එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් ගන්න කලින් දැනගෙන ඉන්න ඕන කරුණු කාරණා මේවා තමයි!

සාමාන්‍යයෙන් අපි කොම්පියුටර් පාවිච්චි කරන්න පටන් ගත්තු කාලේ ඉඳලා අපිට එක කොම්පියුටරේකින් තවත් කොම්පියුටරේකට ඩේටා හුවමාරු කරගන්න වුවමනා එපාකම් මතුවුණානේ. එහෙම මාරු කරගන්නේ සිංදු වෙන්න පුළුවන්, ගේම්ස් වෙන්න පුළුවන්, ෆිල්ම්ස් වෙන්න පුළුවන්, ඇඩම්ස් ඔන්ලි එව්වා වෙන්න පුළුවන්, සොෆ්ට්වෙයාර් වෙන්න පුළුවන්, වෙන වෙන ෆයිල්ස් වෙන්න පුළුවන්. අපි කම්පියුටර් අතපත ගාපු මුල් කාලේ ඉතින් වෙන විකල්පයක් තිබ්බෙ නෑ, අපේ මැෂින් එකේ තියෙන හාඩ් ඩ්‍රයිව් එක ගලෝගෙන ගිහින්, යාලුවගේ එකට ස්ලේව් කරල ගහනවා. පස්සෙ පස්සෙ සීඩී රයිට් කරන්න පුළුවන් කම ආවා. පෙන් ඩ්‍රයිව්ස් ආවා. දැන් කාලේ වෙනකොට පෙන් ඩ්‍රයිව්ස් වගේම එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව්ස් හරි හරියට පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් තමන්ට ඕන ඩේටා සුරක්ෂිත කරලා තියන්න ඩීවීඩී එකක් රයිට් කරනවට වඩා එක්ස්ටර්නල් හාඩ් එකක් හරි ක්ලවුඩ් මෙමරි එකක් හරි ලේසියි කියලා හිතනවා.

 

ඇත්තටම එක්ස්ටර්නල් හාඩ් එකක් පාවිච්චි කරන එක බොහොම පහසුයි තමයි. හරි. දැන් එහෙමනම් එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න ඕන නම් ඒක ගන්න කලින් හිතලා බලන්න ඕන කරුණු මොනවද?

 

1. සයිස් එක මොකද්ද?

ගොඩක් අය හිතාගෙන ඉන්නවනේ සයිස් එක ලොකු වෙන එක තමයි වැදගත් කියලා. ඇත්තටම කිවුවොත් සයිස් එක අදාළ වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය මත. මෙතන සයිස් කියන්නේ කැපෑසිටි එකට. ලංකාවේ නම් දැන් බහුලවම දකින්න ලැබෙන අඩුම සයිස් එක වෙන්නේ ටෙරාබයිට් 1. හැබැයි ඕන නම් ගිගාබයිට් 500 වගේ පොඩි සයිස් එක්ස්ටර්නල් හාඩ් වුනත් හොයාගන්න පුළුවන්. එතනින් එහාට ටෙරාබයිට් 2, ටෙරාබයිට් 4 එක්ස්ටර්නල් හාඩ් ගොඩක් තැන්වලින් හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් තව සෝදිසි කලොත් ටෙරාබයිට් 6 සහ ටෙරාබයිට් 8 ක වගේ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එහෙමත් හොයාගන්න බැරි නෑ!

 

හැබැයි ඉතින්  මේවැයින් තමන්ට අවශ්‍ය සයිස් එක තෝරගන්න නම්, තමන්ට මේ එක්ස්ටර්නල් හාඩ් එක අවශ්‍ය වෙන්නේ ඇයි කියලා හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි, ග්‍රැෆික් ඩිසයිනින් වගේ කරන අයට ටිකක් ලොකු එක්ස්ටර්නල් හාඩ් එකක අවශ්‍යතාවය ඇතිවෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු ගණන් සේව් කරලා තියන්න අවශ්‍ය ඩේටා නැති අයට, ඒ කියන්නේ පෙන් ඩ්‍රයිව් එකක අවශ්‍යතාවයට වගේ පාවිච්චි කරන අයට පොඩි සයිස් එක්ස්ටර්නල් හාඩ් එකක් හොඳටම ඇති. ඒ කිව්වේ ඔය යාලුවන්ගෙන් ෆිල්ම් එහෙම ඉල්ලගෙන ඇවිත් බලලා ඉවර වෙලා ඩිලිට් කරන අයට. අන්න ඒ වගේ තමන්ගේ අවශ්‍යතාවය අනුව එක්ස්ටර්නල් හාඩ් එකේ සයිස් එක තෝරගන්න පුළුවන්.

 

2. ඉස්පීඩ් එක?

දැන් හාඩ් එකේ සයිස් එක ගැන හිතලා බැලුවට පස්සේ අවධානය යොමු වෙන කාරණාව මේක තමයි. ඇත්තටම දැන් කාලේ හැටියට එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක ස්පීඩ් එක වැදගත්. මෙතනදී HDD එකකට වඩා SSD එකක් වේගවත් බවින් වැඩියි. ඒ ගැන ඉස්සරහට කතා කරනවා.

එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක ස්පීඩ් එක ගැන කතා කරනකොට, එකේ USB වර්ෂන් එක ගැනත් හිතන්න ඕන. කොටින්ම කිවුවොත් USB 2.0 එක්ස්ටර්නල් හාඩ් එකකට වඩා USB 3.0 එක්ස්ටර්නල් හාඩ් එකක් වේගවත් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.

හැබැයි තව කාරණාවක් තියෙනවා. ආදි කාලේ මැෂින් එකක් එක්ක නවීන සහ වේගවත් එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් පාවිච්චි කරලා, එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකේ ෆුල් ස්පීඩ් එකෙන් වැඩ ගන්න හිතන එක තේරුමක් නෑ! හැබැයි සාමාන්‍යයෙන් දැන් තියෙන ඕනම එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් පරණ USB පෝට් එක්කත් වැඩ කරන නිසා, පරණ මැෂිමකට ගහන්න බැහැයි කියලා එකක් නම් නෑ. උපරිම ට්‍රාන්සර් ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ. එච්චරයි.

 

3. SSDද? HDDද?

මෙන්න මේකත් එක්ස්ටර්නල් හාඩ් එකක් තෝරගන්න යන ගොඩක් අයට එන ප්‍රශ්නයක්. මොනවද මේ අකුරු කියන එක. HDD කියන්නේ හාඩ් ඩිස්ක් ඩ්‍රයිව් කියන එක. මේවා වඩාත් සාම්ප්‍රදායික, පැරණි තාක්ෂණේ හාඩ් ඩ්‍රයිව්. එතකොට SSD කියන්නේ සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් කියන එක. මේවා වඩාත් නවීන තාක්ෂණෙන් හදන, වඩා වේගවත් හාඩ් ඩ්‍රයිව්ස්. එතකොට මේකෙන් මොකද්ද තෝරගන්නේ?

මෙතනදී HDD සහ SSD අතර හොඳ නරක දෙකම තියෙනවා. අපි උඩින් කියපු මතක ධාරිතාවයන් සපයන්න HHD සහ SSD දෙකටම පුළුවන්. හැබැයි HDD එකක් කැපෑසිටි එකෙන් වැඩිවෙනකොට ප්‍රමාණයෙනුත් ටිකක් ලොකු වෙන්න බලනවා. SSD එකක ස්පීඩ් එක වැඩියි වගේම තාක්ෂණික දියුණුවෙනුත් ඉදිරියෙන් ඉන්නේ. ඉක්මනට හානි වෙන්න පුළුවන් හැකියාව ගත්තොත් SSD වඩාත් සුරක්ෂිතයි කියන්න පුළුවන්. හැබැයි ඉතින් මිල ගණන් අතින් බැලුවොත් තාමත් HDD එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව්ස් තමයි ලාබම.

 

4. පෝටබල්ද?

මේකත් ඉතින් අදාළ වෙන්නේ එක් එක් කෙනාගේ අවශ්‍යතාවයේ හැටියට තමයි. සාමාන්‍යයෙන් එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එක මේසෙන් එහාට යන්නෙ නැතිනම් සයිස් එක් ගැන වද වෙන්න දෙයක් නෑ. මේ සයිස් එක කිව්වේ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එක කොයි තරම් භෞතිකව ප්‍රමාණයෙන් විශාලද කියන එක. හැබැයි එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එක නිතර එහා මෙහා ගෙන යන එකක් නම්, ඒකට වඩා හුරුබුහුටි ප්‍රමාණයකින් නිර්මාණය කරපු එකක් තමයි ගැලපෙන්නේ. හැබැයි ඉතින් තමන්ට අවශ්‍ය කැපෑසිටි එකෙන් වඩා හුරුබුහුටි ප්‍රමාණයක එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් ටිකක් මිල වැඩි වෙන්න පුළුවන්.

 

5. ඔරොත්තු දෙනවද?

මේකත් ඉතින් ගොඩක් වෙලාවට ජංගම භාවිතාවයට හොයන එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකකට තමයි අදාළ වෙන්නේ.ගෙදර මේසේ උඩ තියෙන එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකකට ඉතින් අමුතුවෙන් උපද්‍රවයන් වෙන්න විදියක් නැහැනේ. හැබැයි ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් ජංගම භාවිතාවට සහ රළු භාවිතාවටම නිර්මාණය කරපු එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එහෙමත් වෙළඳපොළේ තියෙනවා. මේ එක්ස්ටර්නල් හාඩ් ගොඩක් වෙලාවට රබර් බාහිර කවරයකින් එහෙම ආවරණය වෙලා තියෙන්නේ. ඒවා ටිකක් ප්‍රමාණයෙන් නම් හැඩිදැඩියි තමයි. ඒත් ඉතින් ගලේ ගැහුවත් කැඩෙන්නෙ නැති වර්ගේ එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න එක, රළු පාවිච්චියට වටිනවා.

 

6. සෙකියුරිටි?

මේ කාරණාව නම් වැදගත් වෙන්නේ තමන්ගේ ෆිල්ම්ස් ටික සේව් කරලා තියන්න, සිංදු ටික සේව් කරලා තියන්න එක්ස්ටර්නල් හාඩ් එකක් හොයන කෙනෙක්ට නෙවෙයි. ඊට වඩා සංවේදී දත්ත තමන්ගේ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකේ සුරක්ෂිත කරලා තියන්න වෙන අයට තමයි මේ වැඩිමනත් ආරක්ෂක විධිවිධාන තියෙන එක්ස්ටර්නල් හාඩ් හොයන්න වෙන්නේ.

සාමාන්‍යයෙන් ඕන එක්ස්ටර්නල් හාඩ් එකකට එන්ක්‍රිප්ෂන් දාන්න පුළුවන්. ඒකට පහසුකම ඔය ඔපරේටින් සිස්ටම් වලින් පවා දීලා තියෙනවා. හැබැයි ඊට එහා ගියපු ආරක්ෂාවක් ඕන නම්, හාඩ්වෙයාර් එන්ක්‍රිප්ෂන් තියෙන එක්ස්ටර්නල් හාඩ් එකක් තෝරගන්න ඕන. එහෙම ඒවත් තියෙනවා. හැබැයි ගණන් එහෙම වැඩියි.

 

7. මිල ගණන් කොහොමද?

ඇත්තටම අපේ බජට් එකත් බලපානවනේ එක්ස්ටර්නල් හාඩ් එකක් තෝරගන්න. දැන් එක්ස්ටර්නල් හාඩ් වල මිල ගණන් ගැන හිතුවහම, ගොඩක් වෙලාවට මිල වෙනස් වෙන්නේ හාඩ් එකේ ප්‍රමාණය එක්ක. හැබැයි ඒ එක්කම හාඩ් එකේ ස්පීඩ් එක, වර්ෂන් එක, ටෙක්නොලොජි එක වගේ සාධකත් මිල එහා මෙහා වෙන්න පොඩ්ඩක් බලපානව. ඒ වගේම හාඩ් එකේ බ්‍රෑන්ඩ් එකත් මිල එහා මෙහා වෙන්න බලපානවා.

සාමාන්‍යයෙන් ගත්තොත් ටෙරාබයිට් 1 ක හාඩ් එකක් රුපියල් 10,000 ක ඉඳලා 12,000 ක් විතර වෙනකල් ගන්න පුළුවන්. ටෙරාබයිට් 2 ක හාඩ් එකක් රුපියල් 15,000 වගේ ඉඳලා ඉහළට ගන්න පුළුවන්. එතකොට ටෙරාබයිට් 4 ක හාඩ් එකක් රුපියල් 21,000 න් උඩ තමයි තියෙන්නේ. ටෙරාබයිට් 6 ක හාඩ් එකක් රුපියල් 28,000  පනිනවා. ටෙරාබයිට් 8 ක හාඩ් එකක් රුපියල් 37,000 පනිනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ.

මේ මිල ගණන් අඩු වැඩි වෙන්න පුළුවන් රටේ ටැක්ස් එක්ක. ඒ වගේම පිට රටකින් ගන්නකොට මිල ගණන් සැලකිය යුතු විදියට අඩු වෙන අවස්ථාත් තියෙනවා.

 

8. එන්ක්ලෝසර් එකෙන් එක්ස්ටර්නල් හාඩ් එකක්?

ඊට අමතරව තව කියන්න දෙයක් තියෙනවා. දැන් ඔය ගෙවල් වල සමහර වෙලාවට තියෙනවනේ පරණ වැඩ කරන්නෙ නැති කොම්පියුටර්, ලැප්ටොප් එහෙම. ඒවා වැඩ කරන්නෙ නැති වුනාට ගොඩක්ම වෙලාවට ඒකේ හාඩ් ඩිස්ක් එක නම් තාම වැඩ කරන්න ඕන. සාමාන්‍යයෙන් ඔය මැෂින්වල හාඩ් ඩිස්ක් සෑහෙන්න කල් පවතිනවා. ආන්න එහෙම හාඩ් ඩ්‍රයිව් එකක් තියේ නම්, ඒක එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් කරගන්නත් පුළුවන්. කොහොමද? කම්පියුටර් කඩෙන් ගන්නවා හාඩ් ඩිස්ක් එන්ක්ලෝසර් එකක්. සාමාන්‍යයෙන් හාඩ් ඩිස්ක් එන්ක්ලෝසර් එක ගන්න ඕන අපි ගාව තියෙන ඉන්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකේ ප්‍රමාණයේ හැටියට තමයි. මේ එන්ක්ලෝසර් අඩුම මිල එව්වා රුපියල් 1000 ක් වගේ වෙනකොට, ඉතාම හොඳ එන්ක්ලෝසර් එකක් රුපියල් 4,000 ක් විතර මිල වෙයි. හැබැයි ඉතින් සම්පූර්ණයෙන්ම එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් මිලදී ගන්නවට වඩා මේ ක්‍රමේ ලාබයි, අපි ගාව අර කිව්වා වගේ වැඩ කරන්නෙ නැති මැෂිමක ඉන්ටර්නල් හාඩ් එකක් තියේ නං!

 

ඔය ඔක්කොමත් බලලා, අන්තිමට එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එක ගන්න හොඳ තැනක් තෝරගන්න ඕනනේ. ආන්න එතකොට ඒ අය දෙන වොරන්ටි එක ගැනත් හිතන්න. ඔය පොඩි කඩේකින් වගේ ගන්නවා නම්, අනිවා ඒජන්ට් වොරන්ටි එකක් ගන්න එක තමයි යෝග්‍ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *