රසෙන් පිරුණු වොෆ්ල්ස් කන්න කොළඹ අවට තැන් කීපයක්!

සමහර අයට වොෆ්ල්ස් කිව්වහම ඒක තේරුමක් නැති වචනයක් වගේ දැනුනත්, වොෆ්ල්ස් කියන්නේ රස කෑමක් කියලා දන්න අය දන්නවා. සමහරු වොෆ්ල්ස් කාලා තියෙනවා, ගොඩක් අය වොෆ්ල්ස් ගැන අහලා තියෙනවා. ඔය හොලිවුඩ් ඩ්‍රාමා වල එහෙම පෙන්නන විදියට වොෆ්ල්ස් කියන්නේ සුටුස් ගාලා උදේ කෑමට හදාගන්න පුළුවන් හතරැස් රටාවක් තියෙන පෑන් කේක් වගේ ජාතියක්. වොෆ්ල්ස් වල නියම රහ තියෙන්නේ වොෆ්ල්ස් කන්නේ මොනවා එක්කද කියන එක මත තමයි. මී පැණි, ගෝල්ඩන් සිරප්, චොකලට් සිරප්, ක්‍රීම්, පළතුරු, මස් වර්ග, විවිධ සෝස් වර්ග වගේ ඕනෑම පැණි රස, කටදන රස දෙයක් එක්ක වොෆ්ල්ස් කන්න පුළුවන් වීම තමයි විශේෂත්වය. හරි, දැන් ගෙදර වොෆ්ල්ස් හදන එක වෙනම ප්‍රොජෙක්ට් එකක්නේ. ඊට වඩා ලේසියි පටන් ගැන්මට කොළඹ අවට වොෆ්ල්ස් කන්න තියෙන තැනකින් මුලින්ම රස බලලා ඉන්න එක. එහෙම රස වැටුනට පස්සේ පුළුවන් ගෙදරම වොෆ්ල්ස් හදාගන්න!

 

1. The Embazzy

කොළඹ මල් පාරේ තියෙන එම්බසි කැෆේ එක ඇත්තටම දැක්ක ගමන් හිතෙන්නේ මාරම ගාම්භීර විදියට ගිහින් කන්න ඕන ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට් එකක් කියලා. හැබැයි ඇත්‍තටම එහෙම නෑ. ෂෝටක් ගහගෙන වුනත් ගිහින් අතේ තියෙන ගාණට කෝපි එකක් බීලා එන්න පුළුවන් කම එම්බසි එකේ තියෙනවා. අපිත් දවසක් එම්බසි ගියා, විශේෂයෙන්ම වොෆ්ල්ස් කන්න. මාරම ලාබයි. කර කර ගාලා හැපුණේ නැතත් අපි ආස පදමට තිබුණා. ඒ වගේම මෙතන වොෆ්ල්ස් එක්ක අපේ හිතට ගැලපෙන ටොපින් එකක් තෝරගන්න පුළුවන්. මේපල් සිරප්, චොකලට් සෝස්, කැරමල් සෝස්, නුටෙලා, පැණි, පීනට් බටර්, ෆ්‍රෙෂ් ක්‍රීම්, ස්ට්‍රෝබෙරි, කෙසෙල්, අයිස්ක්‍රීම්, බෙරි, චීස්, චිකන් හැම්, චිකන් කරි, ෆිෂ් කරි, එළවළු වර්ග, පොල් සම්බෝල, සීනි සම්බෝල, බිත්තර වගේ ඕනම දෙයක් අපිට තෝරගන්න පුළුවන්.
දුරකථන අංක: 0112576027
තැන:

 

 

2. Waffle Queen

නමෙන්ම තේරෙනවනේ මොන වගේ තැනක්ද කියලා. ලංකාවේ වොෆ්ල් සීන් එකේ රජ කරන්න තමයි වොෆ්ල් ක්වීන් ඇවිත් තියෙන්නේ! කොහොම වුනත් මේක ගිහින් වාඩි වෙලා වොෆ්ල්ස් කන්න තැනක් නෙවෙයි. එක්කෝ කෙලින්ම කථා කරලා ඕඩර් එක දාලා ගිහින් අරගෙන එන්න ඕන. එහෙම නැතිනම් පික්මී ෆුඩ් වගේ සර්විස් එකකින් ගෙන්න ගන්න ඕන. හැබැයි මේ අයගේ වොෆ්ල්ස් සුපර් කොලිටි. මාරම රහයි. කර කර ගාලා හැපෙන වොෆ්ල්ස්. ඒ වගේම තමයි මිල ගණන් ගත්තොත් ඉතාමත්ම ලාබයි. කිතුල් පැණි එක්ක තියෙන වොෆ්ල් එක තමයි අපිට අල්ලලා ගියේ. හැබැයි පැණි රහට කැමති අයට වගේම මස් මාංස රහට කැමති, චීස් රහට කැමති, නිර්මාංශික ඔය ඕනම කෙනෙක්ට ගැලපෙන වොෆ්ල්ස් මෙතන තියෙනවා. මේප්ල් සිරප් වගේ ඔරිජිනල් වොෆ්ල් ටොපින් එකක් වගේම, පොල් සම්බෝල වගේ ශ්‍රී ලංකන් ටොපින් එකක් එක්ක වුනත් වොෆ්ල්ස් ගන්න පුළුවන් වොෆ්ල් ක්වීන් එකෙන්!
දුරකථන අංක: 0775928242
තැන:

 

3. Waffling

නමෙන්ම වොෆ්ල්ස් ගැන කියන කොළඹ තියෙන තවත් තැනක් තමයි මේ. කීප දෙනෙක්ට ගිහිල්ලා ඉඩ තිබුණොත් වාඩි වෙලා කන්න පුළුවන් හැව්ලොක් ටවුමේ තියෙන පුංචි, ඒත් සුවපහසු තැනක්. මෙතන අපේ සිත්ගන්නා සුළුම වොෆ්ල්ස් චොයිස් එක වුනේ යුනිකෝන් කියලා නම දාලා තිබුණු වොෆ්ල්ස් ප්ලේට් එක. ඇත්තටම ඒක කටට රහට වඩා ඇහැට රහ වෙන්න තමයි හදලා තිබුණේ. පාට පාට බලන්න ලස්සන වොෆ්ල්ස් කෑලි කීපයක් එක්ක අයිස්ක්‍රීම් ස්කූප් එකක් දාලා, චොකලට් සෝස් දාලා තිබුණු ඒ වොෆ්ල් එක කන්න කලින් ෆොටෝ ගන්න නොහිතුණොත් තමයි පුදුමේ. හැබැයි එහෙම පාට පාටට කලඑලියක් නැති වුනත්, ඕන නම් පරණ තාලෙට සිරප් සහ බටර් එක්කත් වොෆ්ල්ස් ප්ලේට් එකක් ගන්න පුළුවන්. එහෙම නැති නම් කටට සැරට කොච්චි ජෑම් සහ ක්‍රීම් චීස් එක්කත් වොෆ්ල්ස් ගන්න පුළුවන්. අන්තිමට අපි දැක්කේ මේ අය ගාවත් චීස් සහ පොල් සම්බෝල එක්ක වොෆ්ල්ස් තියෙනවා කියලා. බලනකොට පොල් සම්බෝල සහ වොෆ්ල්ස් කියන්නේ අලුත්ම ට්‍රෙන්ඩ් එකක්!
දුරකථන අංක: 0767177725
තැන:

 

4. Tea Blog

සාමාන්‍යයෙන් කොළඹ තියෙන බබ්ල් ටී ජොයින්ට් වල නානාප්‍රකාර බබ්ල් ටී වර්ග දකින්න ලැබුණත්, වෙන කෑම ජාති එහෙම බබ්ල් ටී ජොයින්ට් වල නැති තරම්. හැබැයි බේස්ලයින් පාරේ තියෙන ටී බ්ලොග් කියලා නම දාලා තියෙන බබ්ල් ටී පොට් එකේ බබ්ල් ටී වර්ග නම් තියෙන්නේ තුනක් හතරක් විතර තමයි. හැබැයි ඒකටත් එක්ක හරියන්න ඔය බර්ගර්ස්, සැන්ඩ්විච්, වොෆ්ල්ස් වගේ කෑම ජාති නම් ඇතුළත් කරලා තියෙනවා. හරි අපි ආවේ වොෆ්ල්ස් කන්නනේ. බබ්ල් ටී එකකුත් අනුපානෙට අරගෙන අපි ඕඩර් කළා වොෆ්ල්ස්. උණු උණුවේ මේසෙට ආපු වොෆ්ල්ස් හරිම මෘදු ගතියකින් තිබුණා. ලෝබ නැතුව දාපු අයිස්ක්‍රීම් සහ චොකලට් සෝස් එක්ක වැඩේ නැගලා ගියා. හැබැයි අර වෙන තැන්වල වගේ වොෆ්ල්ස් එක්ක තෝරගන්න ටොපින් වර්ග ගණනාවක් නම් මෙතන නෑ!
දුරකථන අංක: 0112676126
තැන:

 

5. The Chocolate House

මෙතන නමේම තියෙනවා නේද චොකලට් ගතිය? නම අහපු ගමන් අපිට හිතුණේ මේක අර විලී වොන්කගේ ෆැක්ටරිය ඇතුලෙ වගේ හැරුණු හැරුණු අත චොකලට් තියෙන තැනක් වෙන්න ඕන කියලා. ඇත්තටම මුලින්ම චොක්ලට් හවුස් පටන් ගත්තේ නානාප්‍රකාර චොකලට් ජාති පිරුණු වැල්ලවත්තේ චොකලට් කඩයක් විදියට. දැන් මේ අය රෙස්ටුරන්ට් ඇන්ඩ් කැෆේ එකකුත් පටන් අරගෙන. ඇත්තටම අපි මෙතනට ගියේ වොෆ්ල්ස් කන්න නෙවෙයි, මෙතන රෝල්ඩ් අයිස්ක්‍රීම් තියෙනවාය කියන ඔත්තුවට. හැබැයි අපි ආවේ වොෆ්ල්ස් ගැන කථා කරන්නනේ. අපරාදෙ කියන්න බෑ මේ අයගේ වොෆ්ල්ස් වුනත් චොකලට් පිරිලා තියෙන්නේ. වොෆ්ල්ස් වල වරදක් නෑ. චොකලට් අයිස් ක්‍රීම් සහ වයිට් සෝස් එක්ක, නුටෙලා සහ කෙසෙල් ගෙඩි සහ චොකලට් සෝස් එක්ක, තනිකරම නුටෙලා වලින් පොඟෝපු වොෆ්ල්ස් චොකලට් සෝස් එක්ක, ක්‍රිස්පි නුටෙලා සහ චොකලට් එක්ක මෙතනින් වොෆ්ල්ස් ගන්න පුළුවන්. චොකලට්ම දැකලා එපා වෙලා ඉන්න හාදයෙක්ට ඕන නම් බීෆ්, චිකන්, ටාකෝ මින්ස් බීෆ් කියන තුනෙන් එකක් එක්ක වොෆ්ල්ස් ගන්නත් පුළුවන්!
දුරකථන අංක: 0772330003
තැන:

 

6. So Café

අපි වොෆ්ල්ස් ගැන හොයනවා කියලා දැනගත්තු අපේ යාලුවෙක් දුන්නු ඔත්තුවක් ඔස්සේ තමයි අපිට මේ කැෆේ එක හම්බුණේ. ඇත්තටම කොළඹින් ටිකක් දුර හෝමාගම නගරයේ තමයි මෙතන තියෙන්නේ. මේක වොෆ්ල්ස්ම විතරක් විකුණන තැනක් නෙවෙයි. ෂෝට් කෑම ජාති වල ඉඳලා නැවුම් ෆෘට් ජූස්, ස්මූතීස්, ෂේක්ස් දක්වා දේවල් මේ කැෆේ එකෙන් ගන්න පුළුවන්. හැබැයි ඒ පැත්තේ යන වෙලාවක වොෆ්ල්ස් රහ බලන්න හිතුණොත් ඒකත් බය නැතුව මෙතනින් ඕඩර් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අයගේ චොක්ලට් අයිස්ක්‍රීම් එක්ක එන වොෆ්ල්ස් නම් ඉතාම රසයි. ගාණත් ඉතාම අඩුයි. මේ අය ගාව තියෙන්නේ බොහොම සුලභ ටොපින් වර්ග කීපයක්. වොෆ්ල්ස් එක්ක තෝරගන්න පුළුවන් අයිස්ක්‍රීම් වුනත් චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි සහ ෆෘට් ඇන්ඩ් නට් වලින් එහාට යන්නෙ නෑ. ඒත් මේ වගේ ගාණකට මේ වගේ රස වොෆ්ල් එකක් කන්න කොළඹින් ඈත තියෙන තැන්වලින් එකක් විදියට අපි So Café එක බය නැතුව රෙකමන්ඩ් කරනවා!
දුරකථන අංක: 0112857892
තැන:

 

7. Indulge Desserts Co.

කිරුළපන ස්ට්‍රැට්ෆර්ඩ් ඇවන්‍යු කියන්නේ අපිව මොහොතකට කොළඹ නරගයෙන් වෙන් කරලා අරගෙන කොබ්ල්ස්ටෝන් ගල් අල්ලපු පැරිසියේ කොණක කැෆේ, බූටික් ෂොප් පිරුණු පාරකට අරගෙන යන තැනක්. මේ පාර දිගට අපේ ප්‍රියතම කැෆේ සහ රෙස්ටුරන්ට් කීපයක්මත් තියෙනවා. මේ අතරින් එකක් තමයි කියන්නේ. අනෙක් කැෆේ වලට වඩා අලුත් මෙතනට අපි විශේෂයෙන්ම ගොඩවැදුනෙත් වොෆ්ල්ස් රස බලන්න. කියන්න සන්තෝසයි මිත්‍රවරුනි, අපේ බලාපොරොත්තු කඩ වුනේ නැහැ. මෙතන මිල ගණන් නම් ඒ තරම් සරල නැහැ. හැබැයි අපිට ඕන විදියට ක්‍රේප් හෝ වොෆ්ල් හෝ ඩබල් වොෆ්ල් එකක් තෝරගෙන, ඒකට විවිධාකාරයේ සෝස් හෝ ටොපින්ග්ස් වලින් එකක් තෝරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන තෝරාගන්න ලොකු පරාසයක, හැම තැනම දකින්න නැති ටොපින්ග්ස් තියෙන එකත් විශේෂත්වයක්. අනිත් එක, මෙතන වොෆ්ල්ස් වුනත් ඩිසර්ට් මෙනු එකට තමයි දාලා තියෙන්නේ. අපි දෙයියනේ කියලා කිට් කැට් වොෆ්ල් එකක් කාලා බැලුවා. කෑලි කරපු කිට් කැට් සහ අයිස්ක්‍රීම් එක්ක ආපු වොෆ්ල් එක ගැන කාටවත් දොසක් කියන්න නම් බෑ!
දුරකථන අංක: 0774466325
තැන:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *