ගෙදරට බඩු ගන්න සුපර්මාකට් එක බොහෝදෙනෙක් තෝරගන්නෙ ඒකෙ තියෙන පහසුව නිසා. කතා බහ නෑ, ඕන ටික තෝරගත්තා. එළවලු කඩේටයි, මාළු කඩේටයි, මස් කඩේටයි, සිල්ලර කඩේටයි වෙනම යන්න ඕනෙත් නෑ. ඩිස්කවුන්ට් වාසි සෙට් වෙනවත් වැඩියි. ඉතිං ඒ හින්දම ගෙවන්න වෙන ගාණත් ටිකක් වැඩියි කියල මතකෙ තියාගන්න ඕන. මේ කියන්න යන්නෙ ඔන්න ඔය විදියට සුපර්මාකට් එකේ ඉන්න අතරෙ දකින්න ලැබෙන අය ගැනයි.
1. කාට් එපා!

Source – wikipedia.org
සමහරු ඉන්නව අතට ගන්න පුළුවන් යකඩ කූඩයක්වත්, තල්ලුකරගෙන යන්න කාට් එකක්වත් පාවිච්චි නොකරන අය. ඉතිං මේ අය ඉන්නෙ තනිකර දොඩං ගොඩ බදාගත්ත වගේ බඩු වලින් වැහිලා. සමහරවිට මෙයාලා කාට් තල්ලු කරගෙන යද්දි පරක්කු වෙන නිසා මෙහෙම කරනවද දන්නෙත් නෑ. එහෙමත් නැත්තං අඩුවෙන් බඩු ගන්න හිතාගෙන ඇවිත් වැඩියෙන් ගන්න පෙළඹුනාද දන්නෙත් නෑ. කොහොමින් කොහොම වුනත්, අත් අස්සෙ, වැළමිටට බඩට හිර කරගෙන බඩු තෝරන අය දැක්කම හිනාවකුත් යන්න ඉඩ තියෙනව. ඒ වුනත් ඒ අය එච්චර අමාරුවෙන් රාක්කෙක තියෙන තවත් බඩුවක් ගන්න ගිහින් අතේ තියෙන ටික වට්ටගත්තම දුකත් හිතෙනව.
2. මග දමා ගිය අය

Source – bizwatchnigeria.ng/gastronomybyjoy.com
මෙයාලානං අනෙක් මනුස්සයෙකුගෙ දුකක් ගැන කිසිසේත්ම නොහිතන අය. මෙයාලා මුලින්ම දකින්න තියෙන හැමදේම පුරෝගන්නව. ඊටපස්සෙ හිතාගත්තු ගාණට වැඩියි කියල මතක් වුනොත් හරි මෙච්චර අපරාදෙ කියල හිතුනොත් අර ගත්තුව ආයෙ මග දාලා යනව. ඒ දාලා යන්නෙත් නියමිත තැනින් නෙමෙයි. වැඩිපුර ගත්තු සබන් කෑලි පහ යෝගට් ගාවින් තියලා යන මිනිස්සුත් ඉන්නව. මේකෙන් ප්‍රධාන වශයෙන්ම දෙකොටසක් අපහසුතාවයට ලක්වෙනවා. මුලින්ම සුපර්මාකට් එකේ වැඩ කරන්න ඉන්න අය. එයාලා අයෙ ආයෙත් අර බඩු හරි තැනින් තියන්න එපැයි. අනිත් අය තමයි ඒ සබන් කෑල්ලෙ සැබෑ අවශ්‍යතාවයක් තියෙන මිනිස්සු. නිකමට හිතන්නකො සබන් ඉවරයි කියල හිතල එයාල ගියොත් එයාලටනෙ පාඩුව. මොකද කවුරුත් යෝගට් රාක්කෙ සබන් බලන්නැහැනෙ.
3. හරස් පාර

Source – reddit.com
මේකටනං කොට්ඨාස කිහිපයක් අයිතියි. ඒකෙන් මූලික කොට්ඨාසයක් තමයි කාට් එක මග දාලා ගමන් බිමන් යන පිරිස. එයාලා බිස්කට් තියෙන හරියෙන් කාට් එක මහ පාර මැද දාලා චිකන් අරගන්න ගිහින්. ඉතිං යන එන මිනිස්සු එයාගෙ කාට් එකත් අයින් කරලා තමයි ගමන් යන්න ඕන. අනිත් අය තමයි කතාබතා ගණයට වැටෙන, පාර හරස් කරගෙන කතාබහේ යෙදෙන උදවිය. අනිත් මිනිස්සු මෙයාලව පහුකරගෙන යන්නෙ කොහොමද? එයාලට බඩු අරගන්න අපහසුයි නේද කියන දේ ගැන මෙයාලට ගාණක්වත් නැහැ. එයාලගෙ ඕපදූප ටික ඉවර වෙනකං හෙල්ලෙන්නෙ නෑ.
4. වාසි වාසි

Source – telegraph.co.uk
මේ ජාතිය නං නොපතන්න ඕන ජාතියක්. ඒ අය සුපර්මාකට් එන්නෙ ලැයිස්තුවක් හදාගෙන ඕන දේවල් ගන්න වුනත්, එයාල වැඩිපුර අරගන්නෙ එදාට වාසි තියෙන දේවල්. එකක් ගත්තම දෙකක් දෙන ඒව තමයි වැඩිපුර හොයන්නෙ. කොච්චර ඩයබිටීස් තිබුනත් නෙක්ටා බෝතලේකට තවත් එකක් ෆ්‍රී හම්බෙන නිසා එයාලා ෂුගර් නං වැඩිවුනත් මොකෝ කියල හිත හදාගන්නව. කාර් එකක් නැතත් කාර් පොලිෂ් ගන්නෙ ඒකත් එක්ක ක්ලීනිං ක්ලෝත් එකක් හම්බෙන නිසා. ඔන්න ඔය විදියට වාසිම හොය හොය ඉන්න නිසා මෙයාලත් සුපර් මාකට් වලදි දකින්න ලැබෙන අමුතු ජීවීන් ගණයට දාන්න පුළුවන්.
5. වයිෆ් එක්ක

Source – dreamscape.com
මේක අදාළ පිරිමි අයට. මේ අය එන්නෙ තනියෙන් වුනාට මේ අය ඉන්නෙ වයිෆ් එක්ක ටෙලිෆෝන් එකේ. අන්න ඒ නිසා මෙයාලා තනිකරම රොබෝලා වගේ ජාතියක්. ටෙලිෆෝනයේ අනෙක් අන්තෙන් එන විධානයට අනුව තමයි වැඩ. මුලින්ම වයිෆ්ට එතන තියෙන දේවල් කියනව. ඊටපස්සෙ වයිෆ් ඒ දේවල් වලින් ගන්න ඕන ටික කියනව. ඊටපස්සෙ මේ අය ඒක කන්ෆර්ම් කරගන්න ගත්තු බඩු ටිකේ ෆොටෝ එකකුත් වයිෆ්ට යවනව. මොකද මේ අය කැමතියි ගෙදර ගිහින් කනක් ඇහිලා නිදාගන්න.
6. හොල්ලල මිරිකල බලන අය

Source – videezy.com
මේ අය ඉතිං මුරුක්කු පැකට් එකක් ගත්තත් හොල්ලල, ඔබල, මිරිකලා බලලා තමයි ගන්නෙ. දින බලලා, බර ගැනලා, ගෙවන මිලට වැඩිය වටිනවද හිතලා, කොච්චර කජු ප්‍රමාණයක් ඇතුළෙ තියෙනවද කියල ගැනලා බලලා තමයි මික්ස්චර් පැකට් එකක් වුනත් ගන්නෙ. ඉතිං පොල් ගෙඩියක්, පැපොල් ගෙඩියක් වගේ ගන්න ගියොත් ගමම විනාසයි. ඊට හපං බෝංචි වගේ දෙයක් ගනිද්දි. කරලෙන් කරලට මිරිකල තමයි මල්ලට දාගන්නෙ.
7. ඔහොම බෑ

Source – mirror.co.uk
මේ විදියෙ වැඩ කරනව දකින්න ලැබෙන්නෙ නං බොහෝවිට වැඩිමහල් අය සහ ඇතැම් විට මැදිවියේ මිනිස්සු තමයි. එයාලා ඉතිං තමන්ගෙ ජ්‍යෙෂ්ඨ පුරවැසි එකවුන්ට් එකට ඔටෝ බැහැලා තමයි හිතන්නෙ. ඉතිං කැෂියර් එකේදි රජ ටෝක්. ඉක්මන් කරන්නෙ නැද්ද කියල බනිනව. බිල් කරන අතරෙ අරකෙ ඩිස්කවුන්ට් තිබ්බද? චුට්ටක් ඉන්නවද මං ඩිස්කවුන්ට් තියෙන එකක් අරං එන්නද කියල අහල යනව. රුපියල් දෙසීයෙ බිලට පන්දාහෙ කොළේකින් ගෙවලා එක රුපියල් දාහක් සීයෙ ඒවයින් දෙන්න බැරිද කියල අහනව. ඉතිං ඔහොම මනුස්සයෙක් අපේ ඉස්සරහට සෙට් වුනොත් අපි ප්‍රෙෂර් නැගලා මැරෙනව.
Cover Image Source – nishanhalimdmd.com
Leave a Reply