මේ දවස්වල තියන අජූත කාලගුණේ එක්ක රටේ නැති ලෙඩ ගොඩයි. ඔය ලෙඩ අතරින් කැස්ස හැදුණා කියන්නේ සති ගණන් ඇදිලා යන වාත කේස් එකක්. ගොඩක් වෙලාවට කැස්සට ඩොකාලා සිරප් දෙනවා සමහරුන්ට ප්‍රතිජීවක දෙනවා. දැන් ගොඩක් දෙනා මේවයෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා. ඔය බෙහෙත් ජාති දිගටම බඩට වැටෙනකොට ඇල්කොහොල් නොවන සිරෝසිස් තත්ත්වයන් වුණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම බෙහෙත් නොබී කැස්සට ප්‍රතිකාර කරන්න ගෙදර ඉඳන්ම පුළුවන්.
1. බ්‍රෝමලීන්
අන්නාසිවල ඇති එන්සයිමයක් වන බ්‍රෝමලීන් උගුරේ බැඳිලා තියන සෙම අයින් කරනවා. සමහර විට අපි කොච්චර කැස්සත් සෙම කැඩිලා එන්නේ නැහැනේ. ඒක අපිට මල වදයක් වෙනවා. ඒ වෙලාවට අන්නාසි ගෙඩියේ ඇති මේ එන්සයිමය උපකාරී වෙනවා. නමුත් සමහර අය මේකට ඇලජික්. අන්නාසිවලින් ජූස් එකක් වාගෙ හදාගෙන බිව්වම සමහරුන්ට උගුර කහනවා. ඒ මේ ඇලජික් එක්ක. ඒක වරදවා වටහා ගන්නවා අපේ උදවිය කැස්සට අන්නාසි හොඳ නෑ කියලා. බ්‍රෝමලීන් ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් විදියටයි හැඳින්වෙන්නේ. ඒ නිසා කැස්සක දී අන්නාසි යුෂ වීදුරුවක් බොන්න තියේ නම් මරු.
2. ලුණු වතුරෙන් කට සේදීම
මේක පුංචිම කාලේ ඉඳන් අපේ අම්මලා කරපු දෙයක්. උණු වතුර එකකට ලුණු තේ හැඳි භාගයක් විතර දානවා. ඊට පස්සේ ඒක දිය වෙන්න ඉඩ හැරලා ඒ වතුරෙන් හොඳට උගුර හෝදලා දාන්න තමයි තියෙන්නේ. උගුර පසුපස රැඳිලා තියන සෙම තට්ටු ලුණු වතුර එක්ක ගැටුණම ඒවා කැඩෙනවා. හැබැයි මේක පොඩි දරුවන්ට කරන්න එපා කියනවා. මොකද ලුණු වතුර පෙවෙන්න පුළුවන්. ඒක අන්තිම නරකයි.
3. මී පැණි
සංගීතඥයෝ කටහඬ තව වඩවාගන්නත් මී පැණි පාවිච්චි කරා කියනවනේ. මී පැණි කියන්නෙත් හැබෑම ප්‍රතිජීවකයක්. වියළි කැස්සක් එහෙම තියනකොට මී පැණි ටිකක් උගුරට වැක්කෙරෙන එක ම සහනයක්. මී පැණි තේ හැන්ද බැගින් දවසේ ඕන ම වෙලාවක ගන්න පුළුවන්. අවුරුද්දට අඩු පොඩි පැටව්න්ට නම් දෙන්න එපා කියලයි කියන්නේ. වතුර එක්ක නම් උණු වතුර ග්ලාස් එකකට මී පැණි තේ හැඳි දෙකක් දාලා කලවම් කරන්න. තේ එකට හැන්දක් දාලා බොන්නත් පුළුවනි.
4. වාෂ්පය
වියළි කැස්සක් නැතුව ජොල් ජොල් කැස්සක් තියේ නම්, ඒ කියන්නේ කහිද්දි කුණු පොල් ගෙඩියක වගේ අප්‍රසන්න ගතියක් එනවා නම් වාෂ්පෙ අල්ලන එක තමයි හොඳම. රත් කරගත්ත වතුර ටික හොඳ බොක්කක් තියෙන භාජනයකට දාලා රෙද්දකින් පොරවගෙන කරන වික්‍රමය ගැනයි මේ කියන්නේ. නහයේ තියෙන හොට්ටත් එළියට පනිනවා ඕං. හැබැයි ඉතින් යමරෙට දාඩිය දානකන් කරන්න ඕනි. වතුර එකට සිද්ධාලේප ඇබින්දක් දාගන්න පුළුවන් නම් පංකාදු පහයි.
5. ඉඟුරු
කැස්සක දී උගුර රිදෙන්න ගන්නේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ එන කැසිල්ල නිසා. ඒක ඇති වෙන්නේ වැළඳුන ආසාදනයට ශරීරය ප්‍රතික්‍රියා දක්වන විධියෙන්. අන්න ඒ අපහසු ගතිය ඉඟුරු නැති කරවනවා. කැස්සක දී ඉඟුරු භාවිතයට ගන්න ප්‍රධාන විධි දෙකක් තියනවා. එකක් තමයි ඉඟුරු අමුවෙන් සපා කෑම. මේක කරන්න පුළුවන් නම් නියමයි හැබැයි ඉඟුරුවල තියන අමුතු රසත් එක්ක මේක හැමෝට ම සෙට් වෙන්නේ නෑ. අනික් විධිය ඉඟුරු තේ බොන එක. තේ හැඳි දෙකක් පිරෙන්න පොඩියට ගාගත් ඉඟුරු තමන් බොන තේ එකට කලවම් කරන් බොන්න. නිකන් ම වතුර වීදුරුවක් එක්ක එහෙම කළත් අවුලක් නෑ.
6. කහ
කිසිම අතුරු ආබාධයක් නැති තවත් ප්‍රතිකාරයක් තමයි කහ. ස්වාභාවික ප්‍රතිජීවකයක් වන කහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බොහොමයකට සහනය සපයනවා. වියළි තෙත් ඕනෑ ම කැස්සකට ඔට්ටුයි. කහ කුඩු තේ හැඳි දෙකක් සහ ලුණු කුඩු තේ හැන්දක් උණු වතුර එකකට කලවම් කරලා කලින් ලුණු වතුරවලින් කරා වගේ උගුර හෝදන එක වියළි කැස්සට හොඳයි. දෙහි යුෂයි ගම්මිරිසුයි එක්ක කහ කුඩුත් එකතු කරලා බිව්වම අනෙක් කැස්සටත් හොඳයි.
7. මිංචි කොළ
මිංචි කොළ ටිකක් උණු වතුර කෝප්පයකට දාලා බිව්වම උගුරේ තියන ඉදිමුම් ගතිය නැති වෙනවා. මිංචිවල තියන මෙන්තෝල්වලින් සෙම බුරුල් කරවනවා. තව තියනවා මාර්කැට්ටුවේ ගන්න පෙපර්මින්ට් ඔයිල්. ඒක වතුර එකකට දාලා වාෂ්ප ඇල්ලුවාමත් සෙම බුරුල් වෙනවා.
Leave a Reply