ස්මාට්වොච් එකක් ගන්න කලින් හිතන්න ඕන කාරණා මේවා තමයි!

දැන් කාලේ අපේ හැම දෙයක්ම ස්මාට් වෙලා තියෙන්නේ කියලා කියන එක බොරුවක් නෙවෙයිනේ. අපේ හැම දෙයක්ම කිව්වේ, අපි පාවිච්චි කරන ගැජට් බැජට් ගැන. එහෙම නැතුව ඉතින් මිනිස්සු පොදුවේ ස්මාට් වෙලාද කියන එක වෙනම වෙලාවක කතා කරන්න ඕන කාරණාවක්. කොහොම නමුත් අපි මේ වෙනකොට පාවිච්චි කරන ෆෝන් එකේ ඉඳන්, කුස්සියේ තියෙන ෆ්‍රිජ් එක දක්වා දේවල් ස්මාට් වෙලා තියෙනවා. එතකොට අතේ බඳින ඔරලෝසුවත් අනිවාර්යයෙන්ම ස්මාට් වෙලා තියෙන්න එපැයි. ඉතින් සමහර ස්මාට්වොච් තියෙනකොට ආයෙ ස්මාට්ෆෝන් එකක් වුවමනා වෙන්නෙත් නැති තරම්. හැබැයි දැන් ජනප්‍රිය වෙලා තියෙන ගොඩක්ම ස්මාට්වොච් හරියට ස්මාට්ෆෝන් එකත් එක්කම ක්‍රියාත්මක වෙන විශේෂ උපාංග වගේ. වෙලාව බලනවට වඩා අතිශයින්ම ඉහළ වැඩකටයුතු ප්‍රමාණයක් ඉෂ්ට කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගැජට් පාවිච්චි කරන කෙනා ස්මාට් නම්, ස්මාට්වොච් එකකින් සෑහෙන්න වැඩකටයුතු ප්‍රමාණයක් ඉෂ්ට කරගන්න වගේම, තමන්ගේ එදිනෙදා ජීවිතය සෑහෙන්න පහසු කරගන්නත් පුළුවන්.

 

හරි, ඔය හැමදේටම කලින් ස්මාට්වොච් එකක් ගන්න එපැයි. ආන්න එතනදී පොඩ්ඩක් හිතලා බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අන්න එහෙම ස්මාට්වොච් එකක් ගන්න කලින් හිතලා බලන්න ඕන දේවල් ගැන තමයි මේ කතා කරන්නේ?

 

1. මම මොනවද මේකෙන් කරන්නේ?

මේක තමයි හිතලා බලන්න ඕන මුලින්ම. ඒ කියන්නේ මම ගන්න ස්මාට්වොච් එකේ තියෙන්න ඕන වැඩකෑලි මොනවද කියන එක නෙවෙයි, මම ගන්න ස්මාට්වොච් එකෙන් මම ඇත්තටම ගන්න බලාපොරොත්තු වෙන වැඩ මොනවද කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ඕන ෆීචර්ස් හිතුවොත් ඒවා තියෙන ස්මාට්වොච් එකක් මේ කපේට ගන්න ලැබෙන එකක් නෑ. කොහොම හරි කරලා ගත්තත්, ඇති වැඩක් වෙන එකකුත් නෑ. හැබැයි අපිට පාවිච්චි කරන්න වුවමනා වැඩ කිඩ තියෙන ස්මාට්වොච් එකක් හරි වෙන ස්මාට් අතේ බඳින උපාංගයක් හරි ගත්තොත්, ඒකෙන් අපේ බජට් එක ඉතුරු වෙන ගමන් අවශ්‍ය වැඩ ටික කරගන්නත් හැකි වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා හිතලා බලන්න තමන්ට වුවමනා වැඩ මොනවද කියලා. උදාහරණයක් විදියට කිවුවොත්, අපිට වුවමනා ෆිට්නස් ට්‍රැකින් වලටයි, වෙලාව බලාගන්නයි විතරක් නම්, ඒකට ස්මාට්වොච් එකකට යන්න අවශ්‍ය නෑ. ඊට වඩා ෆිට්නස් බෑන්ඩ් එකක් ප්‍රමාණවත් වෙයි. 

 

මීට අමතරව ඉතින් සිංදු අහන්න පුළුවන් හැකියාවේ ඉඳලා මැප් එක බලාගන්න එක දක්වා විවිධාකාරයේ හැකියාවන් සහ පහසුකම් ස්මාට්වොච් එකක් එක්ක ලැබෙනවා. හැබැයි ඉතින් ඒවා කරගන්න ඇත්තටම ස්මාට්වොච් එකක් ඕනෙද කියලා තමයි හිතලා බලන්න ඕන.

 

2. වොච් එකක්ද? ට්‍රැකර් එකක්ද? ට්‍රැකර් වොච් එකක්ද?

උඩ කියපු කාරණාව එක්ක බලන කොට, ස්මාට්වොච් එකක් ගන්න කලින්, මේ ෆිට්නස් බෑන්ඩ් සහ ස්මාට්වොච් වල වෙනස තේරුම් බේරුම් කරගෙන ඉන්න එක හොඳයි. ෆිට්නස් බෑන්ඩ් එකක ඇත්තටම මෙහෙයුම් පද්ධතියක් එන්නෙ නෑ. ෆිට්නස් ගැන හිතන මතන අයට හොඳින්ම ගැලපෙන ෆිට්නස් ට්‍රැකර් එකකින් කරන්නේ, අපිට ශරීරයට අවශ්‍ය ව්‍යායාම, එතකොට අපේ හෘද ස්පන්දන වේගය වගේ දේවල් මොනිටර් කරන එක තමයි. සමහර ෆිට්නස් බෑන්ඩ්ස් වල අපේ නින්ද එහෙමත් මොනිටර් කරනවා. ඊට වඩා සීරියස් වැඩ ඒකෙන් කරන්න බෑ.

අනික් අතට ස්මාට්වොච් එකක මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. ෆෝන් කෝල්ස් ගන්න පුළුවන්. අඩු ගාණේ කෝල්ස් වලට ආන්සර් කරන්න පුළුවන්. ෆෝන් එකට එන මෙසේජස්, නෝටිෆිකේෂන් බලාගන්න පුළුවන්. ඒකේ තියෙන විවිධ ඇප්ස් වලින් වැඩ කරන්න පුළුවන්. ඒ අතරේම, ෆිට්නස් ට්‍රැකර් එකකින් කරන දේවල් ටික කරගන්නත් පුළුවන්.

 

ඔය අතරේ, ස්මාට්වොච් විදියට සලකන්න පුළුවන්, හැබැයි හයි-එන්ඩ් ස්මාට්වොච් එකක තරම් වැඩ කෑලි නැති උපාංගත් තියෙනවා.

 

3. පාවිච්චිය

සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ ඕනම ෆිට්නස් ට්‍රැකර් බෑන්ඩ් එකක් වුණත්, ස්මාට්වොච් එකක් වුණත් ස්ප්ලෑෂ් රෙසිස්ටන්ට්, වෝටර් රෙසිස්ටන්ට්, ඩස්ට් රෙසිස්ටන්ට් වගේ සම්මතයන් එක්ක එන්නේ. ඒ කියන්නේ වතුර ඉහිරුණාට අවුලක් නෑ, වතුර යට පාවිච්චි කළාට අවුලක් නෑ, දූවිල්ලෙන් අවුලක් නෑ. හැබැයි ඉතින් ඒ විතරක් මදි. ඔය රෙසිස්ටන්සි තිබ්බට, සමහර ලොකු ගණන් දීලා ගන්න ස්මාට්වොච් එකක් පහසුවෙන් හානි වෙන්න පුළුවන් වැටීම් වගේ දේවල් වලින්. ආන්න ඒ නිසා, පොඩ්ඩක් බලන්න ඕන තමන්ගේ පාවිච්චිය කොහොමද කියලා. රළු පාවිච්චියක් නම් තියෙන්නේ, තමන් ගන්න හිතන ස්මාට්වොච් එකේ මුහුණත වීදුරුවේ අමතර ආරක්ෂක වීදුරුවක් වත් තියෙනවද කියලා බලන එක හොඳයි. 

 

4. ෆෝන් එකත් එක්ක වැඩද?

මේකත් සෑහෙන්න හිතන්න ඕන කාරණාවක්. මොකද, වර්තමානයේ දකින්න ලැබෙන ගොඩක් ස්මාට්වොච් වැඩ කරන්නේ ස්මාට්ෆෝන් එකත් එක්ක. සාමාන්‍යයෙන් ගොඩක් Samsung, Garmin, Fitbit, Huawei වගේ බ්‍රෑන්ඩ් වලින් එන ස්මාට්වොච් වලට වෙනත් ඕනම බ්‍රෑන්ඩ් එකක ස්මාට්ෆෝන් එකක් එක්ක වැඩ කරන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. ඒ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති විතරක් නෙවෙයි, iOS එකත් එක්ක වුණත් ඒවාට වැඩ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ස්මාට්වොච් එකට අදාළ ඇප් එක ස්මාට්ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. අනික් අතට, ඇපල් වොච් එකක් එහෙම ගත්තොත්, අනිවාර්යයෙන්ම තමන් ගාව අයිෆෝන් එකක් හරි ඒ වගේ වෙන ඇපල් උපාංගයක් හරි තියෙන්න ඕන. මොකද, ඇපල් වොච් ඇන්ඩ්‍රොයිඩ් එක්ක වැඩ කරනවා හොරයි.

 

ආන්න ඒ නිසා තමන්ගේ ස්මාට්ෆෝන් එකත් එක්ක තියෙන සම්බන්ධතාවයත් මෙතනදී හිතන්න වෙනවා.

 

5. බැටරි ලයිෆ්

ඇත්තටම දැන් කාලේ ස්මාට්වොච් එකක් ගන්නවා නම්, හරිම ස්මාට් විදියට හිතන්න ඕන කාරණාවක් තමයි මේක. ඒකට හේතුව, ඉස්සර අපි දැකපු ස්මාට්වොච් විතරක් නෙවෙයි, වර්තමානයේදී අපි දකින ගොඩක් වැඩ කිඩ තියෙන ස්මාට්වොච් වර්ගත් ඒ තරම් හොඳ බැටරි ලයිෆ් එකක් ලබාදෙන්නෙ නැති නිසා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දවසකට දෙකකට සැරයක් චාර්ජ් කරන්න වෙනවා. අපි පාවිච්චි කරන ස්මාට්ෆෝන් එකක් වුණත් අපි දිනපතා චාර්ජ් කරනවා තමයි. හැබැයි ඊට අමතරව ස්මාට්වොච් එකත් දවසකට දෙහෙකට සැරයක් චාර්ජ් කරන්න වෙන එක අමතර කරදරයක් විදියට දැනෙන්න පුළුවන් ලේසියෙන්ම. ඇත්තටම ඒ නිසා වර්තමානයේ නවීන ස්මාට්වොච් වල මේ බැටරි ලයිෆ් කියන එකත් සෙලින්ග් පොයින්ට් එකක් විදියට නිෂ්පාදකයෝ පෙන්නනවා. ඉතින් තමන්ගේ අවශ්‍යතාවයේ හැටියට තමයි බැටරි ලයිෆ් ගැන හිතන්න ඕන. උදාහරණයක් විදියට ස්මාට්වොච් එකෙන් ලොකුවට වැඩ ගන්න අවශ්‍ය නැතිනම්, හැබැයි හොඳ බැටරි ලයිෆ් එකක් අවශ්‍ය නම් ඔය Huawei වගේ බ්‍රෑන්ඩ් එකක සමහර ස්මාට්වොච් සති ගණන් බැටරි බහින්නෙ නැතුව තියෙනවා. ඉතින් අවශ්‍යතාවයේ හැටියට ඒ ගැන හිතන්න පුළුවන්.

 

6. ස්ට්‍රැප්ස් සහ පෙනුම

ස්මාට්වොච් එකක් ගන්නවා නම් ඇත්තටම පෙනුමත් වැදගත්. ඇයි? දැන් අපි අතේ බඳින ඔරලෝසුවක් ගන්න ගියත් ඒකේ පෙනුම ගැන හිතන්නෙ නැද්ද? හිතනවනේ. ආන්න ඒ වගේ තමයි. ස්මාට්වොච් වල සාමාන්‍යයෙන් එක බ්‍රෑන්ඩ් එකක් ගත්තහම, ඒ බ්‍රෑන්ඩ් එක ඇතුළේ ස්මාට්වොච් ස්ටයිල්ස් ලොකුවට නෑ. වැඩිම වුණොත් තුන හතරක් තියෙයි. හැබැයි ඒවලිනුත් තමන්ගේ අතේ පෙනුමට ගැලපෙන එකක් තෝරගන්න වෙනවා. මොකද ස්මාට්ෆෝන් එකක් කියන්නේ ෆැෂන් එකට අදාළ දෙයක් නොවුණට, අතේ බඳින ස්මාට්වොච් එකක් ෆැෂන් වලට අදාළයි. අඩු ගාණේ අනික් අඳින ඇඳුම් වලටවත් ඒක මැච් වෙන්න ඕන. ඒ නිසා අපි ගන්න ස්මාට්වොච් එකේ පෙනුම වගේම, සයිස් එකත් අපේ අතට සහ පෙනුමට ගැලපෙනවද කියලා හිතන්න ඕන.

 

දැන් මේ පෙනුම කියන එකට සෑහෙන බලපාන දෙයක් තමයි ස්මාට්වොච් එකේ පටි හෙවත් ස්ට්‍රැප්ස්. සමහර ස්මාට්වොච් එක්ක අමතර පාට වල හෝ මෙටීරියල් වල ස්ට්‍රැප්ස් එකක් දෙකක් එනවා. ඒ නැතත් ඉතින් හැම ස්මාට්වොච් එකකටම වගේ අමතර ස්ට්‍රැප්ස් ඔන්ලයින් මිලදී ගන්නත් තියෙනවා. 

 

7. බජට් එක

අන්තිමට ඉතින් කොහොම කළත් අපේ බජට් එක ගැනත් හිතන්න වෙනවනේ. අපි උඩින්ම කියපු විදියට අපි ගන්න අවශ්‍ය ෆිට්නස් බෑන්ඩ් එකක්ද නැතිනම් ස්මාට්වොච් එකක්ද කියලා තීරණය කිරීමේම ලොකු මිල ගණන් වෙනසක් තියෙනවා. හැබැයි ඊට අමතරව ෆිට්නස් බෑන්ඩ්ස් විතරක් ගත්තත් ඒවා අතරත් ලොකු මිල ගණන් වෙනසක් තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, බේසික් ෆිට්නස් බෑන්ඩ් එකක් රුපියල් 5,000 කට ගන්න පුළුවන් වෙනකොට, තව ෆිට්නස් බෑන්ඩ් එකක් රුපියල් 30,000 ක් වෙන්නත් පුළුවන්.

 

සාමාන්‍යයෙන් ස්මාට්වොච් ගත්තහම එහෙම අතිවිශාල මිල ගණන් වෙනසක් නෑ. ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් ඒවල එහෙම මිල ගණන් අතිවිශාල වෙනස් වීමක් නෑ. හැබැයි ඉතින් හැකියාවන් අනුව මේ මිල වෙනස් වෙනවා. ඒ ඇරෙන්න අති සුඛෝපභෝගී කියලා සලකන්න පුළුවන් ඇතැම් ස්මාට්වොච්, ලිමිටඩ් එඩිෂන් ස්මාට්වොච් එහෙම ලක්ෂ ගණන් වෙන අවස්ථාත් තියෙනවා.

 

අවශ්‍ය නම් බේසික් ලෙවල් හොඳ ස්මාට්වොච් එකක් වුණත් ඉතාම දැරිය හැකි මිලකට ගන්න පුළුවන්.

 

මේ ඇරෙන්න තව දෙයක් කියන්න ඕන. ස්මාට්වොච් එකක් ගන්න කියලා හිතලා පොඩි සර්ච් පාරක් දැම්මහම සමහර වෙලාවට රුපියල් පන්දාහට හයදාහටත් ස්මාට්වොච් තියෙනවා කියලා ඇඩ්ස් දකින්න ලැබෙනවා. හැබැයි ඉතින් ලොකුවට තේරුමක් වෙන එකක් නෑ. ස්මාට්වොච් එකක් ගන්න සල්ලි වියදම් කරනවා නම්, බ්‍රෑන්ඩඩ් ස්මාට්වොච් එකකට යන්න කියලා තමයි අපි අවසානයට කියන්නේ. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *