අලුත උපන් බබෙක් බලන්න අරන් යන්න සුදුසු තෑගි 10ක්

අලුත උපන් බබ්බු ගැන හුඟක් දේවල් අපි මීට කලිනුත් කතා කළා. මේකත් ඒ අලුත උපන් පුංචි පැටවුන් ගැනම කතාවක් තමයි. තමන්ගේ සහෝදරයෙකුට, නෑදෑයෙකුට, යාලුවෙකුට අලුතෙන් බබෙක් ලැබුනා කියන්නේ අපිටත් ඉතින් දුවලා ගිහින් පොඩි එකා බලල එනකන් ඉවසිල්ලක් නැහැනේ. එහෙමයි කියල ඉතින් හිස් අතින් දුවල ගිහින් එන්න පුළුවන්ද. අලුත් අමුත්තාට මොනවමහරි දෙයක් අරගෙන එපැයි Hi කියන්න යන්න. ඔන්න මේ කියන්න යන්නේ එහෙම අලුත් බබෙක් බලන්න යන්නත් ඕන, ඒත් මොනවා ගන්නද කියලා මොළේ නහර ගැටගහන් කල්පනා කරන සෙට් එකට වටිනා කතාවක්. අලුත උපන් බබෙක් බලන්න යද්දි ගෙනියන්න පුළුවන්, ගෙනියන්න ඕන වැදගත් දේවල් කීපයක්. ඔයාලා වියදම් කරන මුදලට වගේම තෑග්ග ලැබෙන අයටත් වටිනාකමක් තියෙන දේවල් කිහිපයක්. 

 

 

1. අම්මට තෑග්ගක්

මේක හුඟක් අය නොහිතුවට අලුත් බබෙක් බලන්න යනකොට කරන්න පුළුවන්නම් හුඟක්ම වටිනා දෙයක්. අලුත් අම්මෙක් කියන්නෙත් අලුත් බබෙක් වගේම අවධානය ලැබෙන්න ඕන කෙනෙක්. ප්‍රසුතියේ වේදනා, අලුත් තනතුරේ රාජකාරී එක්ක ටිකක් අමාරු කාලයක් පසු කරමින් ඉන්න කෙනෙක්. ඉතින් එහෙම කෙනෙකුට හිතට සතුටක් ගේන්න ඔයාගේ පුංචි තෑග්ගක් ලොකු උදව්වක් වෙන්න පුළුවන්. තෑග්ගක් කියන්නේ ඉතින් හොස්පිටල් එකට බලන්න යනවනම් සුභ පැතුමක් එක්ක මල් කළඹක්, නැත්තම් පලතුරු ටිකක්, පෝෂදායී ආහාර මොනවහරි වගේ එයාගෙ හිත සතුටු කරන්න පුළුවන් මොනවමහරි පුංචි දෙයක්. 

 

 

2. ඩයපර්ස්/ වෙට් වයිප්ස්

පුංචි බබෙකුට අවශ්‍ය වෙන කළමනා අතරේ ඉහළින්ම තියෙන දෙයක් තමයි ඩයපර්ස් සහ වෙට් වයිප්ස් කියන්නේ. හැබැයි ඉතින් ලංකාවේ ඩයපර්ස් භාවිතය ගැන තියෙන දුර්මත නිසා සමහර පවුල්වල උපන් අලුත බබාලට ඩයපර්ස් අන්දන්නේ නැහැ. ඒ නිසා ගෙනියන්න කලින් කෝකටත් කතා කරලා පාවිච්චිය සහ අවශ්‍ය සයිස් එක ගැන අහල බලලම ගෙනිච්චොත් හොඳයි කියන්න පුළුවන් තෑග්ගක් තමයි මේක. 

 

 

3. කොට් මොබයිල්ස්

කොට් මොබයිල්ස් කියන්නේ අපි ඉස්සර කුරුළු කොට්ට කියපු ඒවා. ඒ කියන්නේ බබාලගේ කොට් එක උඩින් එල්ලන ලස්සන පාට පාට අයිටම් එකක්. මේ කොට් මොබයිල්ස් විවිධ වර්ණයන්ගෙන් සහ හැඩතලයන්ගෙන් පේන එක බබාලගේ බුද්ධි වර්ධනයටත් හරිම වැදගත්. ඒ වගේම තමයි පුංචි බබාලා හරිම ආසයි ඒවා දිහා බලාගෙන තනියම කුරු කුරු ගගා කියවන්න.

 

 

4. බබාට ඇඳුම්

අලුත් බබාට එක එක සයිස් එකෙන් ඇඳුම් ගෙනියන එකත් වටිනවා. මොකද ටික ටික ලොකු වෙද්දී අන්දන්න පුළුවන්නේ. බබාලා ඉක්මනට ලොකු වෙන නිසා ළඟ ළඟ සයිස් වෙනස් වෙනවා. එතකොට ඇඳුම් ඉක්මනට පුංචි වෙනවා. ඉතින් අලුත් සයිස් වලින් ඇඳුම් ලැබිල තියෙනකොට වටිනවා. 

 

 

5. ප්ලේ මැට් එකක්

බබා චුට්ටක් ලොකු වෙනකොට, එයා පෙරළෙන, බඩගාන ක්‍රියාකාරකම් පටන් ගන්නකොට ඕනෑම වෙන දෙයක් තමා මැට් එකක් නැත්තම් පැදුරක් කියන්නේ. දැන් පුංචි බබාලටම හදපු ලස්සන ලස්සන කාටුන් චරිත ප්‍රින්ට් කරපු පැදුරු වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඉතින් එහෙම පැදුරක් ගෙනිච්චොත් බබෙක් ඉන්න තැනකට හුඟක් වටීවි.

 

මෙච්චර වෙලා කිව්වේ තනි තනිව ළමයි බලන්න යනකොට ගෙනියන්න පුළුවන් දේවල්. ඒ කිව්වේ මිල සාමාන්‍ය මට්ටමේ තෑගි. මෙතන ඉඳන් කියන ඒවා ටිකක් මිල ඉහළ ඒවා. ඉතින් පිරිසක් එක්ක, ඒ කියන්නේ යාලුවෝ සෙට් එකක්, ඔෆිස් එකේ සෙට් එකක් වගේ එකතු වෙලා බබෙක් බලන්න යද්දී කලෙක්ශන් එකක් දාල ගන්න පුළුවන් තෑගි. 

 

 

6. බේබි රොකර් එකක්

බේබි රොකර් එකක් කියන්නේ බබාව තියලා පද්දන්න පුළුවන් පොඩි තොටිල්ලක් වගේ එකකටයි. පුංචිම කාලේ බබාව නිදිකරවන්න, ඒකෙ දාල තියලා අහලින් පහලින් තියාගෙන වැඩක් පලක් කරගන්න, කෙලින් ඉන්න බැරි මාස6 දී විතර ඒකෙ තියල කෑම කවාගන්න එහෙම හුඟක් වටිනා භාණ්ඩයක් මේක. හැබැයි ඉතින් මාස 8න් 9න් විතර පස්සේ බබා දණ ගාන්න එහෙම පටන් ගත්තම මේකෙ ඉන්න ආස නෑ. ඒ නිසා ගෙනියනවානම් පුංචිම කාලෙ ගෙනියන්න ඕන තෑග්ගක්. 

 

 

7. ප්ලේ ජිම් එකක්

ප්ලේ ජිම් එකක් කියන්නේ මේ අපි යනවා වගේ ජිම් එකක් නෙමෙයි ඔන්න. බබාව තියලා උඩින් තියන්න පුළුවන් පොඩි පොඩි පාට පාට කෑලි බෑලි එල්ලෙන සෙල්ලම් බඩුවක්. කොට් මොබයිල් එකකයි මේකෙයි වෙනස වෙන්නේ මේක බබාව අපි තියන ඕන තැනකින් අරන් තියන්න පුළුවන් වගේම මේකෙ තියෙන සෙල්ලම් බඩු අල්ල අල්ල සෙල්ලම් කරන්න පුළුවන් බබාට. බබා අලුත් අලුත් දේවල් හොයන කාලෙට සෙල්ලම කරන්න අපූරු භාණ්ඩයක්.

 

 

8. ගෝ කාර්ට් / ෆීඩින්ග් චෙයාර්

ගෝ කාර්ට් එකක් කියන්නේ බබාව දාගෙන පද්දන්න, බබාට පරිසරය බලන්න වගේ දේකට ලංකාවේ පාවිච්චි කරන දෙයක් සාමාන්‍යයෙන්. හැබැයි පිටරටවලනම් මේකෙන් සෑහෙන්න වැඩ ගන්නවා. බබාව අරගෙන ඇවිදින්න යන ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්. අපි නිදහසේ ඇවිදිද්දී බබාව තියාගෙන තල්ලු කරගෙන යන්න පුළුවන්.

ඒ වගේම ෆීඩින්ග් චෙයාර් එකක් කියන්නේ බබා කෑම කන වයසට අවම අවුරුදු දෙකක් විතර යනකන්ම බබාව තියල කෑම කවන්න, එයාට තනියම කෑම කන්න දෙන්න ගොඩක් ප්‍රයෝජනවත් භාණ්ඩයක්. ඇවිද ඇවිද කෑම කවන්න අනවශ්‍ය විදිහට මහන්සි වෙන්න ඕන නැහැ ෆීඩින්ග් චෙයාර් එකකට බබා හුරු කරගත්තම. හැබැයි මේ දෙකම රු. 7000 වගේ මිලකින් උඩට තමා ගන්න පුළුවන් වෙන්නේ. 

 

 

9. රත්තරන්

 

හුඟක් හිතවත් කෙනෙකුටනම් මේ තෑග්ග හුඟක් වටිනව වගේම බබෙකුට අනාගත ආයෝජනයක් විදිහටත් දෙන්න පුළුවන් සුදුසුම තෑග්ගක්. මොකද රත්තරන් කියන්නේ හැමදාම මිල ඉහළ යන දෙයක්නේ. ගැහැණු බබෙක්නම් කරාබු දෙකක් වගේ දේකුත්, ගැහැණු පිරිමි කොයි බබාටත් පංචායුධ වගේ දේවලුත් දෙන්න පුළුවන්. අර කලිනුත් කිව්වා වගේ පිරිසක් එකතු වෙලා දෙන තෑග්ගක් විදිහට තම මේක වැඩියම සුදුසු. 

 

 

10. මුදල්

ඔන්න අන්තිමට උනත් කියන්න යන්නේ දෙනවනම් හුඟක් වටිනා දෙයක්. අලුතෙන් බබෙක් ගෙනාව කියන්නෙ බබාගේ වැඩට ගෙදර වැඩට වියදම් සෑහෙන්න වැඩිවෙන කාලයක්. බබාට ඕන කරන දේවල් ගොඩක්ම දන්නෙත් ගෙදරම අයනේ. ඉතින් ඔය කොයි දේටත් පාවිච්චි කරන්න, කැමතිනම් බබාට බැංකු පොතක් ඕපන් කරන්න, තියෙන බැංකු පොතකට දාන්න කියලා සල්ලි ටිකක් ලියුම් කවරෙක දාල දෙන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *