අපේ පැරණි මුතුන් මිත්තන් ආහාරයට ගත්ත දේවල් මොනවද?

අපේ ආහාර රටාව තීරණය වෙන්න ගොඩක් සාධක බලපානවා. ලෝකයේ විවිධ කලාපවල සුලභවම තියෙන ආහාර ගත්තාම ඒ ආහාර වර්ග වලට කෙලින්ම සපයාගැනීමේ පහසුව බලපාල තියෙනවා. ඉතින් ලංකාවේ අපිට එකල පාන් හදන්න තිරිඟු පිටි සපයාගන්න විදිහක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ ජනතාව එදා රොටි, පාන්, බනිස් වර්ග ආහාරයට ගත්තේ නැතිම තරම්. ඒ වෙනුවට ඔවුන් සහල් මූලික වූ බත්, කැඳ වර්ග සහ එළවළු, පළතුරු, අල වර්ග, මුල් වර්ග ආදී දේවල් ආහාරයට වැඩි වශයෙන් එකතු කරගත්තා.

 

 

1. විවිධ අවස්ථාවලට විවිධ බත් වර්ග

බනිස් වර්ග ජනප්‍රිය රටවල විවිධ බනිස් විවිධ අවස්ථාවන් වලට යොදාගන්නවා. ඒ වගේ අපේ රටේත් සහල් තිබුණ නිසා සහල් වලින් නිමැවුණු බත් වර්ග විවිධ ආකාරයෙන් පාවිච්චි වුණා. රාත්‍රියේ ඉතිරිව තිබූ බත හීල් බත් වුණා. එසේම එයට වතුර දමාගත් විට එය දියබත් වුණා. පොල් කිරි එකතු කර උත්සව අවස්ථාවලට ගන්නා බත කිරිබත වුණා. කමතේ වෙලේ උත්සව අවස්ථා වලදී බතට පැණි එකතු කර පැණිබත් පිසගනු ලැබුවා. කමතට ගෙනියන බත ඇඹුල ලෙස හැඳින්වුණා. දේවාලයේ පිසින බත මුරුතැන් ලෙසත් මරණ ගෙදරකදී පිසින බත මළබත ලෙසත් දැක්වුණා.

 

 

2. විවිධ සහල්වලින් විවිධ කෑම

සහල් වර්ග දැනට නම් අපි දන්නේ කිහිපයයි. ඒත් ඈත අතීතයේ කරන ලද පර්යේෂණ අනුව අපි දැන් බත් කන විදිහට අමතරව චීනයේ ආහාරයට ගන්නාක් මෙන් ස්ටිකි රයිස් එනම් කැඳ සහ බත් අතර තත්ත්වයෙන් ආහාරයට එකතු කරගෙන තියෙනවා. ඒ වගේම සහල් ආහාරයට කෙලින්ම එකතු කරගන්නවා වගේම කැඳ සාදා කැඳ වර්ග වශයෙනුත් ආහාරයට අරගෙන තියෙනවා. එකල සුවඳ හමන සහ දිගැටි, කොට ආදී විවිධ ආකාරයේ ගුණයන්ගෙන් යුතු සහල් වර්ග තිබුණ නිසා බත් වුණත් විවිධ ආකාරයෙන් ආහාරයට ගන්න එකල ජනයාට ඉඩකඩ ලැබුණා.

 

 

3. කොස්, දෙල්, පොල් සහ මඤ්ඤොක්කා කෑවද?

කොස් ලංකාවේ ආහාරයක් විදිහට ජනප්‍රිය වුවත් දකුණු ඉන්දියාවෙන් පැමිණි ආහාරයක් විදිහට තමයි කොස් දැක්වෙන්නේ. දෙල් නම් පෘතුගීසි ජාතිකයින් විසින් දකුණු ඇමරිකාව ආදී ඔවුන්ගේ යටත් විජිත වල ජනප්‍රිය කරවූ ආහාරයක්. මඤ්ඤොක්කා, අර්තාපල් වගේ අල වර්ගත් යටත් විජිත සමයේ තමයි අපේ රටට ඇවිත් තියෙන්නේ. වෙරළබඩ කලාපයේ දැන් තිබෙන පොල් වගාව ජනප්‍රිය කළෙත් යටත්විජිත පාලකයින්. ඉතින් නුවර යුගය වගේ අවසාන කාලවල මේ කොස්, දෙල්, පොල් අපේ ආහාරයට එකතු වුවත් ඒ ආහාර අපේ පැරණි ජනතාව ආහාරයට ගත්තා යැයි සිතන්නට තර්කානුකූල සාධක අඩුයි.

 

 

4. කැඳ වර්ග

අතීතයේදී වංශකතා ආදියේ දැක්වෙන ආකාරයට පුරාණ සිංහලයා කැඳ බීමට රුසියෙක්. එකල කැඳ වර්ග තුන්සියයක් පමණ විවිධ ආකාරයේ අවස්ථා වලදී ආහාරයට ගෙන තිබෙනවා. ලෙඩ රෝග හැදුන විට ඖෂධ ලෙසත් කැඳ වර්ග ලබා දී තියෙනවා. මූලික වශයෙන් කොළ කැඳ, කිරි කැඳ සහ ලුණු කැඳ එකලත් අපේ ජනතාව ආහාරයට ගෙන තියෙනවා. එකල ධාන්‍ය වර්ග, කොළ වර්ග ඇතුළත් මිශ්‍ර කැඳ වර්ග ජනයා අතර ජනප්‍රිය වී තිබෙනවා.

 

 

5. මස් මාළු 

ලංකාව වටේ තියෙන මූද අද නම් ලංකාවේ අපේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරන මූලික ආකාරයක්. ඒත් එදා මූදු මාළු ආහාරයට ගත් බවට සාධක නැහැ. ඒත් ලූලා, කාවයියා, පෙතියා ආදී ගොඩ මසුන් ආහාරයට ගත් බවට සාධක තියෙනවා. ඒ වගේම කැස්බෑවුන්, ඉබ්බන් ආදී සතුන්ගේ බිත්තරත් එකල වැසියන් ආහාරයට එකතු කරගෙන තියෙනවා. වටු මස්, ගිරා මස්, මොණර මස් ආදී පක්ෂීන්ගේ මසුත් එකල මස් වශයෙන් කාල තියෙනවා. එළු මස්, ඌරු මස්, ගෝන මස්, මුව මස් ආදී දඩ මස් වර්ගත් එදා කෑම වේල සම්පූර්ණ කළ බව දැක්වෙනවා.

 

 

6. එළවළු පළා 

සද්ධර්මාලංකාරයෙහි දැක්වෙන ආකාරයට එකල කැකිරි, පුහුල්, තියඹරා, වම්බටු, මුරුංගා, තුඹ, නෙළුම් අල වැනි එළවළු ප්‍රචලිත එළවලු වර්ග වුණා. ආහර පිසීමට පොල් වලට අමතර වෙනත් තෙල් වර්ග යොදාගත් බවටත් සඳහන්. කුළුබඩු වර්ග ලෙස දැනට මෙන් ඉන්දියාවෙන් එන කුළුබඩු නොතිබුණත් ගම්මිරිස්, ඉඟුරු, අබ, දුරු කුරුඳු, දෙහි, ගොරකා වැනි දේ යොදාගෙන තියෙනවා. කෙහෙල් මුව, කොහිල, මඩු දළු, තුඹ, අල කොළ වැනි කොළ වර්ගත් එකල ආහාරවලට එකතු කරගෙන තියෙනවා.

 

 

7. කිරි ආහාර 

කිරි දැන් මෙන් කල් තබාගෙන ආහාරයට ගන්නට එකල හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා කිරි වලින් මුදවපු කිරි හෝ ගිතෙල් හදාගෙන ඒ මගින් කැම පිළියෙල කරගත්තා. අප දැනට අපේ ආහාර ලෙස සලකන බොහෝ කැවිලි වර්ග ආදිය ඇත්තටම අපිට පසුව එකතු වුණු ඒවා. දෙදොල් පැසිපික් දිවයින් වල පවා නාවුක ගමනාගමනයේදී ආහාරයට ගැනීමට සකසාගෙන තියෙනවා. කැවුම්, කොකිස් ආදිය පවා අපිට වෙනත් රටවලින් ආභාෂය ලැබුණ කෑම වර්ග වෙනවා.

 

එක් එක් කාලයේදි වැඩිපුර වැවෙන ආහාර වර්ග වැඩිපුර අනුභව කිරීම පුරාණ ආහාර වට්ටෝරු වල බහුලව දකින්නට තියෙනවා. ඉතින් අපේ රට නාවුක මාර්ගයක මැද පිහිටලා තියෙන නිසා දෙමළ, හින්දු, මුස්ලිම්, චීන, තායි සහ යුරෝපීය ආහාර රටාවන් වලින් ආහාර පාන වර්ග ගොඩක් අපිට අද උරුම වෙලා තියෙනවා. ඒ එක්ක අපේ පැරණි ආහාර වර්ග අපෙන් ටිකක් ඈත් වෙලා ගිහිල්ලා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *