අල්ලපු රටේ රසට චිකන් හදන ක්‍රම 5ක්

චිකන් කලාවේ ඉන්දියන් රස හොයාගෙන අද අපි ඉන්දියාවෙ ඇත්තො චිකන් හදන හැටි අරන් ආවා. නියම කුළුබඩු යොදාගෙන හදන මේ කරි වල රස හදල කාලම බලන්න වෙනවා. ලංකාවෙ ගොඩක් උත්සව වලදි හදන ඩිශ් ටිකක් තමයි මේ. හැමදාම වගේ මිරිසට උයලා කනවට වඩා මෙහෙම හදලා බලලා රස අපිටත් කියන්ඩෝ…

 

 

1. ඉන්දියන් ස්ටයිල් චිකන් ස්ටූ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් ග්‍රෑම් 500
  2. ලියාගත් ලොකු ළූණු ගෙඩි 2
  3. කපාගත් අල ගෙඩි 2
  4. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 2
  5. චොප්කරගත් සුදුළූණු බික් 4
  6. කපාගත් අමුමිරිස් කරල් 3
  7. කුරුඳු පොතු කෑල්ලක්
  8. කරාබු නැටි 3
  9. කරදමුංගු ඇට 2
  10. ගම්මිරිස්කුඩු ඇට ස්වල්පයක්
  11. කහකුඩු තේ හැඳි 1/4
  12. ගරම් මසාලා තේ හැඳි 1/2
  13. දියකිරි කෝප්ප 1/4
  14. මිටිකිරි කෝප්ප 1
  15. ගම්මිරිස්කුඩු හා ලුණු
  16. ගී
  17. කරපිංචා ස්වල්පයක්
  18. දෙහි යුෂ ස්වල්පයක්
  19. තෙල් මේස හැඳි 2

 

  • පෑන් එකකට තෙල් හා ගී දාගන්න. තෙල් රත්වෙනකොට කරපිංචා, කරාබු නැටි කුරුඳු පොතු, කරදමුංගු, ගම්මිරිස් ඇට දාලා තෙම්පරාදු කරගන්න. ඒකටම ඉඟුරු, සුදුළූණු, ලියාගත්තු ළූණු හා අමුමිරිස්  දාගන්න. කලවම් කරලා කහකුඩු දාලා නැවත කලවම් කරන්න. 
  • ගින්දර පොඩ්ඩක් අඩු කරලා චිකන් ටික දාගන්න. වහලා විනාඩි 8ක් විතර පිසගන්න. දියකිරි කෝප්පෙ දාගන්න.
  • හැඳිගාලා තවත් විනාඩි 5ක් වගේ තියලා ලුණු හා ගරම් මසාලා කුඩු එකතු කරන්න. 
  • මේකටම අල ටිකත් දාගන්න. අල තැම්බෙනකල් වහලා පිසගන්න. ඊට පස්සෙ මිටිකිරි ටික දාලා කරපිංචා එකතු කරන්න. දෙහි යුෂ ටික දාගන්න. ගම්මිරිස්කුඩු ඉහලා අඩු ගින්දරේ පැය කාලක් වහලා පිසගන්න. 

 

 

2. චිකන් ගසී (Chicken Ghassi)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

මැරිනේට් එකට 

 

  1. චිකන් ග්‍රෑම් 500
  2. දෙහි බෑයක යුෂ
  3. ඉඟුරු සුදුළූණු  පේස්ට් තේ හැඳි 1
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. ලුණු

 

පේස්ට් එකට

 

  1. ගාගත් පොල් කෝප්ප 1
  2. ගම්මිරිස් ඇට ස්වල්පයක්
  3. සූදුරු තේ හැඳි 1
  4. කොත්තමල්ලි තේ හැඳි 1
  5. උළුහාල් තේ හැඳි 1/2
  6. ලියාගත් ලොකුළූණු  ගෙඩි 1
  7. තෙල් ස්වල්පයක්
  8. වියළි මිරිස් කරල් 2

 

කරියට 

 

  1. තෙල් ස්වල්පයක්
  2. අබ තේ හැඳි 1
  3. කරපිංචා ස්වල්පයක්
  4. චොප්කරගත් සුදුළූණු  බික් 4
  5. චොප්කරගත් ලොකුළූණු ගෙඩි 1
  6. සියඹලා දියකරගත් වතුර කෝප්ප 1/2
  7. මිටිකිරි කෝප්ප 2

 

  • චිකන් වලට දෙහි යුෂ, ඉඟුරු සුදුළූණු  පේස්ට්, කහකුඩු හා ලුණු දාලා කලවම් කරලා පැයක් මැරිනේට් කරගන්න. 
  • පේස්ට් එකට පොල් ටික රන්වන්පාට වෙනකල් කබලෙ බැදගන්න. පොල් ටික අයින් කරල, ඒ පෑන් එකටම තෙල් ටිකක් දාලා සූදුරු ටික දාගන්න. 
  • සූදුරු පුපුරනකොට ගම්මිරිස් ඇට, කොත්තමල්ලි ඇට, උළුහාල් දාගන්න. අන්තිමට මිරිස් කරල් කඩලා දාගන්න. මේ ටික හොඳට බැදගන්න.
  • පොල් එක්ක බැදගත්ත පහේ ටිකයි ළූණු ටිකයිත් දාලා, වතුර කෝප්ප ¼ ක් දාලා හොඳට පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් කරිය හදන්න පෑන් එකකට තෙල් ටිකක් දාගන්න. ඊළඟට අබ ටික දාලා පුපුරනකොට කරපිංචා, සුදුළූණු දාන්න. ලියාගත් ළූණු ගෙඩියත් එකතු කරන්න. හොඳට තෙම්පරාදු කරගන්න. 
  • දැන් මැරිනේට් කරගත් චිකන් ටික එකතු කරන්න. මද ගින්නෙ විනාඩි 5ක් වගේ ෆ්‍රයි වෙන්න දෙන්න. මේකට හදාගත්තු පොල් පේස්ට් එක දාගන්න. වතුර කෝප්ප 1ක් එකතු කරලා කලවම් කරගන්න. 
  • චිකන් ටික මදගින්නෙ විනාඩි 10ක් පිස ගන්න. මේකට සියඹලා යුෂ හා පොල්කිරි ටික දාගන්න. චිකන් හොඳට තැම්බෙනකල් අඩු ගින්දරේ පිසගෙන ලිපෙන් බාගන්න. 

 

3. අචාරී චිකන් (Achari Murgh)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත් ක​ළ චිකන් ග්‍රෑම් 500
  2. කෑලි මිරිස් මේස හැඳි 1
  3. කහකුඩු තේ හැඳි 1
  4. තලාගත් ඉඟුරු මේස හැඳි 2
  5. ලුණු 
  6. ලියාගත් ලොකුළූණු ගෙඩි 2
  7. චොප්කරගත් සුදුළූණු බික් 10
  8. අබ තේ හැඳි 2
  9. උළුහාල් තේ හැඳි 1/2
  10. මහදුරු තේ හැඳි 1
  11. ගරම් මසාලා තේ හැඳි 1
  12. එළවළු තෙල් කෝප්ප 1
  13. වෙනම කපාගත් සුදුළූණු බික් 5
  14. ලියාගත් ඉඟුරු කෑලි 2
  15. පෙරුම්කායම් තේ හැඳි 1/4
  16. පොල් විනාකිරි කෝප්ප 1/2
  • චිකන් වලට කෑලිමිරිස්, චොප්කරගත් ඉඟුරු, සුදුළූණු, කහකුඩු හා ලුණු දාලා අතගාලා පැයක් මැරිනේට් කරගන්න. 
  • පෑන් එකකට අබ, මාදුරු, උළුහාල් ටික දාලා විනාඩි 5ක් කබලෙ බැදගන්න.  අන්තිමට මේකට ගරම් මසාලා ටිකත් දාලා කලවම් කරගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල්  දාලා  රත්වෙනකොට ලියාගත් ළූණු ටික දාගන්න. ළූණු හොඳටම බැදුනට පස්සෙ ඒ ටික අයින් කරලා චිකන් ටික දාලා පෑන් එකේ බැදගන්න. චිකන් අයින් කරලා ඒ පෑන් එකටම පෙරුම්කායම් හා කලින් බැදගත් කුළුබඩු ටික දාලා බැදෙන්න අරින්න. 
  • ඊළඟට කපාගත් සුදුළූණු හා ඉඟුරු ටික දාලා විනාඩි 3ක් පමණ තෙම්පරාදු කරගන්න. සුදුළූණු රන්වන්පාට වෙනකොට ලිප ඕෆ් කරගන්න. තෙල් ටිකක් නිවෙන්න තියලා පරිස්සමින් විනාකිරි එකතු කරගන්න. එකපාරට දාන්න එපා තෙල් විසිවෙන්න පුළුවන්. 
  • ඊළඟට බැදගත් චිකන් ටික දාලා කලවම් කරගන්න. බැදගත් ළූණු එකතු කරලා නැවත ලිපේ තියන්න. 
  • විනාඩි 15ක් විතර මදගින්නෙ පිසගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. හොඳටම ඉදුණම ලිපෙන් බාලා පැය 2ක් වහලා තියන්න. ජීවාණුහරණය කරපු බෝතල් වලට අසුරගන්න. මේක කල් තියාගන්න පුළුවන් චිකන් එකක්.

 

4. ධනියා චිකන් (Dhaniya Chicken)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් කිලෝ 1
  2. ලුණු හා ගම්මිරිස්කුඩු
  3. කොත්තමල්ලි කොළ කෝප්ප 1
  4. මින්චි කොළ කෝප්ප 1/4
  5. අමුමිරිස් කරල් 8
  6. ගාගත් පොල් කෝප්ප 1
  7. අමු කජු කෝප්ප 1 (වියළි කජු නම් උණුවතුරෙ පැය 1/2ක් දලා ගන්න)
  8. තලාගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 2
  9. කොත්තමල්ලි කුඩු තේ හැඳි 3
  10. සූදුරු කුඩු තේ හැඳි 1
  11. කරදමුංගු 5
  12. කරාබු නැටි 4
  13. මී කිරි කෝප්ප 1/2
  14. උළුහාල් තේ හැඳි 1
  15. රස අනුව ලුණු
  16. සූදුරු තේ හැඳි 1/2
  17. එළවළු තෙල් මේස හැඳි 4

 

  • චිකන් සෝදලා ලුණු හා ගම්මිරිස්කුඩු අතගාලා පැයක් තියන්න. 
  • කොත්තමල්ලි කොළ, මින්චි කොළ හා අමුමිරිස් කරල් 4ක් දාලා බ්ලෙන්ඩ් කරලා පේස්ට් එකක් හදාගන්න. 
  • ඒක අයින් කරලා ඒ බ්ලෙන්ඩර් එකටම පොල් හා කජු දාලා වතුර තේ හැඳි 3ක් දාලා බ්ලෙන්ඩ් කරලා වෙනම පේස්ට් එකක් හදාගන්න. 
  • චිකන් හදන භාජනය ලිපේ තියලා තෙල් මේස හැඳි 4-5ක් දාගන්න. තෙල් රත්වෙනකොට උළුහාල් හා සූදුරු ඇට දාගන්න. සූදුරු පුපුරනකොට ඉඟුරු සුදුළූණු එකතු කරන්න. හොඳට තෙම්පරාදු කරලා හදාගත් පොල් හා කජු පේස්ට් එක දාගන්න. 
  • විනාඩි 3ක් වගේ පිසගෙන කොත්තමල්ලි කුඩු හා සූදුරු කුඩු එකතු කරන්න. මදගින්නෙ පිසගන්න. ටිකකින් අඹරාගත් කොත්තමල්ලි කොළ පේස්ට් එක එකතු කරන්න. 
  • ගින්දර අඩු කරලා විනාඩි 10ක් විතර  වහලා තැම්බෙන්න දෙන්න. ඊළඟට චිකන් ටික එකතු කරන්න. රස අනුව ලුණු එකතු කරන්න. වහලා විනාඩි 5ක් තියන්න. 
  • මී කිරි ටික ගෑරැප්පුවකින් ගසාගන්න. මේක චිකන් එකට එකතු කරන්න. මද ගින්නෙ පැය 1/2ක් පිසගන්න. දැන් උඩින් කුඩුකරගත් කරදමුංගු හා කරාබු නැටි කුඩු ටිකක් ඉසගන්න. අමුමිරිස් කරල් 4ක් කරල පිටින්ම දාලා තවත් විනාඩි 5ක් තියලා ලිපෙන් බාගන්න. 

 

5. චිකන් 65

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත්ක​ළ චිකන් ග්‍රෑම් 500
  2. කෝන්ෆ්ලා මේස හැඳි 2
  3. බිත්තර 1
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  6. රතු කලරින් ස්වල්පයක් (කැමතිනම්)
  7. බැදීමට තෙල්

 

චිකන් 65 සෝස් එකට

 

  1. සූදුරු ඇට තේ හැඳි 1/2
  2. ලියාගත් ඉඟුරු තේ හැඳි 1/2
  3. ලියාගත් සුදුළූණු තේ හැඳි 1
  4. ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
  5. මිරිස්කුඩු තේ හැඳි 1/2
  6. සූදුරු කුඩු තේ හැඳි 1/2
  7. කපාගත් අමුමිරිස් කරල් 3
  8. චිලී ගාලික් සෝස් මේස හැඳි 2
  9. සීනි තේ හැඳි 1
  10. කරපිංචා කොළ 20 පමණ
  11. දෙහි යුෂ ස්වල්පයක්

 

  • චිකන් වලට කෝන්ෆ්ලා, බිත්තර 1, ඉඟුරු සුදුළූණු පේස්ට්, කලරින් ස්වල්පයක් දාලා කලවම් කරලා පැයක් මැරිනේට් කරගන්න. 
  • චිකන් ටික ගැඹුරු තෙලේ බැදගන්න. මේ තෙල් වලින් මේස හැඳි 4ක් වගේ පෑන් එකකට දාගන්න. පෑන් එක ලිපේ තියලා සෝස් එකට අවශ්‍ය ඉඟුරු, සුදුළූණු, සූදුරු ඇට හා කරපිංචා දාලා විනාඩියක් තෙම්පරාදු කරගන්න. 
  • මේකට ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු, සූදුරු කුඩු, අමුමිරිස් හා චිලී ගාලික් සෝස් දාලා හොඳට කලවම් කරගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. 
  • ටිකකින් බැදගත් චිකන් ටික දාලා හොඳට කලවම් කරගන්න. විනාඩි 2කින් විතර ලිපෙන් බාලා දෙහි යුෂ ටිකක් දාගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *