හොල්මන් දඩයම් කරන සුපර්නැචුරල් හන්ටර් කෙනෙක් වෙමුද? මෙන්න ඕන කරන බඩු ලැයිස්තුව!

දැන් මේ ලෝකේ හොල්මන්, අවතාර, පිසාචයෝ, භූතයෝ වගේ සුපර්නැචුරල් දේවල් නැහැයි කියලා හිතනවා නම්, මෙතනින් එහාට කියවන්න එපා. ගිහින් පොතක් පතක් බලාගෙන ඉන්ඩ. හැබැයි මේ ලෝකේ ඔය සුපර්නැචුරල් සත්තු, යක්කු, රාක්ෂයෝ ඉන්නවා කියලා හිතනවා නම්, මේ ආටිකල් එක ඔබටම තමයි. දැන් ඔය සුපර්නැචුරල් ටීවී සීරීස් එක එහෙම බලලා තියෙනව නම්, සෑම් සහ ඩීන් එකතුවෙලා ඔය හොල්මන්, භූතයෝ, යක්කු, රාක්ෂයෝ දඩයම් කරන හැටි දැකලා ඇති. ඒක බලනකොට අපිටත් හිතෙනවා සුපර්නැචුරල් හන්ටර්ස්ලා වෙලා, හොල්මන් හොයාගෙන කනත්තකට හරි රාත්තිරියේ ගිහින් ඉන්න. හැබැයි නිකම්ම අත් වන වනා ගිහින් කනත්තක රැක ගෙන ඉන්න බැහැනේ. සුපර්නැචුරල් හන්ටස්ලා වෙනවා නං, ඒකට ඕන කරන උපකරණ, ආවුද එහෙමත් ඕන. දැන් ලංකාවේ අපිට නං සමහර වෙලාවට ඔය ඇවිදින කනප්පුවක්, පොල් මලක් එහෙම තිබ්බත් ඇති වෙයි. හැබැයි ඉන්ටර්නැෂනල් හොල්මන් අවතාර දඩයං කරන්න නං ඔය එව්වා මදිවෙයි. ඒ නිසා, මුලින් බඩු ලිස්ට් එක හදාගමු. ඊට පස්සේ යමු හොල්මන් හොයාගෙන!

 

1. ජර්නල් එකක්

මේක අත්‍යාවශ්‍යයි වැඩේට කියන එක පැහැදිලියිනේ. මොකද, නිකම්ම මන්තර ටිකක් කිව්ව පළියට ඔය හොල්මන් භූටයෝ දමනය වෙන්නෙ නෑ. ඒ ඒ ජාතියේ සුපර්නැචුරල් උන්දැලාට ඒ ඒ පොල්මලෙන් තමයි සලකන්න වෙන්නේ. ආන්න ඒකට ඕන කරන දැනුම තියෙන, පරණ වෙච්ච, හම් බැම්බෙන් බැඳපු ජර්නලයක් වැඩේට තියෙනවා නං මරු. ඕක ඉතින් අර පිළිවෙලට ලස්සනට ලියපු එකක් වුණොත් කිසි ගැම්මක් නෑ. ඒ වෙනුවට එහෙන් මෙහෙන් රූප අලවපු, පින්තූර ඇඳපු, හැබැයි එක එක ජාතියේ හොල්මන් සත්තුන්ට බැටේ දෙන හැටි සවිස්තරාත්මකව ලියපු එකක් වෙන්න ඕන. පරණ සුපර්නැචුරල් දඩයක්කාරයෙක්ගෙන් උරුම වෙච්ච එකක් නං වැඩේ තවත් මරු!

 

2. EMF ඩිටෙක්ටරයක්

EMF ඩිටෙක්ටරයක්, නැතිනම් ඉලෙක්‍ට්‍රෝ මැග්නටික් ෆීල්ඩ් ඩිටෙක්ටරයක් කියන්නේ, විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයන් හඳුනාගන්න පුළුවන් උපකරණයක්. එතකොට කොහොමද ඕකෙන් සුපර්නැචුරල් සත්තු හොයාගන්නේ? මෙහෙමයි. ඔය හොල්මන් අවතාර වගේ සුපර්නැචුරල් එවුන් නිසා ඇතිවෙන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය වඩා තීව්‍රයිලු. එතකොට EMF ඩිටෙක්ටරයක් අරගෙන යනකොට, හොල්මන් අවතාර ඉන්නවා නං, උන්ව හොයාගන්න පුළුවනිලු. මාර සයන්ස් නෙහ්? දන්නෑ. අපි ඉතින් හොල්මන් වල විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය ගැන පරීක්ෂණ කරල නැහැනේ. ඒ නිසා ඔව්වා ඇත්තද බොරුද කියලා අපෙන් අහන්න එපා. හැබැයි ඉතින් ඔය EMF ඩිටෙක්ටරයක් එහෙම අරගෙන, ඔළුවේ ලයිට් එකක් එහෙම බැඳගෙන, පොකට් ගොඩක් තියෙන ජැකට් එකක් එහෙම දාගෙන හොල්මන් හොයාගෙන යනකොට කොහොමද ගැම්ම? කාටද ආඩම්බර?

 

3. ලයිට්!

සුපර්නැචුරල් හන්ටින් කරන්න යනවා නං, අනිවාර්යයෙන්ම හොඳ ආලෝක ප්‍රභවයන් ඕන. ඇයි දැන් ඔය මහ රාත්තිරියේ කනත්තකට එහෙම සෙට් වුණහම, කෑලි කපන්න පුළුවන් කළුවරේ අපිට මොකුත් පේන්නෙ නෑනේ. හැබැයි ඔය හොල්මන් අරුං මුං ට හොඳට ඇස් පේනවා. අන්න ඒ නිසා, හැතැප්මක් විතර ලයිට් එළිය වදින හොඳ කෑලි තුනේ ටෝච් එකක් එහෙම ගෙනියන එක ඇඟට ගුණයි. අර ඔලුවේ බැඳගන්න පුළුවන් ලයිට් එකක් එහෙමත් තියෙනවා නම් අත් දෙකම නිදහසේ තියාගන්න පුළුවන්. කෝකටත් රීචාර්ජබල් ලයිට් එකක් එහෙමත් බැකප් එකට තියාගන්න එක හොඳයි.  

 

4. FX කැමරාවක් නැතිනම් තර්මල් මොනොකියුලර් එකක්

දැන් අපිට සාමාන්‍ය කැමරාවකින් හොල්මන් අවතාර ෆොටෝ ගහන්න පුළුවන්ද? බෑනේ. මොකද, සාමාන්‍ය කැමරාවලට හොල්මන් අවතාර තියා වැම්පයරයොන්ගෙ වත් රූපෙ වැටෙන්නෙ නැහැයිලු. හැබැයි FX කැමරාවක් එහෙම හොයාගන්න පුළුවන් නම් තත්ත්වේ වෙනස්. සාමාන්‍යයෙන් ඔළුවේ දාන හෙල්මට් එකකට එහෙම වුණත් මවුන්ට් කරගෙන යන්න පුළුවන් FX කැමරාවකට උෂ්ණත්ව වෙනස් වීම් අහුවෙනවා කියලා තමයි කියන්නේ. ආන්න එතකොට අපි කාමරේකට යනකොට හොල්මනක් ආවොත්, ඒක කැමරාවේ නිල් පාටට වගේ සටහන් වෙනවලු. ඇයි, හොල්මන් කාමරේකට එනකොට උෂ්ණත්වය අඩුවෙලා එතන සීතල වෙනවලුනේ. ඕන නම් තර්මල් මොනොකියුලර් එකක් එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔය උෂ්ණත්ව වෙනසෙන් හොල්මන් ඉන්න තැන හොයාගන්න පුළුවන්. හැබැයි FX කැමරාවක් ගත්තොත්, හොල්මන් හොයාගන්න විතරක් නෙවෙයි, හොල්මන් ෆොටෝ ගහන්නත් පුළුවන්!

 

5. රොක් සෝල්ට් ෂොට්ගන් එකක්

ලංකාවේ ඉතින් අපිට රොක් සෝල්ට් කාට්‍රිජ් දාන එව්වා තියා මොනම ෂොට්ගන් එකක් වත් හොයාගන්න ඇහැකිද? පිටකොටුවේ පේමන්ට් එකෙන් ගත්තු සෙල්ලං ෂොට්ගන් එකක් තමයි සෙට් කරගන්න වෙන්නේ. අන්න ඒ නිසා, මතක ඇතුව, සුපර්නැචුරල් හන්ටින් වලට ඇමරිකාව වගේ රටක් තෝරගන්න එක තමයි වටින්නේ. ආයෙ ඕනම තුවක්ක්කුවක් අයිඩෙන්ටිය පෙන්නලා ගන්න පුළුවන් තුවක්කු කඩවල් තියෙනවනේ. අන්න එහෙම තැනකින් එච්චර ලොකු නැති ෂොට්ගන් එකක් ගත්තා නං වැඩේ සෑහෙන්න ගොඩ. අර බැරල් දෙකේ කොට ෂොට්ගන් එකක් නම් තව ලේසියි. ඊට පස්සේ ඕකට ඕන කරනවා රොක් සෝල්ට් දාපු කාට්‍රිජ්. එව්වැයින් මිනිහෙක්ට වෙඩි තිබ්බට රිදෙනවා මිසක් මැරෙන්නෙ නෑ. හැබැයි හොල්මන් වලට නං ආයෙ බඩු බනිස් වෙන්න වදිනවලු!

 

ඔය ගැම්මෙන්ම පිස්තෝලයක්, රිවෝල්වරයක් එහෙමත් තියාගත්තට කාරි නෑ. කවුද දන්නේ, මොන වගේ සුපර්නැචුරල් එවුන් සෙට් වෙයිද කියලා!

 

6. රිදී!

ආන්න ඓතිහාසික සුපර්නැචුරල් මාරයා. රිදී! ඔය වැම්පයර් එවුවොන්ට එහෙම රිදී මාරාන්තිකයි කියලා ඔය වැම්පයර් කතන්දර හදන උන්දැලා කියනවනේ. හැබැයි වැම්පයරයෝ විතරක් නෙවෙයි, නරවෘකයෝ, අපායෙන් ආපු යක්කු එහෙමත් දමනය කරන්න රිදී වලට පුළුවන් කියලා තමයි, ඔය හොලිවුඩ් වල බය හිතෙන කතා හදන හාදයෝ කියන්නේ. ඇත්තම කිව්වොත් පුරාණ කතන්දර වල රිදී වලින් දමනය කරන්න පුළුවන් කියන්නේ වැම්පයර්ලා විතරයි. ඒත් ඉතින් ආයෙ මොකටද චාන්ස් එකක් ගන්නේ. රිදී තලයක් තියෙන කිරිච්චියක්, රිදී උණ්ඩ ටිකක් එහෙම ලඟ තියාගත්තට කමක් නෑ. ආයෙ ට්‍රයල් ඇන්ඩ් එරර් කියලා රිදී උණ්ඩෙට දණ ගහන සුපර්නැචුරල් සත්තු මොක්කුද කියලා හොයාගන්නත් හැකි වෙයිනේ!

 

7. යකඩ!

මෙන්න තවත් මෑතකාලීන සුපර්නැචුරල් ආයුධයක්. විශේෂයෙන්ම ඔය හොල්මන් භූතයෝ අවතාර එහෙම යකඩ වලට බයයි කියලා තමයි කියන්නේ. ඒක බොරු කියලද හිතන්නේ? දන්නෑ. හැබැයි ඉතින් අපේ පුරාණ මුතුන් මිත්තෝ එහෙමත් රෑ පානේ එළියට බහිනකොට යකඩ කෑල්ලක් අතට දීලා තමයි එළිපහළියට බස්සන්නේ. යකඩ කෑල්ල අතේ තියෙනකොට ඔය නපුරු දුෂ්ට ආත්ම වලින්, හොල්මන් අවතාර වලින් කරදර වෙන්නෙ නෑ කියලා තමයි ඒ කාලේ ඉඳලම විශ්වාසේ තිබ්බේ. ආන්න ඒ නිසා, යකඩෙන් හදපු මොකක් හරි පොල්ලක්, කූරක් වගේ දේකුත් අපේ හොල්මන් දඩයම් චාරිකාවට ගෙනියන එක වටිනවා. හොල්මනක් ආවොත් දීලා අදින්න තියෙන්නේ. හොල්මනක් නෙවෙන එකෙක් ආවොත්, ඒත් දීලා අදින්න තියෙන්නේ!

 

දැන් පැහැදිලියිනේ. ඔය බඩු ටික හොයාගත්තොත්, අපිට නිල වශයෙන් සුපර්නැචුරල් හන්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඇත්තටම සුපර්නැචුරල් හන්ටර් කෙනෙක් වෙන්න නං, ගිහින් යක්සයෝ, හොල්මන් හොයාගෙන ගිහින් උන්ව දඩයම් කරන්නත් ඕන.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *