පාන්දර 6 වෙද්දිත් මාතර ටවුමට එලිය වැටිලා තිබුණේ නැහැ. පාන්දරම පින්නේ ම නැගිටලා මාතර බෝධියට පඬුරකුත් දාල ගමන ආරම්භ කරන්න ලෑස්ති වුනා. 6ට පමණ මාතර දුම්රිය ස්ථානයට යද්දිත් පොඩි අදුරක් පැතිරිලා තිබුනා. යාපනේට යන දුම්රිය පිටත්වෙන්නේ පාන්දර 6.20ට. ස්ටේශන් කැන්ටිමෙන් කෙටි කෑම ටිකක් අරගෙනම කෝචිචියට ගොඩ වුන එක හොඳට ගියා. දුම්රියේ කෑම ගන්නට තැනක් නැහැ. ඒ යාපන දුම්රිය ධාවනය වෙන්නේ සෙනසුරාදාට පමණයි. ඒක විශේෂ දුම්රියක් නිසා කෑම බීම වෙලෙන්දෝ වැඩිය දුම්රියට ගොඩවෙන්නේ නැහැ. ඒ නිසා කෑම කලින් අරගෙනම යන එක කෝකටත් හොදයි.
1. ලංකාවේ වැඩිම දුරක් යන දුම්රිය
මේ දුම්රිය තමයි දැනට ලංකාවේ වැඩිම දුරක් ධාවනය වන දුම්රිය. මේක විශේෂ දුම්රියක් වුනත් දැන් කලක් තිස්සේ මේ දුම්රිය සෙනසුරාදාට යාපනය බලා පිටත්වෙනවා. මේ දුම්රිය ගෙවායන මුලුදුර මාතර සිට යාපනය දක්වා කිලෝමීටර 554ක් පමණ වෙනවා. ඊට පසු වැඩිම දුරක් යන දුම්රිය වන්නේ මාතර සිට වව්නියාව දක්වා ගමන් කරන රජරට රැජින දුම්රිය . රජරට රැජින දුම්රියත් මාතර දුම්රිය ස්ථානයෙන්ම ආරම්භ වන දුම්රියක් වේ. එම රජරට රැජින දුම්රිය පසුගිය පෙබරවාරි මසදී සිය දුම්රිය ගමනේ පනස්වන වර්ෂය සමරන ලදී.
2. මාතර සිට කොළඹට
මුහුදුබඩ අසිරි සිරිය නෙතට හසුකර ගෙන ගමනක් යන්නේ නම් දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගය තරම් දර්ශනීය පලාතක් තවත් නැත. ගාල්ල දුම්රිය ස්ථානයට පිවිසෙන විට කවුලුවෙන් බැලූ විට ඈත පේන කොටු බැම්ම සමග වූ ඔරලෝසු කණුව දර්ශනය වේ. ගාලු බන්ධනාගාරය සමග ඇති ගාලු දුම්රිය ස්ථානය විශේෂිත එකකි. කොළඹ සිට මාතර බලා යන ඕනෑම දුම්රියක් ගාලු දුම්රිය ස්ථානයේදී ආපස්සට ගමන් කළ යුතුය. අප කණ්ඩායම ආසන තෝරාගන්නා විට ඒ ගැන අවධානය යොමු කොට ආසන තොරාගතිමු.
3. වෙරළබඩ නෙතගැටෙන දසුන්
උතුරේ තල් ගස් මුදුනේ තල් මල් කපා තෙලිදිය එකතුකරන මුට්ටි ගස් උඩ දැකගන්නට ලැබේ. දකුණේදී පොල් ගස්වල මල් කපා ඒ වටා බැදි විසාල මුට්ටි අපට හමු වේ. මේ මුට්ටිවලට එකතු වන තෙලිදිය රා කර්මාන්තයටත් අරක්කු සෑදීම පැණි සෑදීම හකුරු සෑදීම ආදී වැඩවලටත් යොදා ගනී. බෙන්තොට – පයියාගල සීමාවේදී ගස් එකිනෙක සම්බන්ධ කොට තැනූ රැහැන් මතින් පාන්දරම තෙලිජ්ජ මුට්ටි සොයා අනතුරුදායක ගමනක යෙදෙන රා මදින්නෝද දැකගත හැකිය. ඔවුහු අතුරේ යමින් ගස් කිහිපයක රා එකතුකරගෙන බසිති.ඒ රා ලී පීප්පවල බහා අරක්කු කර්මාන්තය වෙත යවති.
4. නගරබද පෙනුම
කොළඹ නගරාසන්න වනවිට කෙමෙන් කෙමෙන් පැල්පත් තීරු ආරම්භ වේ. පැල්පත් ජනයාට මුහුදු වෙරළ සහ දුම්රිය මග යනු ඔවුන්ගේ ගෙමිදුල මෙන් පුරුදු තැනකි. පැල්පත් පේලි පසුකරමින් පැමිණෙන දුම්රිය කොටුවට ආසන්න වනවිට අහස සිඹිමින් ඉහලට ඇදෙන ගොඩනැගිලි හමු වේ. ඒ පැල්පත් වාසීන් සිටින කොළඹ මැද වන්නට පිහිටි විශාල රෙසිඩන්ස් වල ගෙවන ජීවිතත් යනු එකම කොළඹ පිහිටි හාත්පසින්ම වෙනස් වූ පැතිකඩ දෙකකි.
5. පොල්වතු කෙත්වතු
දුම්රිය මග කුරුණෑගල පොල් ත්‍රිකෝණය හරහා යන බැවින් පොල් වතු මග දෙපස දර්ශනය වේ. කෙත්වතුනම් මාතර සිට යාපනය දක්වාම විටින් විට දර්ශනය වේ. පුත්තලම දෙසට කලක පටන් වැසි අඩු බව ප්‍රවෘත්ති වාර්තා තිබුණි. එසේ හෙයින්දෝ කුරුණෑගල දිසාවේ මග දෙපස තැන් තැන්වල පලාත් පිටින් වියලී ගිය ස්වභාවයක් ඇති තැන්ද දැකගැනීමට හැකි විය. පොල්ගහවෙල දෙස ගොයම් යාන්තම් පීදෙන වයසේ නිල්වන් කෙත්වතුය. අනුරාධපුර පනින විට සුනාමි භූතයා විසින් ලහි ලහියේ ගොයම් නෙළන යන්ත්‍ර දිස් වේ.
6. අනුරාධපුර පසුකර
අනුරාධපුර දුම්රිය ස්ථානයේදී විශේෂ දුම්රිය පෑ බාගයකට ආසන්න කාලයක් නවතා තැබේ. දීර්ඝතර මෙම ගමනේදී ඉන්ධන පුරවා ගැනීමත් දුම්රියට අවශ්‍ය ජලය සපයා ගැනීමත් අනුරාධපුර දුම්රිය ස්ථානයේදි සිදු වේ. සෙනසුරාදා දිනයක් වූ බැවින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ බැතිමතුන් පිරිසකි. කැන්ටිමට ගියද එහිද බැතිමතුන් පිරී ඉතිරී ගොසිනි.
7. යාපනය දක්වා
වව්නියාවෙන් පසු අලුත තැනූ ඉන්දීය මාර්ගයේ දුම්රිය හැටට හැටේ පිඹගෙන ඉදිරියටම ඇදේ. විටෙක දුම්රිය අවට ඇති භූමි දර්ශන පසුකරන වේගය බැලූවිට පැයට කිලෝමීටර සියයද ඉක්මවා යයි. මෙතෙක් දුම්රිය මග දෙපස සෑම තැනම තිබූ පොල් ගස් වෙනුවට මින් පසු තල් ගස් වැඩිපුර හමු වේ. දකුණු තිරයට සාපේක්ෂව දුම්රිය මග දෙපස හමුවන ජනාවාස ගණන උතුරේදී අඩුය.
දුම්රියේ චාරිකාව හාත්පස පරිසරය විඳගෙන යා හැකි කදිම විනෝද ගමනක් වන්නේ උඩරට මාර්ගයේදී පමණක්නොවේ. වෙනත් රටවල් හා සැලකූ කල ලංකාවේ දුම්රිය මාර්ග දෙපස පරිසරය සැබැවින්ම අයස්කාන්තය. ඉන්දියාවේ වන්දනාවේ ගොස් දීර්ඝ දුම්රිය ගමන් වල නිරත වූ අම්මලා පවසන පරිදි ඉන්දියාවේ දී ගමන් කරන දුම්රියේ රැයක් නිදාගෙන යළි එලි වී පාන්දර බලන විටද පෙනෙන දර්ශන පෙර දින බැලූ දර්ශන ආදිය වේ. අපේ ලංකාවේ ඇති දීර්ඝතම දුම්රිය ගමන වන මෙම මාතර යාපනය ගමන එසේ නොවේ. විවිධාකාර නගර ගම් දනව් සිසාරා කෙත්වතු පොල්වතු වගුරුබිම් වෙරළ වැලතලා මතින් ඇදෙන දුම්රිය සැබැවින්ම සිතට වෙනසක් ලබාගත හැකි ගමනකි.
Cover Image Source – Amila chathuranga
Leave a Reply