දැන් මොකාද ඔය බෑඩ්ඈස් කියන්නේ? ඒක තනි වචනෙකින් දෙකකින් විස්තර කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් බෑඩ්ඈස් මනුස්සයෙක් කියන්නේ අර සාමාන්‍ය සම්ප්‍රදායට අනුගත වෙලා ජීවත් නොවෙන, ඒ කියන්නේ රටේ ලෝකේ අනික් මිනිස්සු කරන විදියට දේවල් කරන්න නොයන, රටේ ලෝකේ අනික් මිනිස්සුන්ට ඕන විදියට, සම්මතයේ කියලා තියන විදියට ජීවත් වෙන්න නොයන, එහෙම තමන්ගේ ක්‍රමේකට ජීවත් වෙන්න පුළුවන් ශක්තියක්, හැකියාවක් සහ වුවමනාවක් තියෙන, කෙලින් සහ සෘජු තීරණ ගන්න පුළුවන් සිරා ඩයල් එකක් තමයි. සාමාන්‍යයෙන් බෑඩ්ඈස් මනුස්සයෙක් සාමාන්‍ය පොදු සමාජේ කරන කියන දේවල් වලට පිටින් යන කෙනෙක් වුණත්, බෑඩ්ඈස් කෙනෙක්ට සමාජේ ගෞරවයත් ලැබෙනවා. ඒකට හේතුව කොහොම වුණත් බෑඩ්ඈස් මනුස්සයෙක් ඒ ගෞරවයත් උපයා ගන්න නිසා. ඔන්න ඔය විදියට බෑඩ්ඈස් කෙනෙක්ව නිර්වචනය කළත්, තවත් අයට තවත් නිර්වචන තියෙන්න පුළුවන්.
හරි, දැන් බෑඩ්ඈස් මනුස්සයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක ගැන දළ අදහසක් අපි ලබාගත්තනේ. දැන් අපි බලමු කොහොමද බෑඩ්ඈස් වර්ගේ මනුස්සයෙක් වෙන්නෙ කියලා!
1. සමාජේ මොනව හිතයිද?
බෑඩ්ඈස් කෙනෙක් වෙනවා නං මේක තමයි ප්‍රධානතම පියවර. ඒ වගේම මේක කරන්න අමාරුම දෙයක්. සාමාන්‍යයෙන් ගොඩක් අය හැම වෙලේම දෙයක් කරන්න කලින් හිතන්නේ, සමාජේ අනික් අය මොනවා හිතයිද මම මෙහෙම කළොත් කියලා. ඒ නිසාම ඇත්තටම තමන් දෙයක් කරන්න කලින්ම ඒ දේ නොකර ඉන්න තමයි ගොඩක් අය පෙළඹෙන්නේ. ඒ කියන්නේ සමාජේ හිතන දේ ගැන හිතන නිසාම තමන්ගේ ෆුල් පොටෙන්ෂල් එකට යන්න හිතන්නෙ වත් නෑ. දෙයක් කරලා බලන්න හිතන්නෙ වත් නෑ. ඉතින් කොහෙද අනාගතයක්?
දෙවෙනි කාරණාවත් මේකටම සම්බන්ධයි. ගොඩක් දෙනෙක් කරන්න උත්සාහ කරන්නේ සමාජේ අනික් හැමෝම කරන දේම තමයි. අලුත් දෙයක් කරන්න බයයි සමාජෙන් අපවාද, ගැරහුම් එල්ල වෙයිද, සමාජෙන් කොන් වෙයිද කියන බය නිසා. ඉතින් ඒත් අනාගතයක් නෑ.
2. තමන්ට ආයෝජනය කරන්න
මේක බොහොම පුළුල් කාරණාවක්. දැන් හිතන්න තමන්ගේ වටිනාකම ගැන. තමන්ගේ වටිනාකම තමන්ටත්, සමාජයටත් වැඩි කරගන්න නම් මොනවද කරන්න ඕනේ? අධ්‍යාපනය, කුසලතා, ගුණාංග වර්ධනය කරගන්න ඕන. ශාරීරිකවත්, මානසිකවත් සංවර්ධනය වෙන්න ඕන. මේවා හදාගන්න ඕන තමන් පොරක් වෙන්නද? සමාජේ කැපී පේන්නද? නෑ. ඇත්තටම බෑඩ්ඈස් මනුස්සයෙක්ට එව්වා අදාළ වෙන්නෙම නෑ.
ඇත්තටම මේ දේවල් අවශ්‍ය වෙන්නේ තමන්ගේ ඉලක්කයන් වෙත, අරමුණු වෙත යන්න. තමන්ට දෙයක් කරගන්න වගේම සමාජයටත් දෙයක් කරන්න. දැන් පරක්කුද? නෑ. මේ දේවල් ඉෂ්ට කරගන්න කවදාවත් පරක්කු නෑ. පාඨමාලාවක් කරන්න, තමන්ගේ කුසලතා ඉගෙනීමෙන් සහ අත්දැකීමෙන් දියුණු කරගන්න, හොඳ ගතිගුණ ඇති කරගන්න, සමබරව ආහාර ගන්න පටන් ගන්න, ජිම් එකට යන්න, භාවනා කරන්න වගේ උඩ කියපු දේවල් ලබාගන්න කරන්න තියෙන දේවල් කරන්න කවදාවත් ප්‍රමාද නෑ.
3. කාගෙන්ද ආභාෂය ලැබෙන්නේ?
මෙන්න මේක බොහොම වැදගත් කාරණයක්. ඇයි? අපි ගොඩක් වෙලාවට ජීවිතේට ලබාගන්නේ වැරදි ආභාෂ. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක් තමන්ගේ ජීවිතේට ලබාගන්නේ පොලිටිකලි මෝටිවේටඩ් ආභාෂයන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් කැමති පැත්තට විරුද්ධ පැත්ත බලයේ ඉන්නවා නං ඉතින් කෙලින්ම චව් චව් සීන් තමයි. මොකක් වුනත් ඕක හරියන්නෙ නෑ කියන අයව තමයි ආස්සරේ කරන්න වෙන්නේ. ඒ වගේම අපි යාලුවෝ විදියට තෝරගන්නේ කවුද කියන එක පවා තමන්ගේ බෑඩ්ඈස් පර්සනැලිටි එකට වැදගත්. නෙගටිව් අදහස් ජීවිතේ ගැන, වැඩ කිරීම ගැන තියෙන මිනිස්සු වටේ තියාගෙන මළාට තමන්ගේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ.
අන්න ඒ නිසා තමන්ව ඉන්ෆ්ලුවන්ස් කරන්නේ කවුද කියන එක බොහොම සීරියස් පිට තෝරගන්න කියලා තමයි අපි මේ කියන්නේ. මොකද බෑඩ්ඈස් කෙනෙක් කිසිම කෙනෙක්ගේ උදවුවකින් තොරව තනියම නැගී හිටියට, බෑඩ්ඈස් කෙනෙක්ට වුනත් හොඳ ආභාෂයක් වුවමනායි.
4. බය පැත්තක තියලා ඉස්සරහට පනින්න
අපි මාර බයයි වැරදෙනවට. විශේෂයෙන්ම ඔය තමන් ගැන ලොකුවට හිතාගෙන ඉන්න මනුස්සයෙක් එහෙම බයම දෙයක් තමයි තමන්ට වරදිනවට. අන්න ඒ නිසාම ගොඩක් වෙලාවට මිනිස්සු දෙයක් කරන්න අඩුම තරමින් පටන් ගන්නෙවත් නෑ. හැබැයි ඉතින් ඔය බය නැති කරගන්නත් අමාරුයි. එහෙනම් මොකද කරන්නේ? බය තිබුණාවේ, ඕන බම්බුවක් කියලා හිතලා ඉස්සරහට පනිමු!
විශේෂයෙන්ම අපි අලුත් දෙයක් පටන් ගන්නකොට එහෙම මේ බය එළියට එනවා. ඒකට කමක් නෑ. අපි කරන්න ඕන බය තියෙද්දිම ඕන එකක් කියලා, පාර දෙපැත්ත හොඳට බලලා ඉස්සරහට පනින එක. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. කමක් නෑ. වැරදුනොත් ආයෙත් ට්‍රයි කරනවා. එච්චරයි! බෑඩ්ඈස් මනුස්සයෙක් නං එහෙමයි!!
5. හරි ඔපීනියන්ස්
බෑඩ්ඈස් මනුස්සයෙක් වෙන්න නම් ආකල්ප සහ මතයන් ඉතාම වැදගත්. මේ ආකල්ප කියලා කියන්නේ හැමදෙයක් ගැනම තමන්ට තියෙන අදහස් සහ මතයන් වෙන්න පුළුවන්. මේ ආකල්ප සහ මතයන් ගොඩක් වෙලාවට පක්ෂපාතී වෙන්න පුළුවන්. මොකක් හරි ආභාෂයක් නිසා පැත්තකට බර වෙන්න පුළුවන්. එක්කෝ කිසිම තාර්කික පදනමක් නැතිවෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, දේවල් ගැන පදනමක් සහිත, පැත්තකට බර නොවුණු ආකල්ප, මතයන් ඇති කරගැනීම වැදගත්. මොකද බෑඩ්ඈස් මනුස්සයෙක් කියන්නේ කොස් ගහයි, පොල් ගෙඩියයි හැම එකම විවේචනය කරන මනුස්සයෙක් නෙවෙයි. හැබැයි බෑඩ්ඈස් කෙනෙක් කියන්නේ දෙයක් දිහා බොහොම සමබරව, පදනමක් ඇතිව බලන කෙනෙක්. හැබැයි ඒ වගේම, සමාජය පොදුවේ හිතන පතන විදියට ආකල්ප ඇති කරගෙන ඉන්නෙ නැති, සමාජයේ පොදු අදහසට විරුද්ධ මතයක් දරන්න වුණත් බය නැති කෙනෙක්.
අන්න ඒ නිසාම තමයි බෑඩ්ඈස් මනුස්සයෙක්ගේ මතයන්ට සහ අදහස් වලට ගොඩක් දෙනෙක් ගරු කරන්නෙත්.
6. ස්ටොප් ටෝකින්, ස්ටාට් වර්කින්
අපි ගොඩක් අයට මාර අදහස් තියෙන්නේ. ආයෙ තමන්ට දියුණු වෙන්න පුළුවන් ක්‍රම ගැන වගේම රට හදන ක්‍රම ගැන එහෙමත් මාර අදහස් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ මේකයි. ගොඩක් දෙනෙක්ට අදහස් තිබ්බට ඒ අය කරන්නේ මේ අදහස් ගැන කතා කර කර, අනික් අයට කිය කියා ඉන්න එක තමයි. ඇයි? සමහර වෙලාවට අර අපි උඩින් කියපු වරදින්න තියෙන බය නිසා වෙන්න පුළුවන්. කම්මැලි කම නිසා වෙන්න පුළුවන්. කටින් බතල හිටවන එක ලේසි නිසා වෙන්න පුළුවන්. ඒ මොන දේ වුණත්, මේ අය මැරෙන කල්ම අදහස් ක්‍රියාත්මක කරන්නේ කටින් තමයි. ආන්න ඒ නිසා තමයි බෑඩ්ඈස් මනුස්සයෙක් මෙතනදී වෙනස් වෙන්නේ. බෑඩ්ඈස් කෙනෙක් ඇත්තටම කරන්න පුළුවන් දේවල් ගැන කතා කරනවාට වඩා කරන්නේ එව්වා කරන එක. අන්න ඒ නිසා ස්ටොප් ටෝකින්, ස්ටාට් වර්කින්!
7. තමන්ව හොයාගන්න
තමන්ව හොයාගන්න කියන්නේ ඇයි තමුන් නැති වෙලාද ඉන්නේ? එහෙම කෙනෙක් අහන්නත් පුළුවන්. ඇත්තටම බෑඩ්ඈස් මනුස්සයෙක් සමාජේ කියන දේවල් පිළිපැදගෙන, සමාජේ අනික් අයගේ මතය ගැන බයවෙලා ඉන්නෙ නැත්තෙ ඇයි? හේතුව බෑඩ්ඈස් මනුස්සයෙක්ට හොඳ අදහසක් තියෙනවා තමන් කොයි වගේ කෙනෙක්ද, තමන්ගේ ජීවිතේට තියෙන අරමුණු මොනවද, තමන්ට ඇත්තටම මොනවද ඕන කියන එක ගැන. ආන්න ඒ දේවල් ගැන හොඳ අදහසක් ලබාගන්න නම් මුලින්ම තමන්ව හොයාගන්න ඕන.
දැන් මේ තමන්ව හොයාගන්න කියන එක කරන්න පටන් ගන්න පුළුවන් අපේ හොඳ සහ නරක ගැන අවංකව තක්සේරු කරලා බැලීමෙන්. ඊට පස්සේ තමන්ගේ අවංක අදහස්, අභිලාශයන්, අරමුණු ගැන හිතලා බලන්න පුළුවන්. මෙතනදී ඇත්තටම තමන් තමන් විදියට දකින්න ආස කෙනාව නෙවෙයි දකින්න ඕන. තමන් විදියට ලෝකෙට පෙන්නන්න ආස කෙනාවත් නෙවෙයි දකින්න ඕන. ඇත්තටම ඉන්න ඇත්ත කෙනාව. අන්න ඒක තමයි තමන්ව හොයාගන්න පාර.
8. සත්‍ය වෙන්න
මේ කියන්නේ නිතර ඇත්ත කියන්න කියන එක නෙවෙයි. මේ කියන්නේ රඟන්න එපා කියන එක. බෑඩ්ඈස් කෙනෙක් කියන්නේ රංගනයක් නෙවෙයි, ඒක ජීවිතේට තියෙන්න ඕන ඇත්තක්. අන්න ඒ නිසා නිකම් මිනිස්සුන්ට රූඩ් වෙන එක, නරකට හැසිරෙන එක, මිනිස්සුන්ට නරකට සලකන එක නෙවෙයි බෑඩ්ඈස් පර්සනැලිටි එකක් වීම කියන්නේ. ඒ නිසා ඇත්තටම බෑඩ්ඈස් කෙනෙක් වෙන්න යන්න අවශ්‍යත් නෑ. කරන්න තියෙන්නේ උඩ කියපු දේවල් ඇත්තටම තමන්ගේ ජීවිතේට අවශ්‍ය නම්, අනුගමනය කරන එක විතරයි. ඊට පස්සේ තමන් කවුද කියන එකට සත්‍යවාදී වෙන එක, තමන් නොවෙන කෙනෙක් විදියට රඟන්න නොයන එක තමයි අවශ්‍ය වෙන්නෙ.
9. පරදින්න බලාගෙන හරි දිනන්න
අවසානයට කියන්න තියෙන්නේ මේ දේ තමයි. බෑඩ්ඈස් මනුස්සයෙක් තමන්ගේ විදියට දිනන්න උත්සාහ කරනවා කියන එක. දිනනවා කියන එක ලේසි නෑ. දිනන්න කලින් සිය වතාවක් හරි පරදින්න වෙන්න පුළුවන්. හැබැයි බෑඩ්ඈස් මනුස්සයෙක් කියන්නේ උත්සාහය අත්හරින්නෙ නැති ඩයල් එකකට. ආන්න ඒ නිසා බෑඩ්ඈස් මනුස්සයෙක් කියන්නේ පරදින්න බලාගෙන හරි දිනන්න යන කෙනෙක්ට.
Leave a Reply