රක්ෂණය ගැන අපි විවිධ අවස්ථාවල කතාකරල තියෙනව. තව කථා කරන්නත් තියෙනව. මොකද රක්ෂණය කියන්නෙ බොහොම ගැඹුරට කතාබහ කරන්න පුළුවන් මාතෘකාවක්. රථවාහන රක්ෂණ, ජීවිත රක්ෂණ, ගිනි හානි රක්ෂණ, සොර සතුරු ආවරණ වගේ හුඟක් රක්ෂණ ක්‍රම අතරේ මේ කතා කරන්න යන්නෙත් රක්ෂණයටම අදාළ මාතෘකාවක්. හැබැයි මෙහෙම රක්ෂණ ක්‍රමයන් මේ ලෝකයේ තියෙනවද කියලවත් හුඟක් දෙනෙක් දන්නෙ නැහැ. මේ හුඟක් ප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝවිට ඔවුන්ගේ වෘත්තියට අදාළව හෝ එහෙමත් නැත්තම් පෞද්ගලික කැමැත්ත මත තම තමන්ගේ ශරීරාංග ඉතා ඉහළ මිලකට රක්ෂණය කරපු අවස්ථාවන්. ඔව් එහෙම වෙන වෙනම ශරීරාංග රක්ෂණය කරන්න පුළුවන් අපි අහලවත් නැති වුණාට. ඉතින් බලමුකෝ මොනවද මේ විදිහට ඉහළ මිලකට රක්ෂණය වුණු ශරීරාංග කියල.
1. ඩේවිඩ් බෙකම්ගේ පාද
ඩේවිඩ් බෙකම් කිව්වම අහල නැති මනුස්ස පරාණයක්නම් මේ ලෝකයේ ජීවත් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ තරමටම ඔහු පාපන්දු ක්‍රීඩකයෙක් විදිහට මුළු ලෝකයේම ප්‍රසිද්ධ වෙලා ඉවරයි. දැනට පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම අරගෙන හිටියත් පාපන්දු ක්‍රීඩා සමාජ දෙකක සභාපතීත්වය දරණ බෙකම් ගේ දැනටත් ප්‍රධානම වෘත්තීය මේ පාපන්දු ක්‍රීඩාව. ඉතින් කකුල කියන්නෙ ඔහුගේ වෘත්තියේ වැදගත්ම අංගය කිව්වට වැරදි නැහැනෙ. කකුල් වලට මොනව හරි දෙයක් උනොතින් මුළු වෘත්තියම අහවරයි. මෙන්න මේ ගැන හිතල තමයි බෙකම් ඔහුගේ කකුල් ඉතා ඉහළ මිලකට රක්ෂණය කරල තියෙන්නෙ. හරියටම කිව්වොත් ඔහුගේ කකුල් දෙක ඇමරිකානු ඩොලර් මිලියන 70කට රක්ෂණය කරල තියෙනව. ලංකාවේ සල්ලි වලින් අපිට කියාගන්නත් අමාරු ගාණක්.
2. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පාද
රොනාල්ඩෝ කියන්නෙත් ඉතා ඉහළ ප්‍රසිද්ධියක් උසුලන පාපන්දු ක්‍රීඩකයෙක්. ඔහුගේ කතාවත් කලින් කිව්ව වගේම තමයි. රොනාල්ඩෝ කියන්නෙ ඉතාම දුගී පවුලක උපත ලබල පාපන්දු ක්‍රීඩාව නිසාම ලෝකයේම ප්‍රසිද්ධියට පත්වුණ වගේම ඉහළ ධන සම්භාරයකට හිමිකම් කියපු ක්‍රීඩකයෙක්. කුඩා කාලයේ පවුල කොයිතරම් දුප්පත්ද කියනවනම් රොනාල්ඩෝගේ මව වතාවක් සඳහන් කරල තියෙනව දුප්පත්කම නිසා තවත් දරුවන් හදන්න බැහැ කියල හිතිල රොනාල්ඩෝ ඉපදෙන්න කලින් ගබ්සා කරන්න පවා හිතූ බව. ඉතින් එහෙම කෙනෙකුට මේ තරම් දුරක් එන්න උදව් කරපු කකුල් දෙක කොයිතරම් නම් වටිනවා ඇතිද. අන්න ඒක නිසාම තමයි ඔහු ඔහුගේ පාද ඩොලර් මිලියන 144කට රක්ෂණය කරන්නෙ. කලින් කියපු බෙකම්ගේ පාද වගේ දෙගුණයකටත් ඉහළ මිලක් මේ.
3. ජෙනිෆර් ලෝපස්ගේ පසු පෙදෙස
මේකත් අපිට හිතාගන්නවත් බැරි අමුතු රක්ෂණයක්. ජෙනිෆර් එහෙමත් නැත්තම් J. Lo කියල කියන්නෙ ඇමරිකානු ජාතික ගායිකාවක්, ගීපද රචිකාවක්, නිළියක්, නර්ථන ශිල්පිනියක්. මේ සියලු හැකියාවන්ගෙන් පිරුණු ජෙනිෆර් ඇගේ ඉදිරිපත් කිරීම් වලදී ඇගේ පසු පෙදෙස අලංකාරවත් විදිහට භාවිත කරමින් නර්තනයේ යෙදෙනව. ඉතින් මේ ලස්සන පශ්චාත් භාගයට හානියක් උනොත් මොන අපරාදයක්ද කියල හිතලදෝ කොහෙද ඇය ඇගේ පසුපස පෙදෙස ඒ කියන්නෙ තට්ටම් රක්ෂණය කරනව ඇමරිකානු ඩොලර් මිලියන 300ක මුදලකට. අර කලින් කියපු ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයින්ගේ කකුල් වලටත් වඩා ඉහළ මිලකට හොඳේ.
4. රිහානාගේ පාද
රිහානා කියන්නෙත් ප්‍රසිද්ධ ගායිකාවක් සහ නිළියක්. ඇය ඇගේ දෙපා ඩොලර් මිලියන එකක මුදලකට රක්ෂණය කරල තියෙනව. ඒ හැබැයි කලින් කියපු පාපන්දු ක්‍රීඩකයින් ඔවුන්ගේ දෙපා රක්ෂණය කළා වගේ කාරණයකට නම් නෙමෙයි. රිහානා 2007 වසරේ ඇගේ දෙපා වල ලස්සන වෙනුවෙන් Gillette’s Venus Breeze Celebrity Legs of a Goddess award කියන සම්මානයෙන් පිදුම් ලබනව. මෙන්න මේ සම්මානයෙන් පස්සෙ තමයි ඇය තීරණය කරන්නෙ ඇගේ දෙපා රක්ෂණය කරන්න. ඒ ඇගේ දෙපාවල මේ තියෙන ලස්සන කවදාහරි අඩු වුණොතින් ඒ පාඩුව පියවාගන්න අරමුණින්.
5. හොලී මැඩිසන්ගේ පියයුරු
හොලී කියන්නෙ ඇමරිකානු ජාතික නිරූපණ ශිල්පිනියක්. ඉතින් ඇගේ වෘත්තීය සාර්ථකත්වයේ ලොකු කොටසක් ඇගේ පියයුරු හරහා සිදුවෙනවා කිව්වට වරදක් නැහැනේ. මෙන්න මේ නිසා තමයි හොලී මැඩිසන් තීරණය කරන්නෙ ඇගේ පියයුරු ඇමරිකානු ඩොලර් මිලියන එකක මුදලකට, ඒ කියන්නෙ එක් පියයුරුවක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලකට රක්ෂණය කරන්න. පියයුරු වලට යම් හානියක් සිදුවුණොතින් ඇයට වෘත්තියෙන් ඉවත්වෙලා අවම ටික කාලයක් හරි ඉන්න වෙන බවත් ඒ හානිය පියවගන්න මේ විදිහට පියයුරු රක්ෂණය කරන බවත් තමයි ඇය කියන්නෙ.
6. ඩේවිඩ් ලී රොත්ගේ ශුක්‍රාණු
මේ මොන එකක්ද කියලා හිතෙන්න පුළුවන් අමුතු රක්ෂණයක් තමයි මේක. රක්ෂණය කරල තියෙන දේ වගේම හේතුවත් මහා අමුතුයි. ඩේවිඩ් කියන්නෙ ඇමරිකානු ජාතික රොක් ගායකයෙක්, ගී පද රචකයෙක්. ඔහු Van Halen නම් ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයෙක්. මේ ඔක්කොම කාරණා තියෙද්දී ඔහු රක්ෂණය කරල තියෙන්නෙනම් ඔහුගේ සංගීත ජීවිතයට කිසිසේත්ම සම්බන්ධ නැති දෙයක්. මේක ශරීරාංගයක්ම කියන්නත් බැහැ. හැබැයි නැහැ කියන්නත් බැහැ. ඩේවිඩ් රක්ෂණය කරන්නෙ ඔහුගේ ශුක්‍රාණු. මේ විදිහට කරන්න ප්‍රධානම හේතුව විදිහට ඔහු සඳහන් කරන්නෙ හදිසියේ හරි ඔහුගේ අතින් ඔහුගේ රසිකාවියක් ගැබ් ගත්තොතින් දරුවාගේ පීතෘත්වය පිළිබඳ ඔහුට ඇතිවිය හැකි ගැටළුව වළක්වාගැනීමයි. නීතිමය කාරණා කොහොම උනත් මේක අළුත්ම විදිහේ රක්ෂණ ක්‍රමයක් කියල කියන්නත් බැරි නැහැ.
7. ට්‍රෝයිගේ කොණ්ඩය
ට්‍රෝයි (Troy Polamalu) කියන්නෙ ඇමරිකානු ජාතික පාපන්දු ක්‍රීඩකයෙක්. හැබැයි ඔහුනම් රක්ෂණය කරන්නෙ පාද නෙමෙයි. ඔහුගේ කොණ්ඩය. දැනට ඉහළම වටිනාකමෙන් යුතු කොණ්ඩය සහිත හිස හිමි පුද්ගලයා විදිහට ගිනස් ලෝක වාර්තාව දරන්නෙත් ඔහු. මේ කොණ්ඩය 2000 වසරෙන් පස්සෙ කපල නැහැ. ට්‍රෝයි මේ කොණ්ඩය නිසාම 2010 වසරේ Head & Shoulders ෂැම්පු සන්නාමයේ වෙළඳ දැන්වීම් වලට පෙනීසිටීම ආරම්භ කරල තියෙනව. ඔහුගේ මේ අපූරු කොණ්ඩයට වෙනම රසික රසිකාවියන් ඉන්න ෆේස්බුක් සමූහයකුත් තියෙනවා.
Leave a Reply