ලංකාවේ ජනප්‍රිය ගම් නගරවලට නම් හැදුණු හැටි

අපේ රටේ ගම් සහ නගර වල නම් හැදුණු විදිය ගැන අපූරු කතන්දර රාශියක් අහන්න ලැබෙනවා. සමහර කතා සියවස් ගණනාවක් තිස්සේ පිළිගැනීමට ලක්වූවත් ඓතිහාසික සහ වාග් විද්‍යාත්මක සාධක එක්ක බලද්දී ඒ ඇතැම් පිළිගැනීම් වැරදියි කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒත් මේ ජනප්‍රවාද සහ කතන්දර අපේ සංස්කෘතියට අපූරු චමත්කාරයක් එකතු කරනවා. එහෙමනම් වැඩි කතාබහක් නැතුව අපි ගම් කීපයක නම් හැදිච්ච විදිහ ගැන හොයාගෙන යමු.

 

 

1. බළන්ගොඩ

බොහෝ විද්වතුන්ගේ මතය වෙන්නේ බළන්ගොඩ ප්‍රදේශයට නම ලැබෙන්නේ සෙබළුන් ගොඩක් රැස්ව සිටි ප්‍රදේශය යන අර්ථය සහිතව බවයි. ඇතැම් පුරා කතා වලට අනුව පළවෙනි රාජසිංහ රජුගේ සේනාවේ සෙබළුන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ රැස්ව සිටින ආකාරය දුටු ගැමියෙක් සෙබළුන් ගොඩක් යැයි පැවසූ බවත්, ඒ ඇසුරෙන් මේ ප්‍රදේශයට බළන්ගොඩ නම ලැබුණු බවත් කියවෙනවා.

 

 

2. මොරටුව

සිංහල රජ සමයේ දී මෙම ප්‍රදේශයේ මුර කපොල්ලක් පැවතීම නිසා මුර අටුව තිබුණු ප්‍රදේශය මොරටුව ලෙස නම් කෙරුණු බව ජනප්‍රවාදයෙහි කියවෙනවා. ඇතැම් තැන්වලදී මොර ගස් බහුල වීම නිසා මේ නම ලැබුණු බව කියවෙනවා. එසේම මෝර මත්ස්‍යයන් මෙම ප්‍රදේශයේ බහුල වීම මේ නමට හේතුවූ බවටත් තවත් සමහර තැන්වලදී කියවෙනවා.

 

 

3. කොල්ලුපිටිය

උඩරට සිංහල රජුට එරෙහිව කැරැල්ලක් දියත් කළ අඹන්වෙල රාළ නම් පුද්ගලයෙකු පිටුවහල් කිරීම නිසා ලන්දේසීන් වෙතට පැමිණ ජීවත් වීමට පටන්ගෙන තිබෙනවා. ඒ අතරතුර කාලයේදී ලන්දේසීන් සමග හිතවත් වූ ඔහු වර්තමාන කොල්ලුපිටිය ප්‍රදේශය එහි වාසය කරන ජනතාව පළවා හරිමින් තමන් භාරයට ගෙන තිබෙනවා. එම නිසා එම ජනතාව කොල්ලයෙන් ගත් ප්‍රදේශ යන අර්ථය දෙන කොල්ලුපිටිය යන නම එම ප්‍රදේශයට යෙදූ බව කියැවෙනවා. කෙසේ නමුත් ඇතැම් විද්වතුන් නම් කියන්නේ  එම ප්‍රදේශයේ අතීතයේ කොල්ලු ශාකය බහුල වීම නිසා මේ නම ලැබුණු බවයි.

 

 

4. කොළඹ

බොහෝ ඓතිහාසික මූලාශ්‍ර වල වගේම අන්තර්ජාල මූලාශ්‍ර වල කොළඹ ප්‍රදේශයට නම ලැබුණේ දේශගවේෂක ක්‍රිස්ටෝපර් කොලොම්බස් සිහිපත් කිරීමට වන මතයක් සඳහන් වනවා. මේ නිසාම බොහෝ දෙනෙක් එම මතය නිවැරදි බවට විශ්වාස කරනවා. නමුත් මේ මතය සම්පූර්ණයෙන්ම වැරදියි. පැරණි සාහිත්‍යයේ කොළඹ යන පදය යෙදී ඇත්තේ වරාය යන අර්ථයෙනුයි. ඒ නිසා වරාය පැවතුණු ප්‍රදේශය කොළඹ ලෙස හැඳින්වීම සිදුව ඇති බව විශ්වාස කරන්න පුළුවන්.

 

 

5. සියඹලාණ්ඩුව 

මේ ප්‍රදේශයට නම ලැබිලා තියෙන්නෙ මහ අමුතුම ආකාරයකට. මේ ප්‍රදේශයේ මුල් නම වෙන්නේ සියඹලන් දූවයි. සියඹලා ගස් මේ ප්‍රදේශයේ බහුලව හමු වීම නිසයි ඒ ආකාරයේ නමක් ව්‍යවහාර වෙලා තියෙන්නේ. නමුත් ඉංග්‍රීසි බසින් ප්‍රදේශයේ නාම පුවරු වල ලියවිලා තියෙන්නේ Siyabalanduwa විදිහට. මේ නම වැරදියට උච්ඡාරණය කිරීම නිසයි සියඹලාණ්ඩුව කියන්න ව්‍යවහාරය ඇතිවෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ වෙනකොට සියඹලාණ්ඩුව කියන ව්‍යවහාරය  අපේ රටේ පැළපදියම් වෙලා ඉවරයි.

 

 

6. කුණ්ඩසාලේ

කුණ්ඩසාලේ නම හැදුණු හැටි ගැන පැරණි කතාවක් පහත පරිදියි. 

ශනි ග්‍රහයා සහ ගුරු ග්‍රහයා අතර සිදුවන ග්‍රහ යුද්ධයකදී පහර කෑමට ලක් වන ශනි ග්‍රහයාගේ කුණ්ඩලාභරණය මහ පොළොව මත පතිත වන බව දුටු බ්‍රහ්මණයන් ගණනාවක් ලංකාවට පැමිණ කූඩාරම් ගසාගෙන තිබෙනවා. එහිදී එක්තරා බ්‍රාහ්මණයෙක් කුණ්ඩලාභරණය පොළොව මත පතිත වන තැන නොව එම ආභරණය බිම පතිත වීමෙන් පසුව විසික් වී වැටෙන තැන කූඩාරම ගසා ගන්නට කටයුතු කර තිබෙනවා. මේ නිසා එම ස්ථානයේ සිටි බ්‍රාහ්මණයාට කුණ්ඩලාභරණයේ අයිතිය හිමිව තිබෙනවා. එතැන් පටන් තමයි මෙම ප්‍රදේශය කුණ්ඩසාලය බවට පත්ව තිබෙන්නේ.

 

 

7. මීගමුව

ඉතිහාස පොත්වල සඳහන් වන විදිහට දුටුගැමුණු කුමාරයාව පිළිසිඳ ගැනීමෙන් පස්සේ විහාර මහා දේවියට දොළදුක් කීපයක් ඇතිවෙලා තියෙනවා. ඉන් එකක් වෙන්නේ සුවිශාල මීවදයක මී පැණි මහා සංඝයාට පූජාකොට අවසානයේදී ඒ මී පැණි ආහාරයට ගැනීමයි. මේ සඳහා සුවිශාල මී වදයක් අවශ්‍ය වුණු අතර අවසානයේ මේ මී වදය හමුවී තිබෙන ප්‍රදේශය මීගමුව ලෙස හැඳින්වෙන්න පටන් ගත් බව සඳහන් වෙනවා.

 

එහෙම නම් ඔබේ ගමට නම හැදුණු හැටි ගැන කියන කතාව අපිත් එක්ක කමෙන්ට් එකකින් බෙදා ගන්න ගමන් මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.