ලී බඩු දැන් ටික ටික ඈත්වෙමින් ගියත් තාමත් දොරවල් ජනෙල් වලට අපි ලී යොදාගන්නවා. ලී කියන්නේ අපේ ගෙදර දොරට ශක්තිමත් අමුද්‍රව්‍යයක් වගේම ලී වල නිමාවත් මෙටල් සහ අනෙකුත් ෆයිබර් එක්ක ගනිද්දි සුපිරියට තියෙනවා. ලීයක නිමාව හරියට එන්න නම් ලීය අපි හරියට ෆිනිෂ් කරන්නට ඕනා. දැන් එක එක ලී ෆිනිෂින් ටෙක්නික්ස් තියෙනවා. අපි ලී ෆිනිෂින් ගැන ටිකක් කතා කරමු.
1. වෝටර්බේස් නිමාව
වෝටර්බේස් කිව්වත් තියෙන්නේ ඔයිල් එකක්ම තමයි. එත් වෝටර්බේස් කියන්නේ මූලික වශයෙන් වතුරේ දියවෙලා ලීයට උරාගන්නා මාදිලියේ තීන්ත. මේ තීන්ත ගෑම මෑතකදි අපේ රටේ ගොඩක් ජනප්‍රිය වුණා. සාපේක්ෂව ලීයේ ඇතුළට යන හොඳ නිමාවක් වෝටර්බේස් එකෙන් ලැබෙනවා. ඒත් කිහිප වතාවක් ගාන්න වගේම වැලි කොළ අල්ලන්නත් තියෙනවා වෝටර්බේස් කරද්දි. පීවීසී කෝටින් වලදි වගේ ලීය වටේ හොඳ ආරක්ෂාවක් ලැබෙන්නේ නැති නිසා කල්පැවැත්ම අතින් පීවීසී පේන්ටින් වෝටර්බේස් වලට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා තමයි කියන්නේ. කොයිහැටි වුණත් වෝටර්බේස් තීන්ත වගේම ගාන්න යන කුලියත් ටිකක් මිල අධිකයි.
2. ඔයිල් ෆිනිෂ් (වෝටර්බේස් නොවන)
වාර්නිෂ්, සීලර්, ලැකර් ආදී දේවල් ආලේප කරලා හෝ ස්ප්‍රේ කරලා කරන පේන්ටින් වැඩේ මේ නමින් හැඳින්වෙනවා. ඔයිල් ෆිනිෂ් ලාබයි වගේම ආලේපයත් ලේසියි. ඒත් වෝටර්බේස් වගේ නෙමෙයි ටිකක් නහයට සැරයි. සිරුරට අහිතකර වෙන දේවලුත් ටිකක් වැඩියි. ඒත් අපිට ගෙදරදි වුණත් වැඩි අපහසුවකින් තොරව මේ ඔයිල් බේස් තීන්ත ආලේප කරගන්නට පුළුවන්. ලංකාවෙදි නම් සීලර් වගේ මූලික දෙයක් ගහලා නැවතත් කපාගෙන ඊට උඩින් වාර්නිෂ්, ලැකර් හෝ ටොප් කෝට් එකක් ගහන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. මේකෙදි ලීයට ටොප් කෝට් එකෙන් වගේම ඉන් පෙර සීලර් ගාන අවස්ථාවෙදිත් වර්ණ එකතු කරන්නට පුළුවන්.
3. ගෑමට පෙර කැපීම
ගෑම හෝ ස්ප්‍රේ කරන්න කලියෙන් මතුපිට හොඳට සිනිඳුවට තියාගන්න එක ලී වල නිමාව ලබාගැනීමේ මූලික පියවරක්. ඒකෙදි මුලින්ම රළු භාවය වැඩි 60-80 වගේ වැලි කොළ වලින් කපනවා. ඉන් පස්සේ නැවත ටිකක් සිනිඳු වෙන 150-180 ආදී වැලි කොළ වලින් කපන්නට ඕනි. ඒ කරලා සීලර් හෝ පළවෙනි කෝට් එක ගැහුවට පස්සේ ආයෙත් ටිකක් සිනිඳු 300-400 වගේ වැලිකොළවලින් කපනවා. ඒ කරලා නැවතත් ආලේප කරලා තමයි නියමිත නිමාව ගන්නේ. කෙසේ වෙතත් මේ වැලිකොළ අල්ලද්දි පැතලි ලීයක තියලා වැලිකොළ අල්ලන්න පුළුවන් නම් එයින් සර්ෆේස් එකේ සමහර තැන් හෑරෙන එක නවතිනවා. ඒ වගේම දැන් නම් ග්‍රයින්ඩර් මැෂින් එකකින් ගාණට වැලිකොළ අල්ලාගන්නට පුළුවන්.
4. පාට එකතු කිරීම
ලී බඩුවලට වෙනස් පෙනුමක් එන්න සුදු පාට, නිල්පාට, කොළ පාට ආදී පාටවලින් වර්ණවත් කරන අවස්ථා තියනවා. ඒත් සාමාන්‍යයෙන් වටිනා කියන ගේ දොර බඩු ආදිය නම් ලී පැහැයෙන්ම තියන්න පුළුවන් නම් එහි වටිනාකම වැඩියි. ඉතින් කෙලින්ම ලැකර් වගේ තීන්ත පාවිච්චි කරනවනම් අලුත්ම පාට ගන්නට පුළුවන්. දරුවන්ගේ ඩෙස්ක් බංකු වගේම මුළුතැන්ගෙයි කබඩ්ස් ආදියත් ඒ විදිහට වෙනමම පාට වලින් හැඩ කරනවා. ලී බඩු වලට වර්ණ එකතු කිරීම වෝටර්බේස් වලදි මුල් කෝට් වලින් කෙරෙනවා. සීලර් සහ පොලිතීන් පාට ගානවා නම් මුල් අවස්ථාවේ හෝ අවසානයේ වර්ණ ඇතුළත් වාර්නිෂ් මගින් ෆිනිෂ් එක ගන්නට පුළුවන්.
5. තීන්ත ගානවිට සැළකිලිමත් විය යුතු අමතර දේ
තීන්ත ගාන අවස්ථාවේදී වියළි කාලගුණයක් තිබෙන්නට ඕනි. වැහිබර කාලගුණයක් තිබුණොත් එක ආලේප කරාට පස්සේ වේලෙන්න කල් ගිහින් අනෙක් කෝට් ආලේප කරන්නට තවත් වෙලාව ගත වෙනවා. ඒ වගේම නියමිත බුරුසු පාවිච්චි කරන්නටත් ඕනි. වෝටර්බේස් වලට ගන්න බුරුසු නෙමෙයි වාර්නිෂ් ගාන්න ගන්නේ. ඒ බුරුසු ආලේප කළාට පස්සේ නිසි පිරිදි පිරිසිදු කර තියන්නත් ඕනි. නැතිනම් ඊළඟ කෝට් එක ආලේප කරද්දි හෝ නැවත වැඩට ගනිද්දි බුරුසුවේ නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. පොලිතීන් තීන්ත වර්ග එළිමහනේ ආලේප කිරීම වගේම වැලි කොළ අල්ලීම සහ ආලේපය එක තැනක නොකිරීමටත් වග බලාගන්නට ඕනා.
6. කොමන් මිස්ටේක් මග හැර ගැනීමට
අපේ අවශ්‍යතාවය සහ බජට් එක අනුව අවශ්‍ය කරන තීන්ත වර්ගය හාඩ්වෙයාර් හේ තීන්ත කඩේකින් අසා දැනගන්නට පුළුවන්. නැත්නම් හොඳ කර්මිකයෙකුගෙන් අසා නිවැරදි තීන්ත වර්ගය තෝරාගන්නට පුළුවන්. ඔබ රැගෙන ආ තීන්ත මුළුමනින්ම ආලේප කිරීමට ප්‍රථම කුඩා ලෑල්ලක වැනි යමක ආලේප කර බැලිය හැකි නම් එහි වර්ණය ගැන හොඳ අදහසක් ගන්නට පුළුවන්. ජනෙල් දොරවල් වැනි සවිකළ උපකරණ වල තීන්ත ගෑමේදී ඒවායේ ඇති අගුළු කොටස්, යතුරු තහඩු අල්ලන කැබලි ආදිය ගලවා ආලේප කරන්න පුළුවන් නම් එයිනුත් නිමාව හොදින් ආරක්ෂා කරගන්නට පුළුවන්.
7. කාර්මිකයා විශ්වාස කිරීම
මේක ලංකාවේ අපි මුහුණ දෙන අවුලක්. අපි යම් කාර්මිකයෙක් විශ්වාස කරලා තීන්ත ගාන වැඩක් දුන්නට පසු එය හරියට බැලුවේ නැතිනම් වැඩේ දෙල් වෙන්නට පුළුවන්. තීන්ත ගෑම සහ එහිදී කළ නොකළ යුතු දෑ ගැන ඒ ඒ තීන්ත වර්ගය අනුව තොරතුරු අන්තර්ජාලයේ තිබෙනවා. ඒත් අපි ඇතැම් විට විශාල මුදලක් දී සේවාව ලබාගන්නා කාර්මිකයින් පවා මූලික පියවරවත් අනුගමනය නොකරන අවස්ථා තියෙනවා. ඒ නිසා තීන්ත මිලදී ගැනීම වගේම ආලේප කිරීමේදිත් කාර්මිකයන් මතම රඳා පවතින්නේ නැතිව ඒ ගැන විස්තර වලින් දැනුවත් වීම ඔබේ කාලයත්, මුදලත් ලී බඩුවත් ආරක්ෂා කරාවි.
8. තැනට අනුව ඇණ
තැනේ හැටියට ඇණේ කිව්වට ඇණ විතරක්ම නෙමෙයි, තැනට අනුව ලී බඩු වල තීන්තත් වෙනස් වෙනවා. මූද අයිනේ එළියේ තියෙන ලී බඩු ආදියට හොද රළු ඒ පාවිච්චියට ඔරොත්තු දෙන තීන්ත වර්ගයක් ආලේප වෙන්නට ඕනි. කුස්සියේ වැඩකටයුතු, ගරාජයේ කටයුතු වලට ඒ තත්ත්වයන්ට ඔරොත්තු දෙන විදිහට අපේ ලී බඩු වල නිමාව සකසාගන්නට අවශ්‍යයි. සිවිලිමට සහ බිමට අතුරන ලී වලට දෙන්න ඕනි ෆිනිෂ් එක ලී බඩු වලට දෙන ෆිනිෂ් එක නෙමෙයි. ඒ නිසා ඒ ඒ තැන් වලට, ඒ ඒ තැන්වල තත්ත්වයන්ට අනුකූල වඩාත් ගැළපෙන ලී ෆිනිෂින් ක්‍රමය තෝරාගැනීමත් ඔබ සතු වගකීමක්.
ලී බඩුවක ෆිනිෂ් එකක් හරියට නැති වුණොත් ඒක අපි ගෙවූ මිලට කාලයට වටිනාකමක් නැති වෙනවා. ඒ නිසා ලී මතුපිට හැඩට ෆිනිෂ් කරගන්න, ඒ ගැන දැනුවත් වෙන්න මේ ලිපියෙන් ඔයාලට යම් කරුණු කිහිපයක් හරි ලැබෙන්නට ඇති කියලා ලයිෆි අපි විශ්වාස කරනවා.
Leave a Reply