සාර්ථක ආදර සම්බන්ධතාවයක දකින්න ලැබෙන ලක්ෂණ 9ක්

ආදර සම්බන්ධතාවයක් කියන්නේ ඇත්තටම තරමක් අසීරු කර්තව්‍යයක්. මොකද වෙනස්ම හැඟීම් දැනීම් තියෙන මිනිස්සු දෙන්නෙක් එකිනෙකාගේ සිතුම් පැතුම් සමබර කරගනිමින් යන ගමනක්නේ. ඒත් ඒක ඇත්තටම පිටතට පෙනෙන තරම්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ඒ නිසාම තමයි සමහර බැඳීම් පටන් ගත්තාටත් වඩා ඉක්මනට බිඳිලා යන්නේ. සමහර සම්බන්ධතා ඇරඹෙන්නේ මාස ගණනක්, එහෙම නැත්නම් අවුරුදු ගණනක් උත්සාහ කරලා. එහෙම ඇරඹෙන සම්බන්ධය බිඳිලා යන්නේ අවම වශයෙන් මාසයක් හමාරක්වත් යන්න කලින්. ඒ වගේම තමයි සමහර ආදර සම්බන්ධතා තියෙනවා දවසින් දවස ප්‍රීතිමත් වෙන, ඒ වගේම තව තවත් ශක්තිමත් වෙන. ඇත්තටම එහෙම සම්බන්ධයක් කියන්නේ ජීවිතයේ ලබන විශාල ජයග්‍රහණයක්. මොකද භෞතිකව ඉතාම වටිනා කියන අපි ආසාකරන දේවල් අපිට තෝරාගන්න පුළුවන් උනාට අවංකව දුක සතුට වගේම අපේ ලෝකෙම බෙදාගන්න හදවතට ළඟ කෙනෙක්ව එහෙම ලෙහෙසියෙන් අපිට සොයාගන්න ලැබෙන්නේ නැති නිසා.

ඉතින් අද අපි කතා කරන්න හිතුවේ මේ වගේ සාර්ථක ආදර සම්බන්ධතාවයක අපිට දකින්න ලැබෙන ලක්ෂණ ගැන. බලන්නකො ඔයාගේ ආදර කතාවෙත් මේ දේවල් වලට තැනක් තියෙනවාද කියලා…

 

1. පිළිගැනීම

Image Source – thoughtcatalog.com

සාර්ථක සම්බන්ධතාවයක දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි එකිනෙකාව පිළිගැනීම. සාර්ථක ආදර සම්බන්ධතාවයකදී ආදරවන්තයා/වන්තියව කොන්දේසි විරහිතව පිළිගනු ලබනවා. ඒ කියන්නේ ඇයගේ හෝ ඔහුගේ හැසිරීම, හැකියා, දුර්වලතා, වටපිටාව ආදී මේ සියල්ල සම්පූර්ණයෙන්ම පිළිගැනීමක්. එසේ පිළිගැනීමට ආදරවන්තයා/වන්තිය කැප වෙනවා. වෙනස් කර ගත යුතු යමක් වේ නම්, කාලයත් සමඟ ඉතාම හෙමින් ඇය/ඔහු හා ලෙංගතු සාකච්ඡාවෙන් ඒවා වෙනස් කර ගන්නට ඔවුන් කටයුතු කරනවා. එසේ නැතුව ආදර සම්බන්ධතාවයක් කියන්නේ එක්කෙනෙක් අනෙක් පුද්ගලයාව සම්පූර්ණයෙන්ම කණපිට හැරවීමක් නම් නෙමෙයි.

 

2. එකිනෙකාට ගෞරව කිරීම

Image Source – qygjxz.com

සාර්ථක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක ලක්ෂණයක් තමයි දෙදෙනාම එකිනෙකා අගය කරන අතර ඔවුන්ගේ වචන, ක්‍රියා සහ හැසිරීම ගැන ඉතාම සැළකිලිමත් වීම. ඇත්තටම මෙය අවධානයකින් කළ යුතු බැරෑරුම් දෙයක් නෙවෙයි. ඔබ ඔබේ සම්බන්ධතාවයට මුළු හදවතින්ම අවංකයි නම්, ඔබට එය ඉතාම වටිනවා නම් නිරායාසයෙන්ම ඔබ මෙම හැසිරීමෙන් යුතු පුද්ගලයෙක් වෙනවා. ඔබට ඔහු හෝ ඇය ඔබේ ජීවිතයේ සෑම දිනකම ළඟ තබා ගැනීමට අවශ්ය නම් ඇත්තෙන්ම මේ ලක්ෂණ නිරුත්සාහයෙන්ම මතුවෙන්නක්. ඔබට ඔබේ ආදර සම්බන්ධතාවය හැමදාටම අවශ්ය නම් ඔබ ඔහුට හෝ ඇයට ඔබ ළඟ රැඳෙන්නට සිතෙන ආකාරයෙන් සැළකිය යුතුයි.

 

3. සමාව ඉල්ලීම සහ සමාව දීම

Image Source – medium.com

සමාව ඉල්ලීම දුෂ්කරයි. සමාව දෙන්න අමාරුයි. නමුත් මේවායින් තොරව සම්බන්ධතාවයක් කියන්නේ කාල බෝම්බයක් වගේ. සාර්ථක ආදර සම්බන්ධයක ප්‍රධාන ලක්ෂණයක් තමයි එකිනෙකාට සමාව දීමට දෙදෙනා තුළම ඇති හැකියාව. සමහරු කැමති නැහැ තමන්ගේ මතය වෙනස් කරන්න සිදුවෙනවාට. සමහරුන්ට අවශ්‍යයි තමන්ගේ මතය ඔප්පු කිරීමට. මේ වෙනුවෙන් ආදරවන්තිය හෝ ආදරවන්තයා සමඟ බොහොම තර්ක විතර්ක කරන්න උනත් සූදානම් වන අවස්ථා දැක ගන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට කිසිම වරදක් නැතුව උනත් සම්බන්ධතාවය රැක ගැනීමට සමාව ඉල්ලන, යලිත් සිනාමුසු මුහුණින් ආදරවන්තයා/වන්තිය සමඟ ගනුදෙනු කරන ආදරවන්තයින්/වන්තියන් ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. සමාව දීමට සහ අවශ්‍ය විටකදී සමාව ගැනීමට පසුබට නොවන, සමාව ලබා දුන් පසුවත් පසුකාලීන තර්ක සඳහා එම සිදුවීම් හේතු කර නොගන්න එකත් සාර්ථක සම්බන්ධතාවයක කැපී පෙනෙන ලක්ෂණයක්.

 

4. හැංගි හොරා වැඩ නෑ

Image Source – wikihow.com

සාර්ථක ගමනක් සහිත සම්බන්ධතාවයක හැංගි හොරා කටයුතු සිදුවන්නේ නැහැ. විවෘත බව කියන්නේ සාර්ථක බැඳීමක ප්‍රධාන ලකුණක්. ඔබට ඔබේ හැඟීම් බෙදා ගැනීමට ඔබ ආදරය කරන පුද්ගලයා ඉතාම විශ්වාසවන්තනම් ඇත්තෙන්ම ඔබ හරිම වාසනාවන්ත සම්බන්ධතාවයක හිමිකරුවෙක්. ඔබ ඉතා ආරක්ෂිත දිගු ගමනක් සහිත සම්බන්ධයක හිමිකරුවෙක්.

 

5. විශ්වාසා පරමා ඥාති

Image Source – stockunlimited.com

ශක්තිමත් සම්බන්ධයක පදනම විශ්වාසයයි. බිඳුණු විශ්වාසයක් සමඟ කිසිසේත්ම ආදර ගමනක යහපත් ඉදිරියක් බලාපොරොත්තු විය නොහැකියි. ඒ වගේමයි දෙදෙනා අතර ගොඩනැගුන විශ්වාසය පළුදු නොකර එසේම පවත්වාගෙන යාමටත් සාර්ථක සම්බන්ධතාවයකදී ආදරවන්තයින් දෙදෙනා කැපවිය යුතුයි. සැකය හරියට විෂ සර්පයෙක් හා සමානයි. එවැන්නකට ඔබේ සම්බන්ධතාවයට රිංගා ගැනීමට ඉඩ නොතැබීමට දෙදෙනාම යුහුසුළු විය යුතුයි. විශ්වාසය බිඳුණු තැන ආදරය පෑල දොරින් පලා යාමට ගතවන්නේ සුළු මොහොතක් පමණක් විය හැකියි.

 

6. වෙනසත් සුන්දරයි

Image Source – menwit.com

එකමඟ ගමන් කළත් දෙදෙනා දෙදෙනෙක්. එකිනෙකට වෙනස් පුද්ගලයන්. සමාන ගති ලක්ෂණ බෙදා ගත්තත්  වෙනස්ම පරිසර වල ගොඩනැගුණ දෙදෙනෙක්. කොතරම් සමාන කර ගලපාගන්න හිතුවත් නොගැලපීම් ඇතිවෙන්න ඇති ඉඩකඩ ඉතා වැඩියි. සමානකම් තිබිය යුතු වගේම නොගැලපීමුත් තිබිය යුතුයි. බොහෝම සාර්ථක සම්බන්ධතාවල සාර්ථකත්වයට හේතුවත් මේ නොගැලපීම්මයි. දෙදෙනාම එකම පුද්ගලයෙක්නම් බොහෝ සම්බන්ධතා වල පැවැත්මක් නැතිවෙලාම යනවා. නොගැලපීමට ගරු කරන්න. එයත් යහපත් ආදර සම්බන්ධතාවයක ඉතාම වැදගත් ලක්ෂණයක්. සහකරු සහකාරිය ගැන ඉගෙන ගන්න. ඔබේ ක්‍රියා පිළිවෙලම ක්‍රියාත්මක කිරීමට යන්න එපා.

 

7. අතීතය අතීතයට

Image Source – gomcgill.com

සාර්ථක සම්බන්ධතාවයක තවත් ලක්ෂණයක් තමයි දෙදෙනා එක්වීමට පෙර තිබූ ආදර සම්බන්ධතාවල අතීතය අතීතයේම වළදැමීම. බොහෝ සම්බන්ධතා දෙදරීමට හේතුවක් වෙන අඳුරු අතීත හෝ වෙනත් අතීත සම්බන්ධතා යලි යලි ගොඩදැමීම නොකිරීම සාර්ථක සම්බන්ධතාවයක යහපත් ලක්ෂණයක්. කුඩා සිදුවීමකදී උනත් පෙර සම්බන්ධතා සිහි කර ඔවුන් වර්ණනා කිරීම හෝ යලි යලි ඔවුන් සමඟ ගනුදෙනු සිදු කිරීම ඔබේ වර්තමාන සම්බන්ධතාවය අකාලයේ මරලා දාන්න හේතු වෙන්න පුළුවන්.

 

8. ආදරයේ භාෂාව

Image Source – Image Source – lovebondings.com

සාර්ථක සම්බන්ධයක් තුළ ආදරයේ භාෂාව හරිම ප්‍රබලයි. වචන වලට ගන්න බැරි වෙනස්ම භාෂාවක් ඒ. ඉතින් ඒ භාෂාව ඉගෙනගැනීමත් හරිම වැදගත්. විශාල ගැටළුවකට, විශාල අවුලකට උනත් එක හිනාවකින් සහනයක් දෙන්න හැකි තරම් හරිම ප්රබල භාෂාවක් මේ ආදරයේ භාෂාව. පුංචි පුංචි හිත් රිදීම් උනත් වැඩි දුරදිග යවන්නේ නැතුව සමාදාන කරන්න මේ භාෂාවට තියෙන්නෙ විශිෂ්ඨ හැකියාවක්. ඒ වගේමයි ඔබේ සහකරු සහකාරියගේ ආදරයේ බසත් ඔබ හොඳින් හදාරා ඉගෙන ගතයුතුයි.

 

9. මම වෙනුවට අපි

Image Source – Image Source – yayziny.com

සාර්ථක සම්බන්ධතාවයක තවත් ලක්ෂණයක් තමයි මමත්වයෙන් තොර වීම. සෑම විටම මම, මට, මගේ යැයි නොසිතා දෙදෙනා වෙනුවෙන්ම කටයුතු කිරීම සහ තීන්දු තීරණ ගැනීම සම්බන්ධතාවය තව තවත්  ශක්තිමත් කිරීමට හේතු වනවා. නිරෝගී, ප්‍රීතිමත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ඔබ ඔබේ මමත්වය උගුලා දමා සබඳතාවේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම අවශ්‍යයි. ”ඔබ සහ මම = මුළු ලෝකයම” යැයි සිතීම ඔබේ සබඳතාවය සවි ශක්තිමත් බවින් වැඩි දියුණු කරනු ඇත.

Cover Image Source – ava7.com/ fortune.com/ uk.businessinsider.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *