රස්සාවක් කරනවා කියන්නෙ කාට වුනත් ලේසි වැඩක් නෙමේ. උදේ පාන්දරින් නැගිටගෙන, හරියට කන්න බොන්න වෙලාවක්වත් නැතුව කවුරු කවුරුත් ජීවත් වෙන්න ලොකු කට්ටක් කනව. ඒ අතරේ ගාමන්ට් ෆැක්ටරි වල ඇඳුම් මහන නංගිලාගෙ ජීවිත කතාව තවත් දුක්බරයි. අර දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙ සින්දුවකත් තියෙන්නෙ “කෝල කොමල නංගියෙ ඔබ අතට ගත්ත මහ බර කන්ද... උහුලන්නට පුළුවන්ද…” කියල. ගාමන්ට් ජීවිතේ, ගාමන්ට් යන ගැහැණු ළමයි දිහා සමාජෙ හැමදෙනාම පාහේ බලන්න පුරුදු වෙලා තියෙන්නෙ වපර ඇහෙන්. තමන් දන්න කියන කෙනෙක් උණත් ගාමන්ට් එකක රස්සාවකට යනවනම් ඒ ගැන කතා කරන්නෙත් අපුලෙන්. හැබැයි අපි නොදන්න කාරණාවක් තමයි රටට විදේශ විනිමය උපයන්න ඒ ගාමන්ට් වලින් ලැබෙන දායකත්වයේ වැඩිම බරක් දරන්නෙ මේ දුර ඈත ගම් වලින් ඇවිල්ල වැඩ කරන ගැහැණු ළමයි කියන එක. ඉතින් අපි බලමුකෝ අර ගම් වලින් එන සියුමැලි ගැහැණු දරුවෝ ගාමන්ට් රස්සාවට ඇවිල්ල විඳින දුක් මොනවද කියල.
1. මඟහැරෙන නෑදෑකම්
අපිට ලේසියට පෙනුනට දුර ඈත ගමක ඉඳලා තමන්ගෙයි කියල ඉන්න දෙමව්පියන් නෑදෑ හිතවතුන්ගෙන් වෙන්වෙලා මේ ගිනි ගහන කොළඹට ඇවිල්ල වැඩ කරන්න වෙන එක ලේසි වැඩක් නම් නෙමෙයි. සහෝදර සහෝදරියො, නෑදෑ හිතවත්තු එක්ක ගෙවපු සැහැල්ලු ජීවිතේ මතක එක්ක බෝඩිම් කාමරේක නන්නාදුනන හිතවතියො එක්ක අලුත් ජීවිතේට හුරුවෙන්න හරිම අමාරුයි. ගමේ තියෙන මරණෙකට, මඟුලකට යන්න උණත් නිවාඩුනම් ඉල්ලනව බොරු සුපර්වයිසර්ලගෙන්. ඒ වගේ වැදගත් දවසකට යාගන්න බැරුව එදාටත් වැඩ කරන්න වුනාම දැනෙන දුක කොහොම ඇතිද?
2. බෝඩිම් ජීවිතේ
ඊට එහා බෝඩිමේ ජීවිතේ. පවුලෙන් අයින් වුන දුක පැත්තකටම දැම්මත්, බෝඩිමේ ඉන්න හිත හදාගන්නනම් හරිම අමාරුයි. හුඟක් බෝඩිම් අඩි 10 x 10 කාමර. ඒ කාමරේක ඉතින් අඩුගානෙ ගැහැණු ළමයි 3ක් 4ක්වත් දාගන්න තමා බෝඩිම් ඇන්ටිලා බලන්නෙ. පුළුවන් උපරිම ගාස්තුව අය කළාට සැප පහසුකම් නම් අන්තිමයි. යන්තමට ඇඳයි මේසෙකුයි හම්බවෙනවා. ඒවගෙත් මකුණො කෙළවරක් නැහැ. හුඟක් තැන්වල නාන්නත් ඕන ලිඳෙන් ඇදගෙන. ඉතින් බලන්නකො ලේසිද කියල ඒ ජීවිතේ.
3. සොච්චම් පඩිය
ගාමන්ට් රස්සාවෙ අනික් දුක තමයි ගෙවන සොච්චම් පඩිය. ආණ්ඩුවෙ නීති අනුව ගෙවන්න ඕන අවම මූලික පඩිය රුපියල් 13,500. ඉතින් ඕක තමයි හැමතැනම ගෙවන ගාණ. මොකෝ ලොක්කො ආදරේට පඩි වැඩියෙන් දෙයියෑ ඉතින්. කොහොමින් හරි යන්තම් කටක් ඇරල කියන්නවත් පුළුවන් ගාණක් අතට ලැබෙන්නෙ අතිකාල, ප්‍රසාද දීමනා, පැමිණීමේ දීමනා, රාත්‍රී වැඩමුර දීමනා ඔක්කොම එකතු උණාම තමයි.
4. නයිට් ශිෆ්ට් එක
ලංකාවේ හුඟක් ගාමන්ට් ෆැක්ට්‍රි දිවා රෑ දෙකේම වැඩ කරනව. ඒ මැශින් වලින් ගන්න ඕන උපරිම ඵලදායීතාවය ලබාගන්න. හැබැයි ඉතින් මැශින් වලට තනියම වැඩ කරන්න බෑනෙ. ඉතින් වැඩ කරන සේවක සේවිකාවන්ටත් නයිට් ශිෆ්ට් වල වැඩ කරන්න වෙනවා. නිදාගන්න ඕන වෙලාවේ නැගිටල වැඩ කරන්න වෙන එකම කොච්චර දුකක්ද ඉතින්. ඒ වගේ අවුරුදු ගණන් එක නයිට් ශිෆ්ට් වල වැඩ කරන සේවිකාවොත් ඉන්නව. අර සුනිල් එදිරිසිංහ මහත්මය “රෑ වැඩ මුරය අවසන් වන කණිසමට..” කියල කියන්නෙත් ඒ දුක්බර කතාව ගැන තමයි.
5. O/T වැඩ
අර කලින් කියපු සොච්චම් පඩියට තව කීයක් හරි වැඩිපුර එකතු කරගන්න පුළුවන් O/T ටිකක් කර ගත්තොත් විතරයි. හැබැයි ඒකත් ඉතින් මේ කියන තරම් ලේසි නෑ. පැය 8ක 9ක සාමාන්‍ය ශිෆ්ට් එකත් වැඩ කරල තව අමතර පැය 3ක් 4ක් වැඩ කරනව කියන්නෙ වෙනදා මහන්සිය දෙගුණ තෙගුණ වෙන වැඩක්. ඊටත් එහා රෙද්දක් හෝදගන්න, විවේකයක් ගන්න තියෙන ඉරිදට, පෝය දවසට එහෙමත් O/T කරන්න වෙනකොට. ඊට පස්සෙ නිවාඩුවක් නැතුව තව සතියක් දෙකක් අදින්න වෙනකොට. ඔක්කොම දමල ගහල ගෙදර දුවන් යන්න නොහිතෙන එක තමයි පුදුම.
6. කැන්ටිමේ බත් මුල
මේකත් එක්තරා අපා දුකක් තමයි. ගමේ හැදෙන කෑම කටට රසට කාල පුරුදු අයට කැන්ටිමේ දෙන මෙලෝ රහක් නැති බත් එක මැගී නූඩ්ල්ස් ගිලිනව වගේ තමයි ගිලින්න වෙන්නෙ. කඩෙන් කන්නයි, බෝඩිමට ගෙවන්නයි , ගෙදරට බලන්නයි, ඉතුරු කරන්නයි ඔක්කොම අර සොච්චම් පඩියෙන් කරන්න බැරි නිසාම අඩුවට ලැබෙන කැන්ටිමේ බත් එක බැන බැන හරි කන්නම වෙනව ඉතින්.
7. ලෙඩ දුක්
ලෙඩක් දුකක් හැදුනම ගෙදර කෙනෙක්, හිතවතෙක් ලඟ නැතිවෙන එක අපිට කොච්චර දුකක්ද? ඒ උණත් ඉතින් මේ තනියම ගෙවන බෝඩිම් ජීවිතේ ලෙඩට දුකට කවුරුයි කියල ලඟ ඉන්නද? තනියම බෙහෙත් අරගෙන, කන්න බොන්න හදාගෙන, තමන්ම සාත්තු කරගෙන ලෙඩ හොඳ කරගන්න තමයි තියෙන්නෙ. ගෙදරට කියන්නත් බැහැ එහේ ඉන්න අය කලබල වෙන නිසා. නොකියත් බැහැ හිතවත් සනීප කරගන්න කවුරුත් නැති නිසා.
සමාජෙ බහුතරය කැතට බලන්න පුරුදු වෙලා ඉන්න ගාමන්ට් ෆැක්ට්‍රි වල ජීවත් වෙන නංගිලාගෙ ජීවිත වල දුක්බර කතන්දරෙන් බොහොම ටිකයි ඔය කිව්වෙ. එයාල හුඟක් දෙනෙක් ගෙදරින් මඟ ඇරෙන ආදරේ හොයන් ගිහින් කොළඹ අහස යට තනිවෙන කතන්දර වල දුක්බර කොටස් තව ගොඩායි. කොහොම උණත් අපි පිටින් බලල අවතක්සේරු කළාට ඒ ජීවිත වලටත් වෙනම කතන්දරයක් තියෙනව. අගය කරන්න බැරි උණත් අඩුගානෙ අපහාස නොකර ඉන්නවත් අපිට පුළුවන්නම් ඒක තමයි හොඳ… අර වික්ටර් රත්නායක මහත්මය මෙන්න මෙහෙම කියනව වගේ..
අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්..
එම සන්නාලිය නංගා දෙස නොබලන් වපරැසකින්..
Leave a Reply