උඩවලව පැත්තේ යනවනම් මේ ප්ලේසස් 7ම කවර් කරන් එන්න

උඩවලව කිව්වොත් අපි දන්නෙ උඩවලව කැළේ සෆාරි යන්නනේ. ඒ උනාට උඩවලව පැත්තෙ තව බලන්න දේවල් ගොඩක් තියනවා. බලන්න ඔයාලා මේ තැන් දැනගෙන හිටියද කියලා? ලංකාවේ මේ වගේ තව නොගිය තැන් ගොඩක් දැනගන්න අපිත් එක්ක ඉන්න කියන ගමන්, ගිහින් බලලා අපිට තව විස්තර හොයන් එන්න කියලත් මතක් කරනවා ඔන්​න හොඳේ.

 

1. උඩවලව ජාතික වනෝද්‍යානය

උඩවලව ජාතික වනෝද්‍යානය කියන්නෙ වනසතුන් බලන්න යන්න කියාපු ප්ලේස් එක. ගයිඩ් කෙනෙකුත් එක්ක සෆාරි ජීප් එකක් අරගෙන ඕනම වෙලාවක බලන්න යන්න පුළුවන්. මෙහෙ යනවානම් මතක තියාගන්න ඕනේ විශේෂ කරුණු ටිකක් තියනවා. වන අලි ගහණය බහුල නිසා ඔයාලගෙ ගයිඩ් කියන දේට පිටින් වැඩ කරන්නම එපා. ඒ වගේම විශේෂ හේතුවක් ඇර වාහනයෙන් බහින්නම එපා. බීමට වතුර අරගෙන යන්න අමතක කරන්න එපා. අතරමඟදි මහ ඇත්තොලා හම්බෙනවා. දැනට අලි 600කගෙ විතර වාසස්ථාන වෙලා තියෙන්නෙ උඩවලව. හැබැයි කිසිම කළබලයක් නොපෙන්වා යන්න වගබලාගන්න. ඒ වගේමයි උදේ 5-6ත් අතර ගියාම කුරුළු විශේ​ෂ ඇතුළුව තව සත්තු වර්ග ගොඩාක් එහෙම බලාගන්න පුළුවන්.

මාර්ගය -: කොළඹ – ඇඹිලිපිටිය පාරෙ ගිහින් උඩවලව හංදියෙන් වමට හැරිලා කි.මි.8ක් යන්න.

 

2. උඩවලව අලි අනාථාගාරය /Transit home

උඩවලව වනෝද්‍යානය ඇතුළෙම 1995 වර්ෂයේදි වනජීවී දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කරපු මේ අලි අනාථාගාරයේ මූලිකම අරමුණ වෙන්නෙ අනාථ උනු අලි පැටවුන් මුදාගෙන හදාවඩා නැවත වනයටම මුදාහැරීමයි. වනෝද්‍යානය බලන්න යන කොයි කාටත් වෙලාවක් වෙන් කරගෙන මේක බලන්න යන්න පුළුවන්. මෙහෙම ආයතනයක් බිහි වෙන්න හේතුව ලංකාවෙ දැනට සිද්ධ වෙන වල් අලි මරාදමා දළ ලබා ගැනීම් නිසා අනාථ වෙන අලි පැටවුන්ට සරණක් වෙන්නයි. ඒ වගේම එයාලා හැමදාම එතන ඉන්නෙ නෑ. එයාලව වන​යට මුදා හරින නිසා මේක එයාලගෙ තාවකාලික නවාතැන්පොළක් විතරයි. අලි ඇතුන්ට වනෝද්‍යානය පසුබිම හුරු කරවන්නත් මේකෙ කොටසක් තියනවා. ඒ වගේම අනික් සියළුම අවශ්‍ය පහසුකම් එයාලට සපයලා තියනවා. ඔයාලත් ගිහින් සැප දුක් බලලා එන්න එයාලගේ.

 

3. උඩවලව ඩෑම් එක

උඩවලව පැත්තෙ සංචාරය කරන අයට බලන්න පුළුවන් තවත් තැනක් තමයි මේ ඩෑම් එක. දකුණු පළාතේ තියන විශාලම වේල්ලක් තමයි මේ. වාන් දොරටු 5කින් මුදා හරින ජලයෙන් මෙගා වොට් 2ක විදුලි බල උත්පාදනයක් වෙනවා කියලයි අපිට ආරංචි උනේ. ඒ වගේම ඩෑම් එක මැද තවත් අමතර වාන් දොරටු 2ක් තිය​නවා. වලවේ ගඟෙන් වතුර අරන් හදපු මේ ඩෑම් එකේ සම්පුර්ණ දිග කි.මි.3.9ක් වෙනවා. 1969 තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම මේකෙන් හැදුණු උඩවලව ජලාශයේ සම්පුර්ණ දු​ර කි.මි.8.6කට විහිදෙනවා. ඒ පැත්තේ පාරවල් නම් දැන් හොඳට හදලා නිසා බය නැතුව වටේම කරක් ගහලා එන්න පුළුවන්.

 

4. පනාමුරේ ඇත්ගාල හා දිය බුබුල

පනාමුරේ කියන නම අපිට හරි හුරුයි වගේ නේද? සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටලා තියන ගමක් තමයි මේ පනාමුරේ කියන්නේ. ඒක කොළඹ ඉ​ඳලා ගත්තොත් කි.මි.171ක් දුරයි. ඒවගේම රත්නපුරේ ඉ​ඳලත් කි.මි.55ක් ඇතු​ළට වෙන්න තියන ගමක් මේක. මේ ගම්මානේ වැදගත් වෙන්​නෙ ඉස්සර ඇත් ගාලවල් පිහිටලා තිබුණු නිසා. ඒ කාළේ 1896 ඉඳලා 1950 වෙනකල් දොළොස් වතාවක් මෙහෙම ඇත්ගාලවල් පවත්වලා තියනවා කියලයි කියන්නෙ. මේ ගමේ ස්වභාවික දිය බුබුලක් වටා තමයි මේ ඇත්ගාලවල් පිහිටලා තියෙන්නේ. 1950 අවුරුද්දේ මෙහෙම ඇත් ගාලකට අලින් 17ක් ඇතුල් කරපු වෙ​ලේ එක් අලියෙක් කුලප්පු වෙලා වෙඩි තියලා මරන්න උන සිදුවීමෙන් පස්සෙ වල් අලි අල්ලා ගැනීම හා ඝාතනය තහනම් කියලා නීතියෙනුත් සම්මත වෙන්න ඒ සිදුවීම හේතු උනා. ඒ වගේම එහෙ තියෙන මේ දියබුබුල අතීතයේ ගොවිතැන සඳහා වතුර ලබාගන්න උපකාර වෙලා තියනවා. ඒ නිසාම ගම්මුන්ගේ ගරුත්ව​යට පාත්‍ර උන බුබුලක් මේක. දැන්නම් නීතිවිරෝධී විදියට මැණික් ගරලා වගේ වැඩ නිසා බුබුලේ වතුර අඩුවෙලා තියෙන්නේ.

 

5. මඩුවන්වෙල වලව්ව

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය හා සූරියකන්ද අතර තමයි මේ මඩුවන්වෙල වලව්ව පිහිටලා තියෙන්නේ. මේ වලව්ව රජකාලේ දක්වාම දිවෙන එකක්. ඒ කියන්නෙ දෙවන විමලධර්මසූරිය රජුගෙ කාලේ මඩුවන්වෙල මොහොට්ටාල විසින් ඉදිකරපු එකක් කියලයි කියන්නේ. අන්තිමට මඩුවන්වෙල මහදිසාවේ තමා මේ වලව්වට දායක වෙලා තියෙන්නෙ. එයා නැති උනාට පස්සෙ මේ වලව්වේ අයිතිය මාරු උනේ සර් ෆ්‍රැන්සිස් මොලමුරේට. මේ වලව්වේ කාමර 121ක්, මැද මිදුල් 21ක් විතර තිබ්බත් දැනට ඉතුරු වෙලා තියෙන්නෙ කාමර 43ක් විතරයි. දැනටත් ගියාම බලන්න පුළුවන් මිනිස්සු 100කට විතර ඉඳගන්න පුළුවන් උසාවියක් වගේම අතීත ගෘහභාණ්ඩ තවමත් ප්‍රදර්ශනය කරලා තියනවා. මේ වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෞතුකාගාරයක් බවට පත් කරලා තියෙන මේ වලව්ව ඕන කෙනෙක්ට නරඹන්න පුළුවන්. කොළඹ ඉ​ඳලා මුළු දුර කි.මි. 207ක්.

 

6. වවුල්පනේ ඇල්ල හා ගල්ගුහා

මේකත් රත්නපුර දිස්ත්‍රික්කයේ තියන මීටර් 45ක් විතර උස දිය ඇල්ලක් වෙන වවුල්පනේ ඇල්ල සොබාදහමේ අපූර්ව නිර්මාණයක් කිව්වොත් ඒක 100%ක් නිවැරදී. ඒක එහෙ​ම වෙන්නෙ මේ දියඇල්ල පිහිටලා තියෙන්නෙ හුණුගල් ගුහාවක නිසා. ඒ කියන්නෙ මේක අභ්‍යන්තර දියඇල්ලක්. 1960 ගවේෂණ​යකට ආපු ප්‍රංශ හා ලාංකික විද්‍යාඥයින්ට අනුව වසර බිලියන 500කට එහා අතීතයක් මේ ගුහාවට හා ඇල්ලට තියනවා. දැන්නම් ඒක වවුලන්​ගෙ රජදහනක්.

 

7. වලල්ගොඩ ටැම්පිට රජමහා විහාරය

ලංකාවේ දැනට ඉතිරි වෙලා තියන ටැම්පිට විහාර කිහිප​යෙන් එකක් තමා මේ වලල්ගොඩ ටැම්පිට විහාරය. මේ ටැම්පිට විහාරයේ සුවිශේෂී බව වන්නේ රූප මන්දිරය බිම් මට්ටමට ඉහළින් ඉදිකර තිබීමයි. සමහර දෙවොල් ගල් කුළුණු මුදුනේත්, සමහර දෙවොල් ලී කුළුණු මුදුනේත් ඉදි කරලා තියනවා. ඒ වගේම නුවර යුගයේ බිතුසිතුවම් වලටත් ප්‍රසිද්ධ පන්සලක් වෙන මේක ගිහිල්ලල බලලා වැඳ පුදාගෙන ආවට කාරි නෑ හො​ඳේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *