අපි හැමෝම කැමතියි අපේ ලස්සන ඡායාරූපයකට. ඉස්සර නම් ෆොටෝ එකක් ගන්නවා කියන්නේ වෙනමම වැඩක්නේ. ඒ වෙනුවෙන් තැනක්, කැමරාවක් හැමදේම සූදානම් කරගන්න වෙනවා. ඒත් තාක්ෂණය නිය තුඩට පැමිණීමත් එක්ක ෆොටෝ කියන්නේ දැන් අපිට අරුමයක් නොවෙයි. දැන් තියෙන්නෙ ඇත්තටම ෆොටෝ උන්මාදයක් කිව්වොත් නිවැරදියි.
ඉතින් කොහොමද අපි මේ ආසාවෙන් ගන්න ෆොටෝ එකට ලස්සනට මුහුණ දෙන්නෙ? ඔයාත් ඡායාරූප වලට ගොඩාක් ආස කෙනෙක් නම් මේ තොරතුරු ඔයාටත් වැදගත් වේවි.
1. පෙනී සිටින ඉරියව්ව වෙනස් කර සිහින් පෙනුමක් ලබාගන්න

Image Source – unmutefashion.com
ඔබ ටිකක් මහත කෙනෙක් නම්, ඔබ ඉදිරියට මුහුණලා සිටගෙන ෆොටෝ එකට මුහුණ දුන්නොත් ශරීරයේ වැඩි ප්‍රමාණයක් පෙනේවි. අංශක 45කට ඔබේ ශරීරය හරවා හිටගන්න. ශරීරයේ වැඩි බරක් පිටුපස කකුලට දී, දෑත් පිටුපසට තල්ලු කර සිටගන්න. ඒ ඉරියව්ව ඔබට සුන්දර ඡායාරූපයක් ලබාදේවි.
2. ඔබේ අසළින් ඡායාරූපයට පෙනී සිටින්නේ කවුද?

Image Source – thoughtcatalog.com
ඔයා ටිකක් මහත කෙනෙක් නම්, ගොඩාක් සිහින් සිරුරක් හිමි අයෙක් සමීපයෙන්ම හිටගෙන හෝ ඔයා සිහින් සිරුරක් හිමි අයෙක් නම් මහත කෙනෙක් ඔයාගේ සමීපතමයා කරගෙන ඡායාරූපයට පෙනී සිටින්න එපා. ඒකෙන් ඔයාගේ සිහින් බව හෝ මහත බව තවත් දියුණු කර පෙන්නාවි.
3. කැමරාවට සමීපතම පුද්ගලයා වෙනවාද?

Image Source – rockpapervideo.com
කැමරාව අසළම තියෙන ඕනම දෙයක් ටිකක් මහතට තමයි පෙනෙන්නේ. ඉතින් ඔයා කැමරාව සමීපයටම වෙලා ඡායාරූපයට මුහුණ දුන්නොත් ඔයාවත් මහත ස්වරූපයක් ගනීවී. ටිකක් කෙට්ටු කෙනෙක්ට මහතට පෙනෙන්න ඕන නම් ඒ ක්‍රමය හොඳයි. ඒත් ගන්න ගන්න ඡායාරූපයේ මහතට පෙනෙනවා කියලා වද වෙන කට්ටියට නම් කැමරාව අසළම රැඳෙන එක ගුණ දෙයක් නෙමෙයි.
4. හංගමු!

Image Source – circleofbollywood.in
ඡායාරූපයකට කැතට පේනවා කියලා අපිට හිතෙන ශරීරයේ සමහර තැන් අපිට පුළුවන් ඒ අවස්ථාවේ අපි අතේ තියාගෙන ඉන්න දෙයකින් කවර් කරගන්න. උදාහරණයක් විදිහට අපි හිතමු බඩ චුට්ටක් පේනවා වැඩියි වගේ කියලා හිතෙනවා කියලා. ඔයාගෙ අතේ තියෙන භාණ්ඩයක් රටාවකට අල්ලාගෙන බණ්ඩිය ටිකක් කවර් කරගන්න. උදාහරණයක් විදිහට අතේ පොතක්, පර්ස් එකක් තිබුණොත්, එහෙම නැත්නම් ඇඳුමට උඩින් ඔබ ඇඳ සිටි ජැකට් එක ගලවලා අතේ තබාගෙන ටිකක් කවර් කරගන්න පුළුවන්.
5. ඔබේ ඇඳුමේ වර්ණයම වූ ඇඳුම් ඇඳි පුද්ගලයෙකුගේ අසළටම වෙන්න එපා

Image Source – twitter.com
ඔබ සැරසී ඉන්න වර්ණයම ඇඳි පුද්ගලයෙක් සමීපයටම වී ගන්නා සේයාරුවක ඔබව යටපත් වෙන්න පුළුවන්. දෙතුන් දෙනෙක් එක්ව ගන්න සේයාරුවක නම් ඔයාලාට පුලුවන් එහෙ මෙහෙ වෙලා වර්ණ ගලපා ගන්න. ඒත් දෙදෙනෙක් පමණක් නම් සේයාරුවට පෙනී සිටින්නේ දෙදෙනාට පුළුවන් දෙදෙනා අතර පරතරයක් තියාගෙන විවිධ ඉරියව් වලින් වෙනස් වර්ණයේ පසුබිම් වල ඡායාරූප ගැනීමට.
6. ඔබ උසින් අඩු කෙනෙක් නම්, උසට සාක්ෂි සපයන්න එපා

Image Source – diyphotography.com
ඔබ උසින් අඩු අයෙක් නම්, සම්මත උස සහිත දෑ ඉදිරියේ හිටගෙන ඡායාරූපයට පෙනී සිටින්න එපා. උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ අසළ බිම සවිකළ තැපැල් පෙට්ටියක් දැකගන්න පුළුවන් කියලා. ඒ අසළට වී ඡායාරූපය ගැනීමෙන් ඔබේ උස පැහැදිලිව ඉස්මතු වන්න පුළුවන්. වඩා උස ගොඩනැගිලි වැනි දේත් මීට අදාළයි. ඒ වගේමයි සම්පූර්ණ ශරීරයම පෙනෙන ඡායාරූප ගැනීමට වඩා සුදුසුයි සම්පූර්ණ නොවුනත් ශරීරයෙන් වැඩි කොටසක් පෙනෙන සේ, එනම් දණහිසට මදක් උඩට වගේ වෙන්නට ලබා ගන්නා ඡායාරූප. එයින් නරඹන්නාගේ අවධානය ඔබේ උස කෙරේ යොමුවෙන්නේ නැහැ.
7. ඔබේ සිනාව හරිම වැදගත්

Image Source – bandt.com.au
සිනාව කියන්නේ ඡායාරූප ගන්නකොට වඩාත් සැලකිය යුතු දෙයක්. ඕනවාට වඩා වැඩි හිනාව අනවශ්‍ය උපහාසයක් එක් කරන්න හේතුවෙන්න පුළුවන්. ඒ වගේම හිනාවක් නැතුවම ගන්න සේයාරුවක් තරහා පෙනුමක්, අමනාපයක් එක්කරාවි. ඔබ සේයාරුවක් නොගන්නා අවස්ථාවේ ඔබ තුළ පවතින ස්වභාවික සිනාව ඔබේ සේයාරුවට එක්කරන්න පුළුවන් නම් ඇත්තටම නරඹන්නාට ඔබේ සිනාව උත්සාහයෙන් මවාගත්තු අස්වාභාවික පෙනුමක් ලෙස නොපෙනේවි. ඕනවාට වඩා පුළුල්ව සිනාසෙන විට මුහුණ තරමක් ඉස්සිලායි පෙනෙන්නෙ. ඒ වගේමයි දෑස් කුඩා වී කම්මුල් වලට ඉදිමුණු පෙනුමක් එක්වෙනවා. මේවා ආකර්ෂණීය ඡායාරූපයක ලක්ෂණ නම් නොවෙයි. ඒ වෙනුවට ඔයාට පුලුවන් තත්පර කිහිපයක් රිලෑක්ස් වෙලා, කට පොඩ්ඩක් ඇරලා උඩු ඇන්දෙ දත්වලට යටි තොල ගැලපෙන පරිදි හිනාවෙන්න. මේ විදිහට කරද්දී ඔයාට පුළුවන් කොච්චර දත් ප්‍රමාණයක් පෙන්නනවද කියලා තීරණය කරන්නත්. ඔයා දත් පෙන්නලා හිනාවෙන්න අකමැති පුද්ගලයෙක් නම් ඇස් වලින් හිනාවෙන්න ඉගෙන ගන්න. වඩා වැදගත් ඔබ ස්වභාවික ලෙස සිනාසීමයි. ඒ තුළින් තමයි සැබෑවටම ඡායාරූපයට ස්වභාවික සුන්දරත්වයක් ඇතිවෙන්නෙ.
Cover Image Source -videoblocks.com/1zoom.com/huffingtonpost.com
Leave a Reply