුරට ඔන්ලයින් සීන් වලින් කෙල්ලො කොල්ලො සෙට් වෙනවා. ෆේස්බුක් ඒ අතරින් ප්‍රධානයි. හැබැයි ඒ ඇරෙන්න ඔය ඩේටින් ඇප්ස් එහෙමත් තියෙනවා කියන එක අමතක කරන්න එපා.

දැන් ඔය ඩේටින් ඇප්ස් සහ වෙබ්සයිට්ස් ගැන කිවුවොත්, ඒවා පාවිච්චි කරන කොල්ලන්ට තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි කොයි තරම් සන්ග්ලාස් දාගෙන කාර් ඉස්සරහා ඉඳන් ෆොටෝ අරගෙන දැම්මත්, මළාට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති එක. මොන මගුලක්ද ඕයි, එතකොට මෙව්වෑ ඉන්න කෙල්ලෝ සෙට් වෙන්නේ මොක්කුන්ටද, එක්කෝ උන් ලෙස්බීයන් සීන් එකේද? ඔන්න ඕක තමයි ඔය ඩේටින් සේවා වල ප්‍රොෆයිල් හදාගෙන කෙල්ලෙක් සෙට් කරගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් වැඩේට බැස්සත්, මැස්සෙක්වත් සෙට් වෙන්නෙ නැති කොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. ඇත්තටම ඕක බොරු ප්‍රශ්නෙකුත් නෙවෙයි.

ආන්න ඒ නිසා අපි හිතුවා ඩේටින් සයිට් එකක, ඇප් එකක උපරිම ඵලදායීතාවය ලබාගන්න පුළුවන් කියලා කියන ටිප්ස් ටිකක් ෂෙයාර් කරගන්න කෙල්ලෙක්ව හොයන අපේ කොල්ලොත් එක්ක. ඒ එක්කම කියවලා එන්න Lifie.lk එකෙන් අපි කලින් ඉදිරිපත් කරපු, ජනප්‍රිය OKCupid ඩේටින් සයිට් එකේ ගොඩයන්න ඉඩ තියෙන ක්‍රම සහ විධි ගැන ලියපු ආටිකල් එකත්!

 

1. හරි ඇප් එකද?

මෙන්න මේක හිතලා බලන්න වෙන කාරණාවක්. ඒ කියන්නේ, දැන් අපි ඇප්ස්ටෝර් එකකට ගියත්, ගූග්ල් සර්ච් එකක් කළත් සෑහෙන්න ප්‍රමාණයක ඩේටින් සේවා සපයන්නෝ ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ මේකයි. මේ ඩේටින් ඇප්ස් සහ ඩේටින් සයිට්ස් හැටහුටාමාරෙන් කීයක් ලංකාවේ ප්‍රචලිතද? ඒ කියන්නේ අපිට ඕකකින් කෙල්ලෙක් සෙට් කරගන්න නම් ඉතින් ඕවල ලංකාවේ කෙල්ලො ඉන්න එපැයි. දෙන්නෙක්, තුන්දෙනෙක්, දහදෙනෙක් හිටියට වැඩක් නෑ. ප්‍රමාණවත් තරමක් ඉන්න ඕන. ආන්න ඒ නිසා එක ඇප් එකකට වෙලා ඉන්න එපා. ඒ ඇප් එකේ තමන් අවට ප්‍රමාණවත් අය නෑ කියලා තේරෙනවා නම් වෙන ඇප් එකකට හරි වෙන ඩේටින් සයිට් එකකට යන්න.

 

2. ටිකක් කට්ට කන්න වෙනවා

ඔව්, මේ කතන්දරේ අදාළ වෙන්නේ දවසෙන් කෙල්ලෙක් සෙට් කරගන්න එන හදිසිකාරයන්ට. නිකමට හිතපන්කෝ, කෙල්ලෙක් දවසින් ෆේස්බුක් රික්වෙස්ට් එකක්වත් ඇක්සෙප්ට් කරනවා දැකලා තියේද? එහෙමනං කොහොමද ඕයි දවසෙන් ඩේටින් ඇප් එකකින් කෙල්ලෙක් සෙට් කරගන්නේ? ආන්න ඒ නිසා පොඩ්ඩක් ඉවසිල්ලෙන්, එහෙට මෙහෙට මැසේජ් එකක් දෙකක් දාලා, ඇක්ටිව් ඉඳලා බලන්න ඕන. කට්ටක් තමයි. හැබැයි මේක ෆන් එකක් විදියට ගත්තොත් අවුලක් ඇත්තෙම නෑ. 

 

3. ෆොටෝස් වලට ඉන්වෙස්ට් කරමු

මේක වැදගත් කාරණයක්. අපි OKCupid ගැන කියපු ආටිකල් එකෙත් සඳහන් කලා හොඳට මූණ පේන ෆොටෝස් දාන්න කියලා. හැබැයි දැන් කියන්න යන්නේ ඇත්තටම තමන්ගේ ඩේටින් පෝට්ෆෝලියෝ එකට ටිකක් ඊට වඩා කාලය හා ශ්‍රමය ආයෝජනය කරන්න කියන කාරණය. උදාහරණයක් විදියට ගත්තොත්, ඔය කෙල්ලෝ ෆොටෝෂූට් කරන්නේ. ඉතින් කොල්ලෝත් එහෙම යාලුවෙක්ව අල්ලගෙන ෆොටෝෂූට් එකක් කරන එක පාඩුවක් නෑ. ඒ කියන්නේ ඉන්න ඇඳුමෙන්ම සෙල්ෆියක් ගන්නවට වඩා, හොඳ ෆැෂනබල් ඇඳුමක් දෙකක් සිලෙක්ට් කරගෙන, හොඳ ලොකේෂන් එකක් බලලා, හොඳ පෝස් කීපයකින් ෆොටෝ කීපයක් ගන්න එක පාඩුවක් නෙවෙයි. වෙලාව යයි. සල්ලිත් සමහර වෙලාවට යයි. හැබැයි වටිනවා. දැන් ඔය ෆොටෝස් වලින් සෙට් එකක් තෝරලා ඩේටින් ප්‍රොෆයිල් එකට දාලා බලමු.

 

4. වටේ ගිහින් රබන් ගහන්න එපා, ඔන් පොයින්ට්!

ගොඩක් වෙලාවට ගොඩක් කොල්ලෝ සිරිමත් කැරැක්ටර්ස් ප්ලේ කරන්න උත්සාහ කරනවා ඩේටින් ඇප් එකක කෙල්ලෙක්ගෙන් පොඩි හායි එකක් ආවට පස්සේ. කෙලින්ම ෆ්ලර්ට් කරන්න යන්නෙ නෑ. ඔහේ වටේ යනවා. “අපි දෙන්නා කවදාහරි හොඳම යාලුවෝ වෙයි නේද?” වගේ එව්වා තමයි අහන්නේ. ඕයි, ඩේටින් සයිට් එකකට ආවේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්නද? ඩේටින් සයිට් එකකට ඇවිත් කෙල්ලෙක් එක්ක කතා කරන්න සෙට් වුණහම ඔය වගේ වුවමනාවෙන්ම ෆ්‍රෙන්ඩ් සෝන් වෙලා, ඊට පස්සේ මට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ කියලා නාහෙන් අඬලා වැඩක් නෑ. ඒ නිසා කෙලින්ම ෆ්ලර්ට් ගේම් එකට බහින්න. තමන් මෙතනට ඇවිත් ඉන්නේ කෙල්ලෙක් සෙට් කරගන්න තමයි කියන එක පිළිගන්න හෝ කියන්න මැළි නොවෙන්න.

 

5. නැලවෙන්න යන්න, දෙන්න යන්න එපා

මේකත් උඩ කියපු විදියේ කාරණාවක් තමයි. සමහරු හිතනවා කෙල්ලෙක් සෙට් කරගන්න පහසුම ක්‍රමේ දුක අහන එක, කඳුලු පිහිදන එක, එයාගේ හොඳම ෂෝයි යාලුවා වෙන එක කියලා. ඉතින් චැට් එක පටන් ගත්තත් කිසිම ෆයර් ෆීලින් එකක් නෑ. මෙතනදී කියන්නේ සහකම්පනය තියෙන එක, මානුෂීයව කටයුතු කරන එක වැරදියි කියලා නෙවෙයි. ඒක කෙල්ලෙක්ව ඩේටින් සයිට් එකකින් සෙට් කරගන්න ක්‍රමයක් කියලා හිතන එක මෝඩයි කියලා තමයි මේ කියන්නේ. අන්තිමට කෙල්ලයි අපියි දුක කතා කර කර ඉඳියි, ඩේටින් සයිට් එකෙන්ම කෙල්ල එක්ක හොඳට ෆ්ලර්ට් කරන කොල්ලෙක් හම්බුවුණ දවසට කෙල්ල අපිට ටටා කියලා යන්න යයි!

 

6. තමන්ගේ එක්ස්පෙක්ටේෂන්ස් හරියට තියාගමු

ඇත්තටම මේ කාරණාවත් අදාළ වෙනවා උඩ කියපු කාරණා දෙකට. ඒ කියන්නේ අපිට ඩේටින් සයිට් වල ඕන තරම් මුණගැහෙන්න පුළුවන් කාලේ නාස්ති කරන ඩයල්. ඒ කියන්නේ එක්කෝ තමන් ගැන හෙනම ලොකුවට හිතාගෙන, කොල්ලන්ව වටේ යවන, කඩේ යවන කෙල්ලෝ. එහෙම නැතිනම් නිකම් ටයිම් පාස් කරගන්න චැට් කර කර ඉන්න කෙල්ලෝ. කරුණාකරලා තමන්ගේ ස්ටෑන්ඩර්ඩ්ස් තියාගන්න. තමන්ගේ ඩිමාන්ඩ් එක තියාගන්න. තමන් මෙතනට ආවේ කෙල්ලෙක්ව සෙට් කරගන්න නම්, හැබැයි හායි කියපු කෙල්ලට ඕනේ නිකම් යාලුවෙක්ව හොයාගන්න නම්, කවදාහරි මෙයා එක්ක යාලුකමට එහායින් යන්න පුළුවන් කියලා හිතාගෙන කාලෙ නාස්ති කරන්න එපා.. 

 

7. ඩෙස්පරේට් වෙන්න යන්න එපා

මේ ඩෙස්පරේට් වෙන එකනම් ඩේටින් සයිට් එකක හරිම අවදානම් පුතාලා. මොකද, සාමාන්‍යයෙන් ඔය පැතටික් විදියට ඩෙස්පරේට් ඩයල්ස් චැට් කරන්න ඕන නෑ, ප්‍රොෆයිල් එක බැලුවත් හොයාගන්න පුළුවන්. අන්න ඒ නිසා අපි ආයෙමත් කියනවා, තමන්ගේ ස්ටෑන්ඩර්ඩ්ස් තියාගන්න. පැනපු ගමන් ෆෝන් නම්බර් අහන්න, මීට් වෙන්න අහන්න යන්න එපා. ප්‍රොෆයිල් එකේ බයෝ එක ලියනකොටත් එහෙම ඩෙස්පරේට් සීන්, ‘මං කෙල්ලෙක් නැතුව වේලි වේලි ඉන්නෙ අයියෝ’ කියලා හැඟෙන සීන් දාන්න එපා. මොකද, වේලි වේලි ඉන්න ඩෙස්පරේට් යකෙක් එක්ක සෙට් වෙන එක දානමය පුණ්‍යකර්මයක් විදියටවත් කරන්න කෙල්ලෙක් කැමති වෙන්නෙ නෑ!

 

8. ඇක්ටිව් වෙමු

ඒ වගේම තමයි, මාසෙකට වතාවක් ඩේටින් ඇප් එක ඕපන් කරලා, අයියෝ එක කෙල්ලෙක්වත් සීන් කරලවත් නෑ කියලා දුක් වෙලා වැඩක් නෑ. ඔය ඩේටින් සයිට්ස් සහ ඩේටින් ඇප්ස් දුවන්නේ, ඒවායේ ඇක්ටිව් ඉන්න එවුන් නිසා. ඉතින් එතකොට වෙන්න ඕන විදියටම විරුද්ධ පාර්ශවේ වැඩි අවධානෙකට ලක් වෙන්නේ එහෙම ඇක්ටිව් ඉන්න එවුන් තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, මාසෙකින් ඔන්ලයින් ඇවිත් නැති ප්‍රොෆයිල් එකකට හායි එකක් දාන්න කෙනෙක් පෙළඹෙන සම්භාවිතාවය කොයි තරම් අඩුද කියල තමන්ටම හිතාගන්න පුළුවන්.

 

9. අප්ඩේට් කරමු

මේක තමයි අපිට දෙන්න පුළුවන් අන්තිම ටිප් එක. තමන්ගේ ඩේටින් ප්‍රොෆයිල් එක නිරන්තරයෙන් අප්ඩේට් කරන එකත් හොඳ ට්‍රික් එකක්. ඇයි? දැන් ඔන්න අපේ ප්‍රොෆයිල් එක බලලා කෙල්ලෙක් ඒක ස්කිප් කරලා වෙන ප්‍රොෆයිල් එකකට යනවා. වෙන්න පුළුවන් දෙයක්නේ. කමක් නෑ. දැන් මාසෙකට පස්සේ ආයෙත් අපේ ප්‍රොෆයිල් එක කෙල්ල දකිනවා. ඒත් කෙල්ලගේ හිතේ ඇතිවෙන ඉම්ප්‍රෙෂන් එක අර කලින් ‘නොට් ඉන්ටරස්ටඩ්’ ෆීල් එකම නෙවෙයිද? හැබැයි ඔන්න අපි සතියකට සැරයක් ප්‍රොෆයිල් එකට අලුත් ෆොටෝ එකක් එහෙම දාලා, පොඩ්ඩක් ලියලා තියෙන එව්වා වෙනස් කරලා අරගෙන තියෙනකොට, කලින් අපේ ප්‍රොෆයිල් එක පාස් කරලා ගියපු කෙල්ලෙක් වුණත් ආයෙමත් අලුත් වෙලා තියෙන ප්‍රොෆයිල් එක දැක්කහම පොඩ්ඩක් බ්‍රේක් ගහලා බලලා යන්න හිතන්නෙ නැද්ද?

 

දැන් පැහැදිළියිනේ. එහෙමනම් ප්‍රොෆයිල් එක එහෙම අප්ඩේට් කරලා, දෙයියෝ බුදුන් වැඳලා, කෙල්ලෙක් සෙට් වෙනවද කියලා සර්ච් කරන්නයි තියෙන්නේ. එහෙමවත් සෙට් වෙන්නෙ නැතිනං ඉතින් සෙට්‍ වෙන්නේ මංගල කිංකිණි තමයි පුතා!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *