අඩි උස සපත්තු ලස්සනයි. දැක්කම ආසයි. වෙළඳපොළේ ගන්නත් තියනවා ඇති තරම්. හැබැයි ඕනෑම ගෑනු දරුවෙක් දන්නවා හීල් දානවා වගේ නෙවේ පොඩි වේදනාවක් ඒකේ තියනවා කියලා. කකුල් දෙක කැපෙන්න ගන්නවා. ඉතින් ඒක එහෙම නොවෙන්න පොඩි ටිප්ස් වගයක් කියන්නයි යන්නේ.
1. නියම ප්‍රමාණය තෝරාගැනීම
අඩි උස සපත්තු ජෝඩුවක් තෝරගන්නවා කියන්නේ සාරි ජැකට් එකක් මහනවා වගේ වැඩක්. ගාණට මිම්මට වෙන්න ඕනි. ඕනෑවට වඩා ඉඩක් සපත්තුව ඇතුළේ තිබුණොතින් පාදය ගිහින් සපත්තුවේ කොන්වල වදින්නේ අධික වේදනාවක් ඇති කරවලා. ඉතින් ඔයා හිතනවා නම් සපත්තුවේ ඉඩ ඇති තරමට වේදනාව අඩු වෙයි කියලා. අන්න ඒක ලොකු වැරැද්දක්. එහෙමයි කියලා කිටි කිටියේ හිර වෙච්ච ඒවා ගන්නත් එපා.
2. සනීපාරක්ෂක තුවායක් භාවිත කිරීම
මේ මොන විකාරයක් ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් සපත්තුවේ අඩියේ සනීපාරක්ෂක තුවායක් තියලා පාවහන් පැළඳීමෙන් සැප පහසු ගතියක් වගේ ම දාඩිය උරාගැනීමක් සිද්ධ වෙනවා. වෙළඳපොළේ මේ සඳහා ම වෙන ම පෑඩ් වර්ග තියනවා තමයි. සමහර ඒවා ගණන්. සමහර විට ලංකාවේ වෙළඳපොළේ එහෙම ලේසියෙන් හොයාගන්නත් නෑ. ඉතින් මේ විදිය හොඳයි හොඳටම. හැබැයි ඉතින් ගලවලා දාලා යන්න බෑ කොහෙවත්.
3. ඇඟිලි ටේප් කිරීම
බැලේ නටන ගෑනු දරුවෝ ඇඟිලි ටේප් කරනවා දැකලා ඇති. හැබැයි හීල්ස් දාන ඔයා ඇඟිලි ඔක්කොම ටේප් කරන්න අවශ්‍ය නෑ. පාදයේ සුළැඟිල්ලට එහායින් තියන ඇඟිලි දෙක විතරයි ඔයා බඳින්න ඕනි. ඒකට හේතුව තමයි ඒ ඇඟිලි දෙක අතර බෙදී වෙන් වෙන ස්නායුවක් පිහිටා තිබීම. දෙක එකට කරලා බැන්දම පීඩනයක් ඒ මතට එන්නේ නැහැ.
4. විවේකයක් ගැනීම
නිකන් බාටා කෑලි දෙකක් දාගෙන ඉන්නකොටත් අපිට ටික වෙලාවකින් කකුල් දෙකට තද ගතියක් අපහසුවක් දැනෙනවා. ඉතින් අඩි උස සපත්තු ගැන කවර කතා ද? ගොඩක් වෙලා එක දිගට දාගෙන ඉන්න සිද්ධ වෙනවා නම් කඩින් කඩ විවේකයක් ගන්න එක තමයි හොඳම. ඒ විවේක කාලය අතරතුර ඇඟිලි එහෙට මෙහෙට ස්ට්‍රෙච් කරලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඔෆිස් යනකොට දානවා නම් කැබින් එකට වෙලා ඉන්න ටිකට සම්පූර්ණයෙන් ම සපත්තු දෙක ගලවලා දාලා ඉන්න පුළුවන් නේ.
5. සපත්තු වර්ගය තෝරාගැනීම
ලේසියට පහසුවට කියලා ප්ලාස්ටික් කෑලි අඩුවට ගන්නේ නැතුව අඩි උස සපත්තු දාන්න ඕනි නම් හොඳ ලෙදර් සපත්තු තමයි ගන්න ඕනි. ඒ වගේ ම අඩිය ටිකක් විශාල වෙන්න ඕනි. එතකොට පෘෂ්ඨීය වර්ගඵලය වැඩි නිසා යෙදෙන පීඩනය අඩුයි. ඒ වගේ ම බකල් පටි තියන ඒවා ගන්න. ඒක අපි ලිපියේ සඳහන් කරපු පළවෙනි කාරණය එක්ක ගැලපෙනවා. කකුල එහෙමෙහෙ යන්නේ නෑනේ.
6. සපත්තුව පත්තියන් කරගැනීම
ඩෙනිමක් වුණත් ගාණට සෙට් වෙලා එන්නේ ටික කාලයක් හෝදලා ඇන්දම. එහෙමයි කියලා ලෙදර් සපත්තු දෙකක් හෝදන්න බැහැනේ. ඒත් ඔයාට පුළුවන් වතුර බිංදු කීපයක් ඉහලා පොඩ්ඩක් තෙතබරි කරගන්න වටෙන් ගොඩෙන්. ඊට පස්සේ ඕක දාගෙන ගෙදර දොරේ වත්ත පිටියේ ඇවිදලා සපත්තුවයි කකුලයි මේ වැඩේට හුරු කරගන්න ඕනි.
7. ආලේපන භාවිතය
වැස්ලින් තමයි ගොඩක් අය මේ සම්බන්ධයෙන් භාවිත කරන්න පුරුදු වෙලා හිටියේ. නමුත් මෑත කාලයේ රාවයක් ගියා ඒකෙන් ලෙදර් අමුද්‍රව්‍යයට හානියක් ගෙන දෙනවා කියලා. ඉතින් ආලේපන භාවිත කරන්න හිතන් ඉන්නවා නම් මේ සඳහාම තියන Anti-Blister Stick එකක් භාවිත කරන්න.
Leave a Reply