වෙළෙඳපොළ ක්‍රමයත් එක්ක භාණ්ඩ සහ සේවා නිෂ්පාදන වල ජනප්‍රියත්වය වැඩිකර ගැනීමට ප්‍රචාරණය කියන දේ අත්‍යවශ්‍යය දෙයක් බවට පත් වුණා. මේ ප්‍රචාරණය වඩාත් නිර්මාණශීලී සහ ආකර්ෂණීය මාධ්‍යයක් බවට පත් කිරීම දැන්වීම්කරණය එහෙම නැත්නම් අපි හැමෝටම හුරු පුරුදු වචනයෙන් කිව්වොත් ඇඩ්වර්ටයිසින් මගින් සිද්ධ වෙනවා. අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ ඇඩ්වර්ටයිසින් ක්ෂේත්‍රයේ මුද්‍රාවක් තියන්න සමත් වුණ චරිත කීපයක් පිළිබඳව.
1. රෙජී කන්දප්පා
ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ සිට දක්ෂ චිත්‍ර ශිල්පියකු වූ රෙජී කන්දප්පා සිය ශිල්ප ඥානය වෙනස්ම මාර්ගයක් තනාගැනීමට භාවිතා කරනු ලැබුවා. පසුව ලේක්හවුස් ආයතනයට එකතු වීමෙන් අනතුරුව වැඩිදුරටත් දැන්වීම්කරණය පිළිබඳව හැදෑරීමට ඔහු ඇමරිකා එක්සත් ජනපදය බලා ගියා. යළිත් ලංකාවට පැමිණි ඔහු විසින් Grant McCann Erickson ආයතනය ආරම්භ කිරීමට පියවර ගනු ලැබුවා. මේ ආයතනය හරහා නිර්මාණශීලී දැන්වීම්කරණය සිදුවුණා පමණක් නොව එම ක්ෂේත්‍රයේ සඳහා අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීමත් සිදුවුණා.
2. ආනන්ද තිස්ස ද අල්විස්
සිලෝන් ඩේලී නිව්ස් පුවත්පතේ ජනමාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස්, රෙජී කන්දප්පාගේ ග්‍රාන්ට්ස් ආයතනයේ දැන්වීම් රචකයෙකු ලෙස සේවයට එක්වුණා. පසුව තවත් බහුජාතික දැන්වීම්කරණ සමාගමක් වන වෝල්ටර් තොම්සන් ආයතනය ලංකාවේ දියත් කරන විට එහි ප්‍රධානියා බවට ඔහු පත් වුණා. ඒ අතරතුරදී සක්‍රීය දේශපාලනයට පිවිසුණු ඔහු ඩී අල්විස් ඇඩ්වර්ටයිසින් ඒජන්සි නමින් තමන්ගේම ඇඩ්වර්ටයිසින් ආයතනයක් ආරම්භ කරනු ලැබුවා. දැන්වීම්කරණය සහ දේශපාලනය යන අංශ දෙකෙන්ම ඔහු සාර්ථක වූ අතර පාර්ලිමේන්තුවේ කතානායක ධුරයත් කලක් ඔහු විසින් උසුලනු ලැබුවා.
3. අර්වින් වීරක්කොඩි
ලංකාවේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්තයක් ලෙස අර්වින් වීරක්කොඩි හඳුන්වාදීමට පුළුවන්. ජනමාධ්‍යවේදියෙකු ලෙස සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිසුණු අර්වින් වීරක්කොඩි සිය තරුණ වියේදීම තමන්ගේම දැන්වීම්කරණ ආයතනයක් ආරම්භ කිරීමේ අභියෝගය සාර්ථකව ජය ගනු ලැබුවා. ලංකාවට ජාත්‍යන්තර මට්ටමෙන් දැන්වීම්කරණ ක්‍රම ශිල්ප සහ තාක්ෂණය ඔහුගේ Phoenix Ogilvy ආයතනය හරහා හඳුන්වා දීමෙහි ගෞරවය අර්වින් වීරක්කොඩි හට නිතැතින්ම හිමි වෙනවා.
4. දිලිත් ජයවීර
ට්‍රයඩ් දැන්වීම්කරණ ආයතනය හරහා ලංකාවේ ප්‍රචාරණ කලාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වූ පුද්ගලයෙකු ලෙස දිලිත් ජයවීර හැදින්වීමට පුළුවන්. ඔහු යටතේ මාධ්‍ය ජාලයක් පැවතීමත් ඔහුගේ එම සාර්ථකත්වයට විශාල පිටුවහලක් වුණා. විශේෂයෙන්ම 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු සාර්ථකව මෙහෙයවීමේ ගෞරවය දිලිප් ජයවීර ප්‍රමුඛ ඔහුගේ ප්‍රචාරණ ආයතනයට හිමිවෙනවා.
5. ලීලාමනී ඩයස් බෙන්සන්
ලංකාවේ සන්ලයිට් සන්නාමය දේශීය නිවසට නැතිවම බැරි සන්නාමයක් වීම පිටුපස සිටින තැනැත්තිය වන්නේ ලීලාමනීයි. රූපවාහිනිය ලංකාවේ ජනප්‍රිය වෙමින් පැවතුණු වකවානුවක රූපවාහිනී වෙළඳ දැන්වීම්කරණය සඳහා මුල් පියවර ගනු ලැබුවේ ඇය විසිනුයි. ඇය Lintas දැන්වීම්කරණ ආයතනය ගොඩනැගීමට මුල් පිරූ අතර, ඒ හරහා ලංකාවේ තවත් ජනප්‍රිය දැන්වීම්කරණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනු ලැබුවා.
6. සන්ධ්‍යා සල්ගාදු
සාම්ප්‍රදායික වෙළඳ දැන්වීම්කරණයෙන් මිදී බිම් මට්ටමේ වෙළඳ ප්‍රචාරයන් සිදු කරමින් සන්නාම පාරිභෝගිකයින්ගේ හදවතට සමීප කිරීම සඳහා දියත් වුණු මුල්ම ආයතනය ලෙස Ogilvy Action හැඳින්වීමට පුළුවන්. අර්වින් වීරක්කොඩිගේ ඉල්ලීම පරිදි එහි මෙහෙයුම් කටයුතු සන්ධ්‍යා සල්ගාදු විසින් සිදු කරනු ලැබුවා. ලංකාවේ පෝලියෝ රෝගය තුරන් කිරීම ඇතුළු බොහෝ සාර්ථක ප්‍රචාරණ ව්‍යාපෘති රැසක් සාර්ථකව දියත් කිරීමට ඇය සමත් වුණා.
7. දිලීප අබේසේකර
කරුණාරත්න අබේසේකර මහතා ගුවන්විදුලි දැන්වීම්කරණය තුළ සිය සුවිශේෂී හඬ පෞරුෂය සහ නිර්මාණශීලීත්වය සනිටුහන් කරද්දී ඔහුගේ පුතු වන දිලීප අබේසේකර දැන්වීම්කරණය විෂය තුළින් සිය පියාව ද අභිබවා ගියා. දිලීපගේ වෙළඳ ප්‍රචාරණ උපක්‍රම තුළ අන් කිසිදු ආයතනයකටත් වඩා දේශීයත්වය මුසුව තිබීම සුවිශේෂී කාරණයක් වනවා.
අපි හිතනවා ලංකාවේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයෙහි දැවැන්ත චරිත කීපයක් ගැන යම් තාක් දුරකට හෝ ඔබව දැනුවත් කරන්න අපි සමත් වුණා කියලා. එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply