වෙන රටවල යානවාහනවලට බොහෝ දුරට රෝද ගාණෙන් සමානකම් දැක්වුවත් අපේ රටේ වාහනවල අමු ලංකන් ගතිය වාහන පුරාවටම දකින්න තියෙනවා. ඒ ගතිය සෙට් වෙන්නැති අය පොඩ්ඩක් එකල මෙකල වෙන්න උත්සාහ කරනවා. ඒ වගේ උත්සාහයක් දකින්න සෑහෙන අමාරු වාහන වර්ගයක් තමයි පොදු ප්‍රවාහන සේවෙට දාලා තියෙන බස්. ඔය බස්වල තියෙනවා වෙනම සංස්කෘතියක්. දැන් දැන් බස්වලට එක එක ගැහැණු නම් දාගෙන වෙනම සීන් එකකුත් යන කාලේ නේ. මොනවා වුණත් බස් නැත්තම් ලක්ෂ ගාණක් මිනිස්සුන්ට වැලේ වැල් නැති වෙනවා. කොහොමහරි මේ යකඩ ගොඩකට ගොඩවෙන්න කලියෙන් කරුණු කීපයක් හිතේ තියාගන්න අවශ්‍ය වෙනවා. මේ පිළිබඳ නොහිතා බස් එකකට නගිනවා කියන්නේ මාරක ළිඳේ පදින බයිසිකලේක පොල්ලේ වාඩි වුණා වගේ තමයි.
1. මාරු සල්ලි අතේ තියාගන්න

Image Source – veriteresearch.org
ඓතිහාසික වගේම විසඳුමක් නොලැබුණු ප්‍රශ්නයක් විදියට ඉතුරු රුපියලේ කතාව හඳුන්වන්න පුළුවන්. දෙන්න පුළුවන් උපරිමේ රුපියල් සීය තමයි. ඊට වඩා වැඩි ඕනම සල්ලියක් දීලා බස් එකටම ඇහෙන්න කතන්දරයක් අහගන්න පුළුවන් කොන්දොස්තර අයියගෙන්. ඊට අමතරව ඔය පොඩි සල්ලි අතේ තියාගෙන ඉහෙන් කරෙන් බෑග් එල්ලගෙන ඉන්නකොට සල්ලිය දුන්නා එච්චරයි. ලොකු ලොකු සල්ලි එක්ක ඔය දක්ෂකම පෙන්නන්න ගියොත් වින්ඩ්ස්ක්‍රීන් එකේ වැදිලා නතර වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. මෙන්න මේ දේවල් නිසා මාරු සල්ලි එක්ක බසයට ගොඩවෙන්න.
2. ඉස්සරහ දොරෙන් විතරක් බහින්න

Image Source – newsfirst.lk
ආරක්ෂාව තමයි ඉතින් අංක එක. මෙහේ බස් යන්නේ පණ කඩාගෙන. ඩ්‍රැයිවර් උන්නැහැ ගාවින් යනකොට පොඩ්ඩක් වේගේ අඩු කරගන්න පෙළඹෙනවා. ඊට අමතරව පොකැට්ටුවට ජංගම දුරකතනයට මාර වාසිදායකයි. බස් එකෙන් බහින වෙලාව තමයි හොරෙක්ට අඩුමකුඩුමවලට විදින්න තියෙන හොඳම වෙලාව. අන්න ඒක පස්සේ දොරෙන් බහිද්දී සිද්ධ වෙනවා වැඩියි. ඉස්සරහින් බහිනකොට ඩ්‍රැයිවර් මාමා වගේ ම මුළු බස් එකටම ඔයාව පේන නිසා අවුලක් වෙන්නේ නැහැ.
3. තමන්ගේ දේවල් ඇහැක් වගේ බලාගන්න

Image Source – blog.tortugabackpacks.com
බස් එකකට ගොඩ වෙන එක හොර විමානෙකට ඇතුළු වෙනවා වගේ. ඔය හොරුන්ව ආම්බාන් කරන්න කොන්දොස්තරටවත් ඩ්‍රැයිවර්ටවත් බැහැය කියලා ඉස්ටිකර් පවා බස්වල ගහලා තියනවා. ඉතින් බෑග්වල පුංචි පොකැට්ටුවලට කිසිම දෙයක් දාන්න යන්න එපා. පුළුවන් තරම් බෑග් එක තමන්ගේ පිටිපස්සෙන් නෙවේ ඉදිරියෙන් එල්ලගන්න බලන්න. හිටගෙන යන්න වෙන වෙලාවට එක එක හොඳ පුතාලා අපි ඉහින් කනින් එල්ලන් ඉන්න බෑග් ඉල්ලගන්නවා. ඊට පස්සේ හිමීට පර්ස් එකට විදිනවා. නින්ද යනවා නම් බෑග් එක තුරුළු කරගෙන නිදාගන්න. ලැප්ටොප් එකක් වගේ දෙයක් තියෙනවා නම් කවදාවත් ඒක බස් එකේ දෙපැත්තේ උඩින් හදලා තියෙන රැඳවුමේ තියන්න එපා.
4. සිදුවන අතවර සම්බන්ධයෙන් හඬ නගන්න

Image Source – blog.tortugabackpacks.com
කාන්තාවන්ට බස් එකේ දී සිදුවන අතවර වැඩි වැඩියෙන් වෙන්න හේතුව එහෙම දෙයක් වෙද්දී ඒ ගැන කියන්න තියෙන ලැජ්ජාවයි. ඒක හැබැයි කොන්දොස්තර තැනට හරි බස් එකේ කාට හරි කිව්වා නම් ලැජ්ජාව වෙන්නේ අහවල් අසහනකාරයට තමයි. මෙහෙම දෙයක් වෙනවා දැක්කා නම් ඒ වෙනුවෙනුත් කතා කරන්න හුරු වෙන්න ඕනි. හිටගෙන ඉන්න මනුස්සයෙක් හිරිකිතයක් නැතුව ඇඟේ ගෑවෙනවා නම් බස් එකේ කවුළුව ගාව ආසනයට යන්න තරම් හයියක් හැම කාන්තාවකටම තියෙන්න ඕනි. අඩුම තරමේ මේ දෙයින් තමන් අපහසුතාවට පත් වෙනවා කියලා පෙන්වන්න ඕනි. නැත්නම් ඕකුන් ඔළුව උඩත් නගිනවා ගානක් නැතුව.
5. බහින තැන ගැන අවධානයෙන් ඉන්න

Image Source – nationmultimedia.com
සමහරුන්ට බස් එකේ නැගලා හුළං පාරක් වැදුණ ගමන් නින්ද යනවා. තවත් සමහරුන්ට බහින තැන ගැන නිච්චියක් නෑ. අන්න ඒ වෙලාවට කොන්දොස්තර අයියව කලින් තියා දැනුවත් කරලා තියන්න ඕනි. සමහරවිට එයත් පිස්සු කෙලිනව ඕක අමතක කර දාලා. ඒ නිසා ළඟ ඉන්න කාට හරි කියන එකත් හොඳයි. ඔය දෙකම අවුල් යන්න තියන සම්භාවිතාව වැඩි නිසා ගූගල් දෙයියගේ පිහිට පතන්නත් පුළුවන්. ඉන්න තැනයි ගමනාන්තයයි දුන්නම එයා ලස්සනට පාර පෙන්නනවනේ. ළං වුණාම පොඩ්ඩක් ඉස්සරහට එන්න වෙනවා මැද පොල්ල අල්ලගෙන. නැත්තම් කොන්දොස්තරයි ඩ්‍රැයිවරුයි බනින්න පටන් ගන්නවා.
6. තදබදය වැඩි බස් මගහරින්න

Image Source – videoblocks.com
කුකුළු පැටව් ටිකක් පැක් කරලා වගේ එන බස් ඈත ඉඳන්ම පේනවා. අන්න ඒවට නගින්නැතුව ඊළඟ බස් එක එනකන් ඉන්න එක වඩාත් නුවණට හුරුයි. ඒකට හේතු කීපයක් බලපානවා. එකක් තමයි තමන්ගේ දේවල් අන්සතු වෙන්න තියන ඉඩකඩ වැඩිවීම. අනික් කාරණේ තමයි හුස්ම ගන්නවත් බැරුව මිනිස්සුන්ගේ දාඩියත් ඉවසා වදාරගෙන ඉන්න ටිකේ ජබර කලන්තයක් ඇති වීමේ ඉඩකඩ වැඩිවීම. මෙන්න මේ කාරණා නිසා තදබදය අඩු බස්වලට විතරක්ම නගින්න.
7. දෙයියන්ගේ නාමෙට නොවැටී ඉන්න බලන්න

Image Source – gopalbpatil44.blogspot.com
හවසට ඔපීසි ඇරුණම බස්වල සෙනග වැඩියි. ඉඳගන්න තැනක් ලැබෙනවා අඩුයි. ඉතින් බෑග් අරවා මේවා උස්සගෙන බස්වලට නගිද්දී පුළුවන් තරන් අඩුමකුඩුම බෑග් එක ඇතුළෙම තියන්න ඉඩ අරින්න. මොකද තියෙන්නේ අත් දෙකයි. එක අතකින් කොහේ හරි තදින් අල්ල ගන්න ඕනි. බස් යන විදියට වැටුණොතින් එහෙම මැහුම් දහයකට එහා ගහන්න වෙනවා. බෑග් එකයි, ෆෝන් එකයි, පර්ස් එකයි, ඉයර්ෆෝන් එකයි ඔක්කොම එළියට අරගෙන සර්කස් පෙන්නන්න යන්න එපා. වෙන රටවල පුළුවන් ඇති ඒත් මෙහේ නම් ඕවා බෑ මලේ.
Leave a Reply