ජලයේ පාවෙන ලොව ප්‍රථම දුරකථනය

Worlds first mobile phone that floats

 

රටේ හතර වටේට ම කම්බි ඇදපු ස්ථාවර දුරකථන පරිච්ඡේදය අවසන් වෙලා ගඩොල් බාග දුරකථන යුගය ඇරඹුණාට ඒක අවසන් වුණේ ෆොටෝ ගන්න තිබුණු කැමරාව, සින්දු අහන්න තිබුණු රේඩියෝව, පින්තූර තිබුණු ඇල්බම්, රූප ගලාහැලුණු ටීවී මෙන් ම පරිගණකයත් අන්තර්ගත වුණු ස්මාර්ට් දුරකථන වලට ම පැමිණීමෙනුයි. ඒ කියපු දේවල් විතරක් නෙවෙයි, මොබයිල් ඩේටා සක්‍රීය කරපු වෙලාවට නම් ගෙදර ස්ත්‍රික්කයෙන් කෙරෙන රෙදි මැදිල්ලත් ෆෝන් එකෙන් ම කරගන්න පුළුවන්. මේ තරම් සංකීර්ණ දේවල් රැසක් සාක්කුවේ සහ අත්ලේ තබාගත හැකි ආකාරයට සැකසුණත් වෙළඳපොළ තරගය නිසා දිනෙන් දින නවතම ආකාරයේ ස්මාර්ට් දුරකථන ගැන අහන්න ලැබෙනවා. පසුගිය දිනවල අප්‍රසිද්ධ චීන දුරකථන සමාගමක් ඇඟිලි සලකුණු සංවේදකය දුරකථන තිරය මත ම පවතින ආකාරයේ ස්මාර්ට් දුරකථනයක් තැනූ අතර ක්වැල්කොම් සමාගම ද එවැන්නක් නිපදවා එය භාවිතා කිරීම සඳහා සියළුම දුරකථන සමාගම් වෙත අවස්ථාව සලසා දුන්නා.

නිවසින් බැහැර ගමනක් යනවා නම් දුරකථනය අතේ නැතිව ම බැහැ. අපි යන තැන්වල වැව්, ජලාශ නැති බව ගෙදරට කියලා ආවාට මොකද යාළුවෝ ටිකයි, විනෝදයයි, ගමන් මහන්සියයි එකතු වුණා ම මඩ කඩිත්තකට වුණත් පැනලා ගිනියම මකා ගන්නට හිතෙනවා. වතුරට බහින්නේ ම නෑ කියලා හිටියත් බලෙන් ම වතුරට ඇදලා දාගන්න යාළුවෝ ටිකක් ඉන්නවා නම් සාක්කුවේ හෝ සෙල්ෆි ගහමින් ඉඳිද්දී අතේ තිබුණු දුරකථනයට නම් දෙයියන්ගේ ම පිහිටයි. අඩි කිහිපයක් යටට ගිලුණත් ඇතුලට ජලය කාන්දු නොවන දුරකථන තනන්නට නිෂ්පාදන සමාගම් උනන්දු වුණාට ඒවා ගැලපෙන්නේ ඉහළ පැලැන්තියේ පිහිනුම් තටාකවලට මිසක් අඩි ගණන් ගැඹුරු අපේ ගංගා ඇළ දොළවලට නම් නෙවෙයි. මේ අතරේ ජලයට වැටුණත් ජලය කාන්දු නොවී ක්ෂණිකව උඩ ඉපිලෙන්නට සමත් දුරකථනයක් තාක්ෂණික ලොව පෙරැළියක් ඇති කළා.

Worlds first mobile phone that floats

Source – babab.net

කොමෙට් (Comet) ලෙස නම් කර ඇති මෙම අපූරු දුරකතනය නවීන තාක්ෂණික අංගෝපාංග රැසකින් සමන්විත වෙනවා. ගිගාගර්ට්ස් 2ක අධි වේගවත් ක්වැල්කොම් ස්නැප්ඩ්‍රැගන් 810 කෝර් 8 සකසුවක්, ගිගාබයිට් 4ක අතථ්‍ය මතකයක් (රැම්) අන්තර්ගත මෙහි අඟල් 4.7ක සුපැහැදිලි AMOLED තිරයක් තිබෙනවා. මෙම මූලික හැකියාවන්ගෙන් පිරිපුන්ව ආකේතන පද්ධතියකින් ද යුතු මෙය අයිෆෝන් 6S සහ ගැලැක්සි S6 එජ් දුරකථනවලටත් වඩා වැඩි වේගවත් බවකින් සමන්විතයි. කොමෙට්හි ඔබේ සියළුම ගොනු, දුරකථන ඇමතුම් සහ පණිවිඩ තෙවන පාර්ශවයකට මැදිහත් විය නොහැකි පරිද්දෙන් රහස්‍යගතභාවයට පත් කරනු ලබන නිසා පෞද්ගලිකත්වය මුළුමුනින් ම රැකෙනවා. නව ඇපල් දුරකථනය මෙන් ම ජෙට් බ්ලැක් නම් ඇසට ප්‍රිය කළු වර්ණයෙන්, රන් පැහැයෙන් සහ සුදු පැහැයෙන් යුතු කොමෙට් දුරකථන අභ්‍යන්තර ධාරිතාව අනුව ද ගිගාබයිට් 32, 64 සහ 128 වශයෙන් මාදිලි තුනකින් යුක්ත යි.

2013 ජුනි මාසයේදී ඇතිවුණු අදහසක් අවුරුදු ගණනක් තිස්සේ අත්හදා බලමින්, ආකෘති තනමින් සහ ගතවූ කාලය අනුව ලොව හඹාගිය නව තාක්ෂණික අංගෝපාංග වලට ද අනුරූපී වෙමින් කොමෙට් මෙසේ කරලියට එන්නේ නව නිපැයුම් කරුවකු සහ ඉංජිනේරුවකු වන ප්‍රශාන්ත්, විකුණුම් අලෙවිකරණ අංශයේ හොඳ දැනුමැති ජෙරාඩ් සහ ගැරත් යන තුන් කට්ටුවගේ ප්‍රධානත්වයෙන් ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙනුයි.

Worlds first mobile phone that floats

Source – elhedonista.es

කොමෙට් වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට ලොව පුරා මිලියන 82.5ක්වූ ස්මාර්ට් දුරකථන ප්‍රමාණයක් ජලය නිසා අක්‍රීයවී ඉවතලන්නට සිදුව ඇති අතර දියරමය ද්‍රව්‍ය හැලීමෙන්, අධික ජලවාෂ්ප ප්‍රමාණයක් ඇති ස්ථානවලින් සහ ජලාශ්‍රිත ස්ථානවලින් මෙම තත්වයන් උදාවී තිබෙනවා. නමුත් කොමෙට් ජලය මත පාවෙමින් ජලය කාන්දු වීම නවතමින් IPx7 යන ඉහළ ගුණාත්මක බවකින් යුක්ත තත්වයට හිමිකම් කියන නිසා ජලය නිසා දුරකථනයට භීතිකාවන් ඇති වන්නේ නම් නැහැ. ජලය කාන්දු නොවන බව දැනගත්තාම හැමෝම කල්පනා කරන්නේ වතුර යට පින්තූර ගන්නට යි. කොමෙට් සතු මෙගා පික්සල 16ක ඉදිරිපස සහ පසුපස අති ප්‍රබල ද්විත්ව කැමරා නිසා ඉහළ ගුණාත්මක බවකින් යුක්තවූ සාමාන්‍ය ඡායාරූප මෙන් ම සෙල්ෆි, පැනොරාමා ආදී විවිධ ප්‍රකාරයන්ගෙන් යුක්ත ඡායාරූප ගැනීමට හැකි වෙනවා.

Worlds first mobile phone that floats

Source – concept-phones.com

විනීත නව්‍ය පෙනුමකින් කොමෙට් දුරකථනය සැලසුම්කොට තිබෙනවා. නවතම ගැලැක්සි S7 දුරකථනයේ මෙන් ම තිරය දෙපස දාර නොසිටින සේ සහ දුරකථන බඳෙහි දාර කවාකාරව පවතින සේ සකසා ඇති නිසා සාම්ප්‍රදායික ස්මාර්ට් දුරකථන විලාසිතාවෙන් එය ඔබ්බට පිය නගනවා. විශේෂයෙන් බෝට්ටුවක් වැනි හැඩයෙන් යුතු නිසා එහි ඉපිලීමේ හැකියාව ඉහළ ගොස් තිබෙනවා. සුපැහැදිලි ශබ්ද ගෙන එන ඉහළ තාක්ෂණයකින් යුත් පසුපස ඇති පුළුල් ස්පීකරය මෙහි වැදගත් අංගයන් බවට පත් වන්නේ 2800mAh ක අධි බලයකින් යුක්ත බැටරිය නිසා සාමාන්‍ය භාවිතයෙන් දින එකහමාරක් පමණ පවත්වාගත හැකි බැටරියකට හිමිකම් කියමිනුයි. සිරුරේ උෂ්ණත්වය හඳුනාගෙන ඊට අනුව ඔබ දරන හැඟීම හඳුනාගෙන LED බල්බ හරහා වර්ණමය ප්‍රතිචාර දක්වන කොමෙට් හරියට ඔබේ හොඳම මිත්‍රයෙක් වගේ හදවතට සමීප වෙන්නට උත්සාහ දරනවා. ගිගාබයිට් 32 අභ්‍යන්තර ධාරිතාවයෙන් යුත් දුරකථනය ඇ.ඩො. 385ක් එනම් රුපියල් පනස් නවදහසක් පමණ මිලෙන් ඇරඹෙන මේ කොමෙට් දුරකථන නව හඳුන්වාදීමක් ලොවට ගෙන එන්නේ අනෙකුත් දුරකථන නිෂ්පාදන වලට හොඳ තරගයක් ලබාදෙමින්.

 
Source – pricepony.com.ph
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *