සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා ගැන දැනගන්නට වටිනා තොරතුරු ටිකක්

things to know about C W W Kannangara

ලංකාව කියන්නේ සාක්ෂරතාවය අතින් කළාපයේ රටවල් වලට කලක පටන් අභියෝගයක් වුන රටක්. නිදහස ලබන්නටත් පෙර ලංකාවේ කෙමෙන් කෙමෙන් ස්ථාපිත වූ නිදහස් අධ්‍යාපනය නිසා දුප්පත්ම ජනතාවට පවා සිය පුතාට දුවට විශ්ව විද්‍යාල අධ්‍යාපන මට්ටම දක්වා ඉගැන්වීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ වැඩේට මුල් වුනේ කන්නන්ගර මහතායි. කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ගෙනෙද්දි ඒ වෙලාවේ ලංකාවේ හිටිය ඇතැම් ප්‍රභූවරයින් පවා “මේ වැඩෙන් වෙන්නේ ගෙඩියක් කඩාගන්න ගහකට නග්ගගන්න කෙනෙක් නැතිවෙන එක” යැයි කන්නන්ගර මහතාගේ වැඩපිළිවෙල විවේචනය කර තිබුණා. එහෙත් එතුමා එයින් සැලුනේ නැත. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනයේ පියා බව හැමෝම වගේ දන්නා කරුණක්. එතුමාගේ ජීවිතය සහ වෙනත් කාර්යභාරයන් ගැන අපි සොයා බලා දැනගමු.

 

1. දීප්තිමත් ශිෂ්‍ය ජීවිතය

things to know about C W W Kannangara

Source – batsman.com

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු මෙන්ම ගුරුවරයෙකුද වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාට එයට ඇතුළත්වීමට ලැබුනේ අම්බලන්ගොඩ වෙස්ලියානු විදුහලේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයක් අවසානයේදීය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උගත් ඩැරල් නැමැති රිච්මන්ඩ් විද්‍යාල විදුහල්පතිතුමා ත්‍යාග ප්‍රදානෝත්සවයේදී තෑගි ගණනාවක් ගත් කන්නන්ගර සිසුවාට රිච්මන්ඩ් විද්‍යාලයට ආරාධනා කළේය. පාසලේ දීප්තිමත් චරිතයක් වූ කන්නන්ගර සිසුවා 1902 දී එවකට මුළු මහත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන්ම අංක ගණිතයෙන් විශිෂ්ඨතමයා බවට පත් විය. ඉන් පසුව ඔහු රිච්මන්ඩ් විදුහලේම ගණිත ගුරුවරයා ලෙස පත්වීම් ලද අතර, එහිදීද සිසුන්ට කැපවීමෙන් ඉගැන්වූ චරිතයක් ලෙස ප්‍රකට වූයේය.

 

2. දේශපාලනයට පිවිසීම

things to know about C W W Kannangara

Source – sundayobserver.lk

නීතිය හදාරා 1910 දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් කන්නන්ගර එවකට කොළඹ කළ ඉගැන්වීම් කටයුුතු ආදියෙන් ඈත්ව නැවතත් ගාල්ලට පැමිණ නීතිඥවරයෙකු සහ නොතාරිස්වරයෙක් ලෙස පත්වීම් ලද්දේය. 1912 වනවිට නීතිඥ වෘත්තියේ නමක් දිනාගත් කන්නන්ගර 1915 මුස්ලිම් සිංහල කෝලහාලයෙන් බැට කෑ ජනයාට පිහිට වන්නට නොමිලේම නීති උපදෙස් ලබා දුන්නේය. ගාලු කියවීම් කමිටුව, අසරණ සරණ සමිතිය, අමද්‍යප සමිතිය ආදී සමිති සමාගම් රැසක තනතුරු හෙබවූ කන්නන්ගර දක්ෂ බිලියඩ් ක්‍රීඩකයෙක්ද විය. 1916 දී පැතිර ගිය මහාමාරිය වසංගතය අවස්ථාවේදී හේ නොබියව මහජනයා වෙනුවෙන් උදව් කරන්නට ගියේය. පසුව 1917 දී පොන්නම්බලම් රාමනාදන් මහතාගේ පාර්ශවය වෙනුවෙන් වැඩකටයුතු කළ කන්නන්ගර මහතා ගාල්ලේ ප්‍රථම දේශපාලන සංගමය වෙනුවෙන් නියෝජිතයෙක් ලෙස කටයුතු කළේය.

 

3. මරණ දඬුවම සහ අමද්‍යප ව්‍යාපාරය

things to know about C W W Kannangara

Source – altoday.com

කන්නන්ගර මහතා මරණ දඬුවමට විරුද්ධ වූ දේශපාලකයෙකු විය. “මරණ දඬුවම දුන්නට පස්සේ ඒක වෙනස් කරන්න බැහැ. එක අවස්ථාවක් මට සඳහන් කරන්න පුලුවන්, මගේ මතකයේ හැටියට වික්ටෝරියා රැජින මං පැහැරූ සරදියෙල්ට පනවාපු මරණ දඬුවම කල් දාන්නය කියලා පණිවුඩයක් එව්වා. ඒත් ඒ පණිවුඩය ලංකාවට ලැබුනේ සරදියෙල් එල්ලා මැරුවටත් පස්සේ” ආදී ලෙසින් කන්නන්ගර මහතා එවකට තිබූ සීමිත මන්ත්‍රණ සභාව තුළ මරණ දඬුවමට එරෙහිව අදහස් දක්වන්නට විය. ක්‍රිස්තියානි පාර්ශවයේ තිබූ සියලු නිවාඩු දින රජයේ නිවාඩු වූ එකල බෞද්ධයින්ගේ නිවාඩු වලට ලැබුනේ කුඩම්මාගේ සැළකිලිය. සියළු පොහෝ දින නිවාඩු බවට පත් වූයේ 1966 වුවත් 1920 ගණන් වලදී කන්නන්ගර මහතා වෙසක් සඳහා දෙදිනකුත් පොසොන් නිවාඩුවත් ලබාගැනීම වෙනුවෙන් මන්ත්‍රණ සභාවේ කතා කළේය.

 

4. කුල භේදයට එරෙහි වීම

things to know about C W W Kannangara

Source – groundviews.org

1926 කාලයේදී පවා රජයේ සේවයට සිදුකළ ඇතැම් බඳවාගැනීම්වලදී කුලය සලකන සාධකයක් විය. ව්‍යවස්ථාදායක සභා වලට පත් වූයේ සිංහල ඉහළ කුලවල වංශවතුන් බැවින් වැඩිදෙනෙක් ඒ ගැන කතාකළේ නැත. එහෙත් කන්නන්ගර මහතා රජයේ රැකියාවලදී කුලය සැළකීමට දැඩි ලෙස විරුද්ධ වූයේය. එවකට බන්ධනාගාර සහ පොලිස් දෙපාර්තුමේන්තුව ආදියට ඇතුළත් වීමේදී කුලය දැක්වීම අත්‍යාවශ්‍ය සාධකයක් වූ අතර දුම්රිය දෙපාර්තුමේන්තුවේද ඇතැම් තනතුරු වලට කුලය සඳහන් කිරීම අවශ්‍ය විය. අවසානයේ මෙම කුලය සඳහන් කොට රැකියා ඉල්ලුම් පත්‍ර පිරවීමේ සිරිත නැතිකිරීමට ඒ ගැන සිදුවූ කන්නන්ගර මහතාගේ නිරන්තර ප්‍රශ්න කිරීම්ද දායක විය.

 

5. රටේ ජනයාගේ ප්‍රශ්න ගැන කතා කිරීම

things to know about C W W Kannangara

Source – thuppahi.wordpress.com

එකල බණ්ඩාරනායකවරුන්. ජේ. ආර්. ජයවර්ධන, ඩී. ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක ආදී චරිත දේශපාලනයේ විකසිත වෙමින් පැවති කාලය විය. එකල කන්නන්ගර මහතාගේ අදහස් වලට ඒ පසුකාලීන අග්‍රාමාත්‍යවරුන් පවා ඇහුම්කන් දුන්හ. අද මෙන් නායකයා කියන යමක් වෙත් නම් එයම අනුමත කරන සම්ප්‍රදායක් නොවූ එකල බොහෝ දේ සම්බන්ධයෙන් ජාතික සංගමය තුළම විවිධ මතයන් තිබුණි. උදාහරණ ලෙස සිංහලය රාජ්‍ය බස සහ ඉගැන්වීමේ බස කිරීමේ යෝජනා 1944 දී ජේ. ආර් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර 1945 දී ඒවා සංශෝධනය කොට බණ්ඩාරනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී. එහිදී ඒ යෝජනා කෙරෙහි ඩී. එස්. සේනානායක මහතා එතරම් රුචියක් නොදැක්වීය. කන්නන්ගර මහතා එදා සිටම සිංහල බස රජයේ බස විය යුතුයැයි විශ්වාස කළ කණ්ඩායමේ සිටියෙකි.

 

6. බදු ගැන වූ නූතන මතය

things to know about C W W Kannangara

Source – lankabusinessonline.com

එකල ද රේන්ද බද්ද, මාර්ග බද්ද ආදී බදු ජනතාව මත පැටවී තිබුනේය. එහිදී මාර්ග බදු ආදිය සෑම සියලු ජනතාවම එකසේ රජයට ගෙවිය යුතු විය. කන්නන්ගර මහතාගේ අදහස වූයේ ආදායම වැඩි අයට වැඩියෙන් බදු ගෙවන්නට සිදුවන බදු ක්‍රමයක් ලංකාවේ ස්ථාපනය කිරීමයි. 1930 දී දෙවන වර කියවීමේදී සම්මත වූ ඒ බදු යෝජනාව තෙවන වර කියවීමේදී පරාජයට පත් විය. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විසූ ලාංකික නියෝජිතයින් පවා ප්‍රභූවරුන්, වංශවතුන් විය. යම් ලෙසකින් උපයන විට බදු ගෙවීම් ක්‍රමයක් වූයේ නම් ඉංග්‍රීසි ජාතිකයින්ට මෙන්ම දේශීය වංශවතුන්ටද බදු මුදල් යහමින් ගෙවන්නට වන නිසා එම යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ප්‍රතික්ෂේප වන්නට ඇත.

 

7. නිදහස ලබන විට කැපුණු වීරයා

things to know about C W W Kannangara

Source – wikipedia.org

1923 සිට අඛණ්ඩව සෑම මැතිවරණයකින්ම ජයගත් කන්නන්ගර මහතාට 1948 නිදහස ලබාගන්නා විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන් ගන්නට වාසනාව නොවීය. ඔහු 1947 දී මතුගම ආසනයෙන් පරාජයට පත් විය. එවකට අලුත් පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ කන්නන්ගර මහතාට පක්ෂයේ ඉහළ පෙළේ ආශිර්වාදය හිමි නොවීය. පුරා වසර 22ක් තිස්සේ ඇමතිවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දේශීය ජනයා වෙනුවෙන් කන්නන්ගර මහතා පෙනී සිටියේය. එහෙත් ඔහු දේශපාලනයෙන් දියුණු කරගත් ව්‍යාපාර, වඩාගත් ආදායම් මාර්ග නොවීය. එබැවින් එතුමාට වසර 22ක් අවසානයේ ආදායම් මාර්ගයක් තනා ගැනීමට එක් එක් රාජ්‍ය වැඩරාජකාරි කරන්නට සිදුවිය. තුන්වන ශ්‍රේණියේ පත්වීමකට ඉන්දුනීසියාවේ මහකොමසාරිස්වරයා ලෙසද ටික කලක් කන්නන්ගර මහතා ක්‍රියා කරන ලදී.

ඩඩ්ලි සේනානායක මහතාගේ රජයේ පළාත් ඇමති වූ කන්නන්ගර මහතා පළාත් පාලනය වෙනුවෙන්ද සුවිශේෂී වැඩකොටසක් ඉටු කළේය. ඩඩ්ලි සේනානායකගෙන් අගමැති පුටුව සර් ජෝන් කොතලාවලට යන විට ඇමති පුටු මාරු වූ අතර කන්නන්ගර මහතාගේ පුටුවද අවිනිශ්චිත විය. එහෙත් මතවාදීව ගැටුම් තිබුනත් ජෝන් කොතලාවල මහතා කන්නන්ගර මැතිතුමාගේ අමාත්‍යාංශය වෙනස් කළේ නැත. බණ්ඩාරනායක මහතා හුදෙක් අගමැතිකම පතාගෙන නව පක්ෂයක් තනාගෙන ගියා යැයි චෝදනා කළ කන්නන්ගර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නොසැලකුම් ලැබූ අවස්ථාවල පවා පක්ෂය මාරු කිරීමට දැඩි ලෙස අකමැති විය.

 

8. නිදහස් අධ්‍යාපනය සහ දේශීය චින්තනය

things to know about C W W Kannangara

Source – worldbank.org

නිදහසින් වසර 70ක් ගිය තැන රටක් ලෙස අප ලබා ඇති දියුණුව කුමක්දැයි ඇතැම්විට අපිට ගැටළුවක් මතු වේ. එහෙත් හෙළබස පදනම් කරගත් කන්නන්ගර මහතාගේ සියලුදෙනාට අධ්‍යාපනය දීමේ අරමුණ බොහෝ පුළුල් විය. ජපානය, චීනය වැනි රටවල් සිය බසින් කටයුතු කරගෙන, තමුන්ටම අනන්‍ය වූ සංස්කෘතික අංගයන්ගෙන් ජීවය ලබාගෙන දියුණු වූ රටවල් බව කන්නන්ගර මහතාගේ මතය විය. එවැනි ස්වකීය අනන්‍ය වූ සංස්කෘතියක් වෙනුවෙන් අධ්‍යාපනයේ අයිතිය සැමටම ලබා දීමටත් දේශීය බස ප්‍රචලිත කිරීමටත් කන්නන්ගර මහතා ඇප කැප වී ක්‍රියා කළේය. එවකට ඉංගිරිසිය වැදගත් වූ සමාජයේ දැන උගත්කම සහ භාෂාව නිසා ජනතාවගේ කොටසකට සිදුවන කොන්වීම වළකාලීම කන්නන්ගර මහතාගේ අරමුණ විය.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *