ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වෙන්නේ මහා බ්‍රිතාන්‍ය තුළින්. වඩාත්ම නිවැරදිව කිව්වොත් එහෙම ආරම්භ වීමටත් වඩා විකාශනය (ඒ ගැන අපි වෙනම ආටිකල් එකකින් ඔබට තොරතුරු ගෙන එන්නම්). පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියා බවට පත් වෙන්නේ අගමැතිවරයායි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුගමනය කරන සියළුම රටවල් වල පාහේ බොහෝ විට රජයේ ප්‍රධානියා වෙන්නේ අග්‍රාමාත්‍යවරයායි (ලංකාවෙදි නම් තත්ත්වය වෙනස්, ලංකාවේ රජයේ ප්‍රධානියා වෙන්නේ ජනාධිපතිවරයා). අපි අද කතා කරන්න යන්නේ බ්‍රිතාන්‍ය රජයේ බලවතා වන අග්‍රාමාත්‍යවරුන් පිළිබඳව රස කතා.
1. කඩුවක් කුඩයක සඟවා ගෙන ගිය වෙලින්ටනයේ ආදිපාදවරයා
අද වෙනකොට ඕනෑම රටක රාජ්‍ය නායකයෙකු ආරක්ෂා කරන්න ආරක්ෂක නිලධාරීන් රැසක් ඉන්නවා. නමුත් ඇතැම් අවස්ථාවල ඒ රාජ්‍ය නායකයා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආයුධ සඟවාගෙන ඉන්නවයි කියලා එහෙන් මෙහෙන් ඇහෙනවා. හිටපු පලස්තීන නායක යසර් අර්ෆත් ප්‍රසිද්ධියේම ගිනි අවියක් ළඟ තබා ගත් කෙනෙක්. වෙලින්ටනයේ ආදිපාදවරයා වූ ආතර් වෙල්ස්ලි සැලකෙන්නේ බ්‍රිතාන්‍යයේ පමණක් නොව සමස්ත යුරෝපයේම වීරයෙක් විදිහට. ඒ ඔහු නැපෝලියන් පරාජය කිරීමට දැක්වූ දායකත්වය නිසා.
ක්ෂණිකව කෝපයට පත්වන පුද්ගලයකු වූ ඔහු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව පවා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද්වන්ද සටන්වලට අභියෝග කළ අයෙක් ලෙස ප්‍රසිද්ධයි. එසේම පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සහ පිටත ඔහු කුඩයක් අතැතිව සැරිසැරීම සාමාන්‍ය දර්ශනයක් වුණා. නමුත් බොහෝ දෙනෙක් නොදැන සිටියත් කුඩය තුළ තිබුණේ කඩුවක්. මේ කුඩය වෙලින්ටන් හි ආදිපාදවරයාට භාවිතා කිරීමට අවස්ථාවක් ලැබුණද කියන එක අදටත් නොවිසඳුණු ප්‍රශ්නයක්.
2. කිට් කැට් වෙනුවට කෙසෙල් ගෙඩි
ටෝනි බ්ලෙයාර් රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගෝර්ඩන් බ්‍රවුන් එකල අතිශය ජනප්‍රිය අමාත්‍යවරයෙක් බවට පත්ව සිටියා. නමුත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් ක්ෂයව ගියා. මේ කාලය තුළදී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය විවිධ අයුරින් ඔහුව විවේචනය කිරීමට පටන් ගත්තා. ඇතැම් අවස්ථාවල ඔහුගේ ශාරීරික ස්ථූලභාවය හාස්‍යයට ලක් කෙරුණා. විශේෂයෙන් දිනකට හතර වතාවක් පමණ කිට්කැට් චොක්ලට් අග්‍රාමාත්‍යවරයා විසින් ආහාරයට ගැනීම ඔහු තරබාරු වීමට හේතුව බව පුවත්පත් වාර්තා කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුව අග්‍රාමාත්‍යවරයා කිට්කැට් කෑමේ පුරුද්ද අත්හැර දිනකට වරින් වර කෙසෙල් ගෙඩි නමයක් ආහාරයට ගැනීමට පුරුදු වුණා. ඉන්පසුව පුවත්පත්වල එම පුරුදු දෙකේ වාසි සහ අවාසි පිළිබඳව පිටු ගණන් දිග ලිපි පළ වන්නට පටන් ගත්තා.
3. තැචර්ගේ නින්ද
බ්‍රිතාන්‍ය දේශපාලනයේ යකඩ කත ලෙස ප්‍රසිද්ධියට පත් වූ මාග්‍රට් තැචර් තම රාජකාරිය සඳහා අතිශයින්ම කැප වුණු තැනැත්තියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. ඇය විසින් දිනකට පැය හතරක් පමණ නිදා ගත් අතර ගැටළුව වූයේ ඇය විසින් රාජ්‍ය නිලධාරීන්ද එසේම තම නින්ද සීමා කර ගනු ඇතැයි සිතීමයි. රාත්‍රිය පුරාවට විවිධ හේතූ මත නිලධාරීන්ට ඇගෙන් දුරකථන ඇමතුම් ලැබුණු අතර, වසර 11 ක් වූ ඇගේ පාලන කාලය තුළ බොහෝ රාජ්‍ය නිලධාරීන් ද මේ ආකාරයට තම ජීවන රටාව හැඩගස්වා ගත්තා. ඇගේ අනුප්‍රාප්තිකයා වූ ජෝන් මේජර් සාමාන්‍ය ආකාරයට පැය හයක නින්දකට පුරුදු වූ අයෙක් වූ අතර ඔහුගේ පාලන සමය තුළදී රාජ්‍ය නිලධාරීන් යළිත් තම ජීවන රටාව සකසා ගැනීමේ අරගලයේ යෙදෙන්නට පටන් ගත්තා.
4. නිරුවත් වුණු චර්චිල්
බ්‍රිතාන්‍යයේ තවත් ජනප්‍රිය අග්‍රාමාත්‍යවරයෙකු වූ වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙත නිල සංචාරයක නිරතවුණා. දින 24ක කාලයක් ඇමරිකානු ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ නේවාසිකයෙකු ලෙස වෙසෙමින් විවිධ සාකච්ඡාවල නිරත වුණු චර්චිල් තම කුටිය තුල ගත කළේ සම්පූර්ණයෙන්ම නිරුවතින්. ඕනෑම පුද්ගලයෙකු තම පෞද්ගලික කාමරය තුළ නිරුවතින් සිටීම සාමාන්‍ය දෙයක් වුවත් විවිධ අවශ්‍යතා සඳහා චර්චිල්ගේ කුටිය වෙත ගිය ධවල මන්දිර සේවකයන්ට මෙය පුදුමයට කරුණක් වුණා.
5. කනිෂ්ඨ විලියම් පීට්ගේ පෝට් පානය
වසර 18ක පමණ කාලයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයේ රැඳී සිටි කනිෂ්ඨ විලියම් පීට් එරට ජනප්‍රිය අග්‍රාමාත්‍යවරයෙක්. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු ව සිටින කාලයේ දී පීට් දැඩි ලෙස රෝගාතුර වූ අතර වෛද්‍ය නිර්දේශය වූයේ මරණයෙන් ගැලවීමට නම් පෝට් නම් මත්පැන් වර්ගයෙන් බෝතලයක් දිනකට පානය කළ යුතු බවයි (මේ ආකාරයට රෝගාබාධ සඳහා මත්පැන් නිර්දේශ කිරීම 18 වන සියවසේ දී සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණා). පෝට් පානයෙන් නිරෝගී බවට පත්වූ පීට් තමන්ට සුවය සැදු ඒ පානය අමතක කළේ නැහැ. දිනපතා පෝට් බෝතලයක් පානය කිරීම ඔහුගේ දින චර්යාවේ එක් අංගයක් බවට පත්වුණා. ඇතැම් දිනවලදී එම බෝතල් ගණන තුනක් දක්වා වැඩි වූ බවත් කියවෙනවා.
6. ඩිස්’රායෙලිගේ කට්ටකම්
එතෙක් මෙතෙක් ක බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත්වූ පත් වූ යුදෙව් සම්භවයක් සහිත එකම අග්‍රාමාත්‍යවරයා වන්නේ බෙන්ජමින් ඩිස්’රායෙලියි. තමන් සමීපයේ සිටින පුද්ගලයන්ව අතිශයින් වර්ණනාවට ලක් කොට ඔවුන්ගේ විශ්වාසය දිනාගන්නා තැනැත්තෙකු ලෙස ඩිස්’රායෙලි ප්‍රසිද්ධියට පත්ව සිටියා. එකල එංගලන්තයේ පැතිර ගිය කතාවක් ඊට එක් සාක්කියක්. වංශවත් කාන්තාවක් හිටපු අගමැතිවරයෙකු වූ ග්ලැඩ්ස්ටන් හා ඩිස්’රායෙලි සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබුණා. ඒ පිළිබඳව ඇගෙන් විමසූ අයට ඇය දී තිබුණේ මෙවැනි පිළිතුරක්. “ග්ලැඩ්ස්ටන් අගමැතිවරයා සමඟ කතා කිරීමේදී මට හැඟුනේ එංගලන්තයේ සිටින විශිෂ්ටතම පුද්ගලයා සමඟ මම කතාබහ කරන බවක්. ඒත් ඩිස්’රායෙලි සමඟ කතාබහ කිරීමේදී මට හැඟෙන්නේ එංගලන්තයේ සිටින විශිෂ්ටතම කාන්තාව මම බවයි.”
7. රජුන් තිදෙනෙකුට සේවය කළ බෝල්ඩ්වින්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන් අතරෙන් වැඩිම රාජ්‍ය පාලකයන් ගණනකට සේවය කළ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාසගත වන්නේ ස්ටැන්ලි බෝල්ඩ්විනුයි. නමුත් එය සිදුවන්නේ වෙනස්ම ආකාරයකටයි. පස්වන ජෝර්ජ් රජු 1936දී මිය ගිය අතර ඔහුගේ වැඩිමහල් පුතු අටවන එඩ්වඩ් නමින් රජු බවට පත් වුණා. නමුත් වොලිස් සිම්ප්සන් ආර්යාවගේ ආදරය ඉදිරියේ ඔහු සිහසුන අත්හැරීමට තීරණය කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1936 වසරේදී අටවැනි එඩ්වඩ් රජුගේ බාල සහෝදරයා හයවෙනි ජෝර්ජ් නම්න් රජු බවට පත්වුණා. එංගලන්ත රජ කිරුළේ මෙම වෙනස්වීම නිසා ස්වභාවිකවම එරට දේශපාලන ඉතිහාසයේ නොබිඳිය හැකි වාර්තාවක් තැබීමට බෝල්ඩ්වින් සමත් වුණා.
එහෙම නම් ඉතින් නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply