මහද්වීප හතේ උසම කඳු හත

 

අපි ලෝකයේ උසම කන්ද ගැ​න දැනගෙන හැටියට අනෙක් කඳු ගැන එතරම්ම දන්නේ නැහැ. සමහර විට භූගෝල විද්යාව හදාරපු කෙනෙක් විතරක් ගැන දන්නවා වෙන්න පුළුවන්. අපි ඔබෙන් ඇහුවොත් ආසියා මහද්වීපයේ උසම කඳු මුදුන මොකක්ද කියලා සමහරවිට ඔබට එකපාරටම උත්තර දෙන්න බැරි වෙන්නත් පුළුවන්. හැබැයි පොඩ්ඩක් කල්පනා කළොත් ඔබ උත්තරේ දන්නවා. උත්තරෙත් එවරට්ස්ම තමයි. සාමාන්‍යයෙන් එවරස්ට් කන්ද ඇතුළු මහද්වීප හතේම උසම කඳු ශිඛර හත  තරණය කිරීම සළකන්නේ විශිෂ්ට ජයග්රහණයක් විදිහට. අපේ රටේ මේ වෙනකල්ම එම ජයග්රහණය ලබා ගත්ත කෙනෙක් පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ. එවරස්ට් කන්ද තරණය කළ  වීර කාන්තාව හා පිරිමියා පිළිබඳව නම් ඔබ දන්නවා කියලා අපි හිතනවා. මේ නිසා, අනාගතයේ හරි  කෙනෙක්ට කඳු තරණය සඳහා උත්තේජනයක් විදිහට අපි මහද්වීප හතේ උසම කඳු හත  පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න තීරණය කළා.

 

 

1. එවරස්ට් කන්ද (Mount Everest)

හිමාල කඳු පන්තියේ පිහිටා තිබෙන මෙම කන්ද ආසියාවේ පමණක් නොව ලෝකයේම උසම කන්දට හිමි වාර්තාවට හිමිකම් කියනවා. වගේම මේ කඳු ශිඛරය මතින් චීන නේපාල දේශ සීමාව දිව යනවා. මුහුදු මට්ටමින් එවරස්ට් කන්ද මීටර් 8,848.86 ක උසකට උරුමකම් කියනවා. එවරස්ට් කන්ද තරණය සඳහා සාමාන්යයෙන් නේපාලයේ සිට එක් මාර්ගයකුත් ටිබෙටයේ සිට එක් මාර්ගයකුත් භාවිතා වනවා. අතරින් නේපාල මාර්ගය කඳු තරණය කරන්නන් අතර අතිශය ජනප්රිය මාර්ගයක්. කෙසේ නමුත් එවරස්ට් තරණය සරල හා විනෝදකාමී එකක් නම් නොවෙයි, ජීවිතයත් මරණයත් අතර සටනක්. එහි කඳු මුදුන මත මියගිය කඳු නගින්නන්ගේ සිරුරු පවා විසිරී පවතිනවා.

 

 

2. ඇකොන්කගුවා (Aconcagua)

මීටර 6,960.8ක උසකින් යුක්ත ආජන්ටිනාවේ පිහිටි මෙම කඳු මුදුන සමස්ත දකුණු ඇමරිකාවේම උසම කඳු මුදුනද වනවා. මෙම කන්දේ නමේ ප්රභවය සිදු වූ ආකාරය පිළිබඳව විවිධ මත පවතින නමුත් එම මතවල කිසිදු එකඟතාවයක් නැහැ. එය පුරාතනයේ විසූ දේශීය ප්රජාවකගේ  භාෂාවක වචන බවට අදහස් පළව තිබෙනවා. ග්ලැසියර තට්ටුවලින් වැසුණු මෙ කන්ද ආශ්රිත ප්රදේශය ජාතික උද්යානයක් ලෙස නම්කොට තිබෙනවා.

 

 

3. ඩෙනලි (Denali)

අතීතයේදී මවුන්ට් මැකෙන්ලි  (Mount McKinley) ලෙස හඳුන්වනු ලැබූ මෙම කන්ද උතුරු ඇමරිකාවේ විසූ දේශීය ජන වර්ග වල උරුමයට ගරු කරමින් යළිත් වරක් ඩෙනලි ලෙස නම් කරනු ලැබුවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ප්රාන්තයට මෙම කඳු මුදුන අයත් වනවා. ඇලෙස්කාවේ අනෙකුත් කඳු ශිඛර මෙන්ම මෙම කන්ද හිමෙන් වැසී පවතිනවා. මෙහි උස මීටර 6,190ක් වනවා.

 

 

4. කිලිමන්ජාරෝ (Kilimanjaro)

ටැන්සානියාවේ  පිහිටා තිබෙන මෙම කන්ද අප්රිකාවේ උසම කඳු මුදුන වන අතර එය අක්රීය ගිනිකන්දක් වනවා. මේ හිමෙන් වැසී ගිය ගිරි ශිඛරය ටැන්සානියාවේ පමණක් නොව මුළු අප්රිකාවේම සංකේතයක් ලෙස භාවිතා වනවා. කෙසේ නමුත් ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමගම ඉදිරි දශක දෙක තුළ කිලිමන්ජාරෝ මත හිම දැකිය නොහැකි වන බවට මත පළව තිබෙනවා. මෙහි උස මීටර 5,895ක් වනවා.

 

 

5. එල්බ්රස් (Elbrus)

රුසියාවට අයත් තිබෙන මෙම ගිරිශිඛරය යුරෝපයේ උසම කඳු මුදුන වනවා. එය උසින් මීටර් 5,642ක් වනවා. මෙහි ඇති තවත් එක් විශේෂත්වයක් වන්නේ එය ශිඛර දෙකකින් සමන්විත වීමයි. එසේම මෙය අක්රීය ගිනිකන්දක් වනවා. මේ සඳහා නම ලැබුණු ආකාරය පිළිබඳව විවිධ මත පවතින අතර ඇතැම් පාර්ශ්ව විශ්වාස කරන්නේ එහි ඉරාන සම්භවයක් ඇති බවයි. ජන වර්ගවල සංක්රමණයක් නිසා මෙම නාමකරණය ඇතිවූ බවට විශ්වාස කෙරෙනවා.

 

 

6. වින්සන් (Vinson)

 ඇන්ටාක්ටික්  මහාද්වීප​ය ගවේෂණය කිරීම සඳහා ආධාර අනුබල ලබාදුන් ඇමරිකානු එක්සත් ජනපද දේශපාලනඥයෙකු වන කාල් වින්සන් නමින් මෙම ශිඛරය නම්කොට තිබෙනවා. මහද්වීප හතේ  කඳුමුදුන් හත අතරින් නොයිදුල්ම කඳු ශිඛරය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. දැනට ලැබී ඇති වාර්තාවලට අනුව මෙය  තරණය කිරීමට උත්සාහ කළ පිරිස් ප්රමාණය එක්දහස් පන්සියයකටත් වඩා අඩු ප්‍රමාණයක්. මෙය උසින් මීටර් 4,892ක්.

 

7. පුන්කක් ජයා (Puncak Jaya)

ඕස්ට්රේලියා මහද්වීපයට අයත් උසම කඳු ශිඛරය වන මෙය නව ගිනියාවේ පිහිටා තිබෙනවා. මේ නිසාම දූපතක පිහිටා තිබෙන උසම කන්දට හිමි වාර්තාවට   මෙම කන්ද හිමිකම් කියනවා. ඛනිජ සම්පතින් අනූන මෙම ශිඛරය මත රත්තරන් සහ තඹ ආකර පවතිනවා. මෙය උසින් මීටර 4,882ක්.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *