Lifie Car Review – රෙනෝල්ට් ක්විඩ් (Renault Kwid)

ඔන්න අදත් ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න ඕනෙ නිසා රිවීව් කරන්න ගෙනාවේ රෙනෝල්ට් ක්විඩ් කියන වාහනය. ඇල්ටෝ එකට බොහෝ සෙයින් සමානකම් තියෙන, ඇල්ටෝ එකට තරගයක් දෙන්න ඇල්ටෝ එක ගෙන්නන සමාගමෙන්ම ගෙන්නන තව වාහනයක් තමයි ක්විඩ් කියන්නේ. 2015 අවුරුද්දේ තමයි මේ වාහනය ප්‍රථම වතාවට නිෂ්පාදනය කරන්න පටන් ගන්නේ. මේ වාහනේ ගැන විශේෂ දෙයක් කියන්න ඕන. ඒ තමයි පෙනුමෙන් මේ කාර් එක SUV එහෙම නැත්නම් Sport Utility Vehicle එකක් විදිහට නිර්මාණය වීම. දැනට ලංකාවේ මාර්කට් එකේ තියෙන බජට් වාහන පන්තිය නියෝජනය කරන එකම SUV පෙනුමට සමාන පෙනුමක් තියෙන එකම වාහනය ක්විඩ් එක පමණයි. හැබැයි වැරදි වැටහීමක් ගන්නෙපා. අපි මේ කියන්නේ පෙනුම ගැන විතරයි. Performance සහ Specs ගැන නෙමෙයි. හරි එහෙනම් පුරුදු විදිහට වැඩේට බහිමු. ඊට කලින් කියන්න ඕනෙ. මේ වාහනේ ඔටෝ මැනුවල් මොඩල්ස් දෙකම තියෙනවා. ඒ වගේම 800 එන්ජින් එකක් තියෙන මොඩල් එකක් වගේම 1000 එන්ජින් එකක් තියෙන මොඩල් එකකුත් තියෙනවා. ඒ ටිකත් මතක තියාගෙනම වැඩේ පටන් ගමු.

 

 

1. ඔප්ෂන්ස් (OPTIONS)? 

බොහෝ දුරට ඇල්ටෝ එකට සමාන ඔප්ෂන් තමයි මේ වාහනෙත් එන්නේ. නමුත් ඉහ​ළ ග්‍රේඩ් වලට සමහර අතිරේක ඔප්ෂන්ස් එහෙමත් දීල තියෙනවා. මුලිකවම ෆුල් ඩිජිටල් මීටර් පැනල් එක. ​ඒකේ fuel Level Indicator එකත් ඩිජිටල් විදිහට නිර්මාණය කරලා තියෙනවා වගේම fuel consumption එකත් පෙන්නුම් කරනවා. අනිත් විශේෂ දේ තමයි 7” ඩිස්ප්ලේ එකක් තියෙන ප්ලේයර් එකකුත් එනවා. ඇල්ටෝ එක වගේම ඉදිරිපස විතරක් පවර් ෂටර්ස් පහසුකම තියෙනවා. තව  ඉහල ග්‍රේඩ් වලට රිමෝට් කී, සෙන්ට්‍රල් ​ලොකින්ග් සිස්ටම්, ෆොග් ලාම්පු වගේ දේවලුත් එනවා.

 

 

2. ආරක්ෂාව?

ඩ්‍රයිවර් සයිඩ් එකට එයාර් බෑග් එකක් එක්ක තමයි දැන් එන හැම මොඩල් එකම එන්නේ. ඒ වගේම කලින් කිව්වා වගේ සෙන්ට්‍රල් ​ලොකින් එහෙමත් ඒ ඉහ​ළ ග්‍රේඩ් වල තියෙනවා. නමුත් ආරක්ෂාව සම්බන්​ධයෙන් බැලුවොත් මේ වාහනේට ASEAN NCAP ටෙස්ට් එකෙන් අගය ලැබිල තියෙන්නේ බින්දුවක් විදිහට. ඒ කියන්නේ තරු පහෙන් තරු බින්දුවයි. ඉතින් ආරක්ෂාව සම්බන්​ධයෙන් එච්චර සැහීමකට පත් වෙන්න බෑ. නමුත් ගොඩක් අය කියන්නේ ඒ ගා​ණට මහා ලොකු ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ කියල තමයි. නමුත් පහෙන් බින්දුවයි කියන්නේ ටිකක් හිතට අවුල් නේද?

 

 

3. තෙල් කාර්යක්‍ෂමතාව?

ලංකාවේ පාරවල් වල සාමාන්‍යයෙන් ලීටරයකට කිලෝමීටර් 17-20 අතර කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒක සාපේක්ෂව හොඳ කාර්යක්ෂමතාවයක් හැටියට ගන්න පුළුවන්. ඉන්ධන ටැංකියේ ධාරිතාව ලීටර් 28 ක් වෙනවා. ඒ නිසා ඉන්ධන කාර්යක්‍ෂමතාවය පැත්තෙන් නම් මේ වාහනේ සාපේක්ෂව හොඳ තැනක ඉන්නවා කියල කියන්න පුළුවන්. 

 

 

4. එන්ජින් එක?

එක මොඩල් එකක් 799cc ක ධාරිතාවක් සහිතව DOHC  සිලින්ඩර් තුනේ MPFi එන්ජින් එකක් එක්ක එනවා වගේම තව මොඩල් එකක් 998cc ක ධාරිතාවක් සහිතව DOHC  සිලින්ඩර් තුනේ MPFi එන්ජින් එකක් එක්ක එනවා. මේ මොඩල්ස් වලින් 998 එන්ජින් ධාරිතාවය එක්ක විතරක් ඔටෝ ගියර් මොඩල් එක ගන්නත් පුළුවන්. ඒ වගේම මේ වාහනේ 5 SPEED ගියර් සිස්ටම් එකක් එක්ක තමයි එන්නේ. සාමාන්‍ය පෙට්‍රල් තමයි භාවිතා වෙන ඉන්ධන වර්ගය. ඉතින් එන්ජින් එක සම්බන්​ධයෙන් නම් පාරිභෝගිකයාට තේරීමක් දීල තියෙනවා ඒක හොඳ දෙයක්. නමුත් එන්ජින් එකේ පිටත සද්දේ නම් ටිකක් වැඩියි. නමුත් ​ඒක ඇතුලට ඒ තරමටම ඇහෙන්නේ නෑ. මේ එන්ජින් එකම තමයි Dastan Redi- Go වාහනේටත් එන්නේ.

 

 

5. පිටත පෙනුම?

පිටත පෙනුම ගැන කතා ක​ළොත් මූලිකවම ඉන්ට්‍රෝ එකේ කිව්වා වගේ SUV පෙනුමක් තියෙන විදිහට තමයි මේ වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒක තමයි විශේෂම දේ. ඒ නිසාම පොළොව සහ වාහනය අතර උස හොඳ තත්ත්වයක තියෙනවා. ඒ උනාට එන්ජින් සම්ප් එක (SUMP) ප්ලාස්ටික් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අවදානමක් තියෙනවා වල ගොඩැලි උඩින් යද්දී සම්ප් එකට හානි වෙන්න. ඒ වගේම මේ වාහනේ රෝද වාහනේට සවි වෙන්නෙ ඇණ තුනකින්. ඒ නිසා සාමාන්‍ය මාර්කට් එකේ තියෙන ඇලෝයි වීල් මේ වාහනේට සවි කරන්න බැහැ. ඊට අමතරව වාහනය වර්ණ පහකින් තෝරාගන්න හැකියාව තියෙනවා. 

 

 

 

6. ඇතුලත පෙනුම?

ඇතුලේ පෙනුම නම් කිසිම විශේෂත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඉතාම සාමාන්‍ය ඇතුලත පෙනුමක් තමයි තියෙන්නේ. අඩුපාඩුවක් විදිහට ඇතුලේ ඉඩ සාපේක්ෂව අඩුයි කියන්න පුළුවන්. අනික පිටිපස්සේ සීට් එකේ බෙල්ට් එක ඔටෝ ඇතුලට එතෙන්නේ නැහැ. එක පොඩි අඩුපාඩුවක්. ගොඩක් තැන් වල කතා වෙලා තිබුනා වැස්ස දවස් වලට වාහනේ ඇතුලට වතුර එන කතාවක්. ඒ වගේ දෙයක් නම් කොහෙත්ම අනුමත කරන්න පුළුවන් අඩුපාඩුවක් නෙමෙයි. 

 

 

7. මි​ල?

මේ වාහනේ බේසික් මොඩල් එක ලක්ෂ 28ක් විදිහට මිල කරලා තිබුනට ඩිස්කවුන්ට් එකක් මේ දවස් වල දෙනවා ලක්ෂ පහක. එතකොට ඔයාට හිතෙනවා නේද වාහනේ සේල්ස් වල පොඩි පසුබෑමක් ඇති වගේ අදහසක්. අපිටත් එහෙම හිතෙනවා. කොයි හැටි උනත් මේක ලක්ෂ 28 කට නම් වටින්නේ නැති වාහනයක් කියන එක තමයි කියන්න වෙන්නෙ. එකට හේතුව මේකේ තියෙන පොඩි සහ ලොකු අඩුපාඩුකම්. ඒ මොනාද කියල ඕනෑතරම් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන්. නමුත් ලක්ෂ 23 කට නම් (ඩිස්කවුන්ට් එක නිසා) ලොකු ගැටළුවක් නැහැ කියන්නත් පුළුවන්. කොහොම උනත් පාවිච්චි කරන ගොඩක් අය වාහනේ හොඳයි කියන එක තමයි කියන්නේ. අවසානයේ අපිට එන්න පුළුවන් නිගමනය තමයි මේ වාහනේ කියන තරම් හොඳකුත් නැති, කියන තරම් නරකකුත් නැති වාහනයක් කියන එක.

 

අපේ පරණ කාර් රිවීව් ලිපි පහත ලින්ක් වලින් කියවන්න!

Lifie Car Review – පෙරොඩුවා ඇක්සියා (Perodua Axia)

Lifie Car Review – ටොයෝටා විට්ස් 2018 (Toyota Vitz)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *