බලු මනසට මිනිස්සුන්ගේ වැඩ කිඩ පේන හැටි

“බලු වැඩ කරන්න එපා” කිව්වට ඇත්තටම අපි ඒ කියන ජාතියේ බලු වැඩ බල්ලන් කරනවා අඩුයි. මිනිසුන්ට වඩා උසස් ගතිගුණ තියෙන බල්ලන් ගැන කතාන්දර අනන්තයි, අප්‍රමාණයි. ඉතින් මේ බල්ලන්ගෙ මිනිස්සු දකින වැරදි සහ හො​ඳ ගතිලක්ෂණ තියෙනවා. ඉතින් අපි එක්ක වසර ලක්ෂ ගා​ණක් තිස්සේ එකට ඉන්න මේ බල්ලන්ගේ පැත්තෙන් මිනිස්සුන්ව දකින්නේ කොහොමද කියලාත් අපි බලමු.

 

 

1. හැරදා යාම

බල්ලන් කියන්නේ මිනිසා එක්ක ජීවත් වෙන්න හුරු වෙච්චි ජාතියක්. වැඩක් කරනකොට, සෙල්ලම් කරන කොට වගේම විවේකයෙන් ඉන්​නකොටත් අපි ලඟින්ම ඉන්න බල්ලන් කැමතියි. ඒක බල්ලන්ට මහත් ආඩම්බරයක් ලැබෙන වැඩක්. උන්​ව මොන විදිහට ලඟින් තියන් හිටියත් අපිට උන්ව දාලා අපේ වැඩට යන්න වෙනවා. ඒක අලුත් බල්ලෙක්ට ටිකක් අප්​සෙට් හිතෙන වැඩක්. කලක් යද්දි මේ තත්ත්වය හරියනවා. ඒත් මුලදි උන්ට ඒ වෙන්ව යෑමත් එක්ක නැවත අපි ඒවිද කියන සැකය ඇති වෙනවා. ඒ වගේම හැර යනවිට බොහොම දුකින් උන් හැසිරෙනවා.

 

 

2. අපේ ටීවී බැලීම

මිනිස්සු විදිහට අපි ජීවත් වෙන්නේ ශ්‍රව්‍ය දෘෂ්‍ය ලෝකයක. අපිට ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් හරහා විනෝද වෙන්න හැකියාව තියෙනවා. අපි එක්කෝ පොත් බලනවා, නැත්නම් ෆෝන් බලනවා, ලැප්ටොප් වල වැඩ කරනවා. ඒත් බල්ලන් කැමති ඇවිදින්න, ඉව කරන්න, හාරන්න, අලුත් තැන් බලන්න වගේ ඇඩ්වෙන්චරස් වැඩ වලට. ඉතින් උන්ගේ ලෝකයේදී අපි මේ රූප පෙට්ටියක් ඉස්සරහට වෙලා ටීවී එකට මූ​ණ දාගෙන ඉන්න එක ප්‍රශ්නාර්ථයක්.

 

 

3. අපේ පාට, හැඩය සහ සුව​ඳ වෙනස් වීම

බල්ලෝ කියන්නේ එකම විදිහට ඉන්න සත්තු නේ. මේ මනුස්ස අපි ව​ගේ දවසකට කිහිප වතාවක් ඇඳුම් මාරු කරන, ගමනක් යද්දි සුව​ඳ සෙන්ට් ​ගහන, සපත්තු සෙරප්පු ජෝඩු කිහිපයක් පාවිච්චි කරන එක බල්ලන්ට සෙට් වෙන්​නෙ නැහැ. බල්ලන් දේවල් හඳුනාගන්නේ හැඩයෙන් සහ සුවඳින්. මේ දෙකම මිනිස්සු ඇඳුම් වලින් සහ විලවුන්, සබන් ආදියෙන් වෙනස් කරගන්නවා. ඒ වගේම අපි ඉන්න ගෙවල් තු​ළ පවා ඒ තැන් හැඩට තියාගන්න සුව​ඳකාරක ගහනවා. හැඩ තල වෙනස් කරනවා. අඩුවෙන් වෙනස් වෙන ලෝකයකට වසර මිලියන ගා​ණක් තිස්සේ හුරු​වෙලා හිටිය බල්ලන්ට මේ වෙනස් වීම් ටිකක් අවුල් ඇති කරනවා ඇති.

 

 

4. හමු වූ විට සිප වැළ​ඳ ගැනීම

වල් බල්ලන් දෙදෙනකු මහමග මුහු​ණට මුහු​ණ හමු වූ විට ඇතිවන තත්ත්වය අමුතුවෙන් පැහැදිළි කරන්න ඕනි නැහැනේ. ඔවුන් නිතරම අනික් බල්ලන් සහ සතුන් දකින්නේ ආගන්තුකයින් විදිහට. ඒත් මිනිසුන් එකිනෙකා හමුවන විට අතට අත දෙනවා. එකිනෙකා සිප වැළඳ ගන්නවා. ඒ වගේම බල්ලන්වත් සිප ගන්නවා. මේ සිප ගැනීම, ස්පර්ශය හරහා එන චර්යාවන් මිනිස්සුන්ට වඩාත් රුචි ඒවා මිසක බල්ලන්ට එච්චර රැචි ඒවා නෙමෙයි. ​ඒ නිසා ඒවා එයාල​ව පුදුම කරනවා ඇති.

 

 

5. සැපීමට, පැනීමට විරුද්ධ වීම

බල්ලන් අලුතින් යාළුවකු හමු වූ විට මුලින් ඉවකර බලනවා. ඉන් පසු යහළුවන් විදිහට එකිනෙකා හා සෙල්ලම් කරනවා. ඒ විදිහටම බල්ලන් අලුත් මිනිසුන් හමු වූ විටත් දත් වලින් හීනියට පොඩි සීරිමක් හෙම කරලා, ඇ​ඟට පැනලා සෙල්ලමක් දාන්න ආසයි. ඒත් බල්ලන්ගේ අවාසනාවට මිනිස්සු මේ පැනිල්ලට, බල්ලන්​ගේ සැපීමට පුදුම විදිහට බයයි.

 

 

6. විවි​ධ ඉරියව් වලින් ආහාර ගැනීම

බල්ලන් සතුන් අල්ලන්නට උඩ පැනීම් ආදිය කළාට කෑම කන්නේ එකම ඉරියව්වෙන්. දැන් නූතන ලෝකයේ නම් බල්ලන්ට කන්නත් වෙනම පි​ඟන් ආදිය තියෙනවා. ඉතින් බිම තිබෙන දෙයක් සාවධානව කන බොන බල්ලෝ අපි කන දිහා පුදුමෙන් බලනවා ඇති. අපි කන්න බොන්න ගියාම චාරයක් නැහැ. වෙලාවක පුටුවක් උඩ වාඩිවෙලා අත උඩ තියාගෙන කනවා. තවත් වෙලාවක මේසෙට වාඩිවෙලා මේස උඩ තියාගෙන කනවා. පැකට් කරපු මොනාහරි තියෙනවා නම් නිදාගෙන උනත් කනවා. බල්ලන්ට අපේ මේ චාරයක් නැති කෑම ප්‍රශ්නයක් වෙනවා ඇති.

 

 

7. දේශසීමා වේගෙන් බෙදාගන්න මිනිසුන්

ගෙවල් වලට විවිධ අය යනවා එනවා. වෙ​ළෙන්දෝ, බිල් ලියන්නෝ, හිතවත් යාළුමිත්‍ර අය ආදී වශයෙන් යනව එනවා. බල්ලන්ට මේ ජාතියේ සහසම්බන්ධතා ටිකක් අවුල්. මොකද එයාල සමූහ වශයෙන් ජීවත් වෙද්දි සීමා ලකුණු කරනවා. ඒ සීමාවන් තු​ළ තමයි ඒ ඒ බල්ලන් හැසිරෙන්නේ. මිනිසුන්ගේ එහෙම සීමා සලකුණු කිරීමකුත් නැහැ. සලකුණු කරගත්තත් ඒවා අස්සට යන්න එන්න, හැසිරෙන්න ලොකු බාධාවකුත් නැහැ. ඒක බල්ලන් අවුලට පත් කරන දෙයක් වෙන්න ඇති.

 

 

වැඩක් නැතිව ගෙදරට වෙලා හිටි මේ කොරෝනා ලොක්ඩවුන් කාලේ බල්ලන් මිනිස්සුන්ට වඩාත් සමීප වුණා. සමහර අයට ගෙදරට කොටු වෙලා ඉද්දි මූ​ණදෙන්න වෙන ලොකු ස්ට්‍රෙස් එක බල්ලන් හරහා අඩු කරග්නනට පුළුවන් වුණා. ඉතින් මේ බල්ලන්ගේ පැත්තෙන් උන් හිතන දේවල් ගැන ඔයාලටත් අදහස් ඇති. අපේ ආටිකල් එක ෂෙයාර් ​කරගන්න ගමන් ඒ ජාතියේ අදහස් තියේනම් ඒවත් කියලා යන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *