රසෙනුත් වැඩි ගුණෙනුත් වැඩි බණ්ඩක්කා රෙසිපි 7ක්

නම ඇහුවම පොඩි අය නම් ටිකක් අකමැති කෑමක් මේක. සමහර වැඩිහිටියොත් එච්චර කැමති එළවළුවක් නෙවෙයි. හැබැයි ගුණ නම් කියලා වැඩක් නෑ. ගොඩක්ම අස්ථි, කාටිලේජ ශක්තිමත් වෙන්න බණ්ඩක්කා සෑහෙන්න උදව් වෙනවා. ඒ හින්දා බණ්ඩක්කා කියන්නෙ අපේ කෑම වේලට එකතු කරගන්නම ඕන ගුණදායක එළවළුවක්. ඉතින් අද අපේ කතානායකයා බණ්ඩක්කා. 

 

1. බණ්ඩක්කා කරිය 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බණ්ඩක්කා 250g
  2. කපාගත් රතුළූණු ගෙඩි 6
  3. උකු පොල් කිරි කෝප්ප 1/2
  4. තුනපහ කුඩු තේ හැඳි 1/2
  5. කහ තේ හැඳි 1/4
  6. මිරිස් කුඩු තේ හැඳි 1/2
  7. අමුමිරිස් කරල් 3
  8. වතුර මේස හැඳි 3
  9. උළුහාල් ඇට 10
  10. කරපිංචා ස්වල්පයක් 
  11. ලුණු තේ හැඳි  ½
  12. තෙල් මේස හැඳි 1 

 

  • බණ්ඩක්කා හොඳින් සෝදා ගෙන හරහට කෑලි වලට කපාගන්න. කපාගත් බණ්ඩක්කා වලට රතුළූණු, තුනපහ,  කහ, කපාගත් අමුමිරිස්, උළුහාල්, වතුර හා කරපිංචා එක් කර හොඳට කලවම් කරන්න. 
  • භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා  සාදාගත් බණ්ඩක්කා මිශ්‍රණය එයට දාලා විනාඩි 3ක් විතර වැඩි ගින්දරේ බණ්ඩක්කා ටික තෙම්පරාදු කරගන්න.  දැන් ගින්දර මධ්‍යම ප්‍රමාණයට අඩු කරලා තව විනාඩි 2ක් පියන වහලා උයා ගන්න.
  • විනාඩි 2කට පස්සේ පියන ඇරලා පොල් කිරි ටික දාගාන්න. නැවත හොඳින් කලවම් කරන්න. පොල් කිරි දැම්මට පස්සේ ගින්දර වැඩි කරලා පොල් කිරි ටික නටනකන් ලිපේ තියල ලිපෙන් බාගන්න. 

 

2. බණ්ඩක්කා සුදුළූණු තෙම්පරාදුව 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලපටි බණ්ඩක්කා කරල් 6 ක් පමණ
  2. අමුමිරිස් කරල් 3
  3. තෙල් 
  4. කපාගත් ළූණු ගෙඩි 2
  5. කපාගත් සුදුළූණු බික් 3
  6. කරපිංචා ස්වල්පයක් 
  7. කහ ටිකක්
  8. කෑලි මිරිස් සැර අනුව
  9. ලුණු ස්වල්පයක් 
  10. දෙහි යුෂ ටිකක්

 

  • බණ්ඩක්කා පිරිසිදු කරගෙන අඟල් එකහමාරක විතර කෑලි කපා ගන්න. නැවත ඒවා එක කෑල්ලක් දිග අතට තීරු හයකට පමණ කපන්න. 
  • අමුමිරිස් සිහින්ව කපා ගන්න. තෙල් ටිකක් ලිපේ තියලා රත් වී ගෙන එද්දි  ඒකට කපාගත් සුදුළූණු, ළූණු, කරපිංචා, කහ හා කෑලිමිරිස් දාලා තෙම්පරාදු කරගෙන බණ්ඩක්කා හා අමුමිරිස් දාන්න. ටිකක් කලවම් කර බැදීගෙන එද්දි ලුණු ටිකක් එකතු කරන්න. හොඳට බණ්ඩක්කා තැම්බුනාම ලිපෙන් බා ගන්න. දෙහි යුෂ එක් කර කලවම් කරගන්න. 

 

3. බණ්ඩක්කා සලාද පිරවුම 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලපටි බණ්ඩක්කා කරල් 6
  2. රතුළූණු ගෙඩි 2 
  3. අමුමිරිස් කරල් 2 
  4. තක්කාලි ගෙඩි 1 
  5. ලුණු ස්වල්පයක්
  6. දෙහි යුෂ 

 

  • බණ්ඩක්කා ටික හොඳින් සෝදලා වතුර පිහිදලා ස්ටීම් කරගන්න. නැත්නම් බත් එක ඉදුණාට පස්සේ බත් එක උඩින් තියලා ඒ හුමාලෙන් ස්ටීම් කරගන්නත් පුළුවන්. විනාඩි 2 -3 ක් ස්ටීම් කරගෙන ස්ටීමරෙන් අයින් කරලා නිවෙන්න තියන්න. 
  • රතුළූණු, අමුමිරිස්, තක්කාලි පොඩියට කපාගන්න. ඒකට රස අනුව ලුණු හා දෙහි යුෂ එකතු කරන්න. හොඳින් කලවම් කරන්න.  
  • ස්ටීම් කරගත් බණ්ඩක්කා කරල් මැදින් පලාගෙන හදාගත් ළූණු සලාද ටික ටික මැදට පුරවා ගන්න. 

 

4. බණ්ඩක්කා ඔම්ලට් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බණ්ඩක්කා කරල් 8 
  2. බිත්තර 3
  3. තෙල් මේස හැඳි 1
  4. චොප්කරගත් සුදුළූණු බික් 2
  5. ලුණු ස්වල්පයක් 
  6. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  7. මොසරැල්ලා චීස් කෝප්ප 1/2

 

  • බණ්ඩක්කා කරල් හොඳින් සෝදා ගෙන හීනියට කපා ගන්න. දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා සුදුළූණු ටික දාලා විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න.  
  • ඊළඟට කපාගත් බණ්ඩක්කා ටික ඒකට දාගන්න. මද ගින්නෙන් විනාඩි 3-4ක් විතර පිසගන්න. ලුණු, ගම්මිරිස් දාලා කලවම් කගන්න.  
  • වෙනම බෝල් එකක් අරන් බිත්තර ටික හොඳට හැන්දකින් ගසා ගන්න.  දැන් බණ්ඩක්කා මිශ්‍රණය පෑන් එකේ තුනී කරගෙන ඒකට උඩින් බිත්තර ටික දාගන්න. අඩු ගින්නෙන් පිසගන්න.  විනාඩියක් විතර පියන වහලා තියන්න.
  • දැන් බණ්ඩක්කා ඔම්ලට් එක අනෙක් පැත්ත හරවා, ඔම්ලට් එක උඩින් මොසරැල්ලා චීස් අතුරගෙන චීස් මෙල්ට් වෙනකම් පියනකින් වහල විනාඩියක් දෙකක් විතර අඩු ගින්දරේ පිසගන්න. 

 

5. බැදපු බණ්ඩක්කා සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බණ්ඩක්කා කරල් 5  
  2. ලුණු ස්වල්පයක් 
  3. කහකුඩු තේ හැඳි 1/4
  4. සිහින්ව කපා ගත් ළූණු ගෙඩි 2
  5. සිහින්ව කපා ගත් අමුමිරිස් කරල් 3 
  6. තක්කාලි ගෙඩි 1  
  7. ගම්මිරිස් කුඩු ස්වල්පයක් 
  8. දෙහි යුෂ 
  9. තෙල්

 

  • බණ්ඩක්කා හෝදලා වතුර බේරුනාම අඟල් භාගයක් තරම් මහතට කපා ගන්න. ඒකට ලුණු, කහකුඩු දාලා හොඳින් කලවම් කරන්න. 
  • දැන් බණ්ඩක්කා ටික ගැඹුරු තෙලේ බැදගන්න. කොළපාට නැති වෙනකම් බදින්න එපා. කොළපාට ගතිය තියෙන්න බැදුනම තෙලෙන් ඉවත් කරගන්න.
  • වෙනම භාජනයක් අරන් කපාගත් ළූණු,  අමුමිරිස්, තක්කාලි, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, දෙහි යුෂ දලා හොඳින් කලවම් කරන්න.  
  • කෑමට පෙර ළූණු කලවමට බැදගත් බණ්ඩක්කා ටික එකතු කරගන්න. 

 

6. බණ්ඩක්කා තෙල් දැමීම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් බණ්ඩක්කා 400g
  2. කපාගත් ළූණු 120g
  3. උම්බලකඩ මේස හැඳි  2
  4. චොප්කරගත් සුදුළූණු තේ හැඳි  2
  5. මිරිස් කුඩු තේ හැඳි 2
  6. කහකුඩු තේ හැඳි 1
  7. තුනපහ තේ හැඳි 1
  8. තෙල් මේස හැඳි 4
  9. ලුණු කුඩු ස්වල්පයක් 
  10. කරපිංචා 
  11. රම්පේ
  12. කුරුඳු පොතු

 

  • සාමාන්‍ය ගින්දරේ පෑන් එකක් ලිපේ තියලා ඒකට බණ්ඩක්කා දාලා විනාඩි 3ක් විතර ලිපේ තියා ගන්න. විනාඩි 3 කට පස්සේ තෙල් මේස හැඳි 2 ක් දාගන්න.  විනාඩි 2 ක් විතර තෙම්පරාදු කරගන්න.
  • දැන් ඒකට සුදුළූණු හා කපාගත් ළූණු එකතු කරගෙන හොඳින් කලවම් කරන්න. ඒකට ඉතිරි තෙල් ටිකත් එක් කරගන්න.  
  • මේක විනාඩි 8ක් විතර තෙම්පරාදු කරගන්න. විනාඩි 8 කට පස්සේ ඒකට උම්බලකඩ, කරපිංචා, කුරුඳු පොතු, රම්පේ එක් කර හොඳින් කලවම් කරන්න. ටිකකින් මිරිස් කුඩු කහ කුඩු, තුනපහ කුඩු හා ලුණු එක් කර නැවත හොඳින් කලවම් කරන්න. විනාඩියක් දෙකක් ලිපේ තියල ලිපෙන් ඉවත් කරගන්න.

 

7. බණ්ඩක්කා පකෝරා 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බණ්ඩක්කා කරල් 12
  2. කඩල පිටි කෝප්ප 1/2
  3. පාන්පිටි කෝප්ප 1/2
  4. සුදුරු මේස හැඳි 1
  5. ලුණු කුඩු තේ හැඳි 1
  6. මිරිස් කුඩු තේ හැඳි 1/2
  7. කහකුඩු තේ හැඳි 1/4
  8. වතුර කෝප්ප ¾
  9. තෙල් 

 

  • බණ්ඩක්කා කරල් හොඳින් සෝදා තෙත හිඳගන්න. වෙනම බෝල් එකක් ගෙන එයට කඩල පිටි හා පාන්පිටි දාගෙන හොඳින් මිශ්‍ර කරන්න. ඒකටම සුදුරු,  ලුණු කුඩු, මිරිස් කුඩු, කහකුඩු දාලා හොඳින් කලවම් කරන්න. 
  • දැන් ටික ටික වතුර දාලා බැටර් එකක් එන විදිහට හොඳට මිශ්‍ර කරන්න. බැටර් එක ටිකක් ඝනකමට තියෙන්න ඕනා.  
  • දැන් බැටර් එක වහලා විනාඩි 30 ක් තියන්න. 
  • පෑන් එකකට තෙල් අඟලක් විතර පුරවගෙන හොඳින් රත්වෙන්න තියන්න. තෙල් රත් වුණාම බණ්ඩක්කා කරල් හදා ගත් බැටර් එකේ තවරගෙන තෙල් එකට දාලා රන්වන් පැහැවන තුරු බැදගන්න. (බණ්ඩක්කා හොඳට තැම්බෙන්න ඕන නිසා බැදගන්න ඕන අඩු ගින්දරේ)
  •  ගොඩක් ක්‍රිස්පි ගතියට අවශ්‍ය නම් බැදගත් බණ්ඩක්කා කරල් නැවත වරක් බැටර් එකේ දාලා බැදගන්නත් පුළුවන්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *