අපේ රටේ ජාතික ඇඳුම මොකක්ද කියන එක ගැන ලොකු විවාදයක් තියනවා. ඇත්තටම කල්පනා කරලා බැලුවොත් එහෙම අපේ රටේ ජාතිය සහ ජන වර්ගය අනුව ඔවුන් විසින් පිළිගනු ලබන ජාතික ඇඳුම වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට සිංහල ජනතාව සරම සහ ෂර්ට් එක පිරිමි පාර්ශ්වයේ ජාතික ඇඳුම විදිහට සලකද්දි කාන්තා පාර්ශවයේ ජාතික ඇඳුම විදිහට සැලකෙන්නේ සාරිය. ප්‍රාදේශීය බෙදීම් අනුව ගත්තොත් එහෙම උඩරට ප්‍රදේශවල නිලමේ ඇඳුම සහ ඔසරිය තමන්ගේ ජාතික ඇඳුම විදිහට සලකනවා. දෙමළ ජනවර්ගය ගැන බැලුවොත් එහෙම පිරිමි පාර්ශවය වේට්ටිය සහ කමිසයකින් සැරසෙද්දී කාන්තා පාර්ශ්වය ඔවුන්ටම අනන්‍ය වූ ක්‍රමයකට සාරිය අඳිනවා. බර්ගර් ජනතාව සම්පූර්ණයෙන්ම යුරෝපා ක්‍රමයේ ඇඳුම් පැළඳුම් තමන්ගේ ජාතික ඇඳුම් විදිහට සලකනවා. ලංකාවේ ජාතික ඇඳුම පිළිබඳව විවිධ විවාද පැවතුණත් ලෝකයේ ඇතැම් රටවල, ප්‍රදේශවල ජාතික ඇඳුම නිශ්චිතයි. අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ රටවල් කීපයක ජාතික ඇඳුම් පිළිබඳවයි.
1. ඩියන්ඩල් (Dirndl)
ජර්මනියේ ඇල්ප්ස් කඳු වැටි ආශ්‍රිත ප්‍රදේශයේ ආරම්භ වූවා යැයි සැලකෙන මෙම කාන්තා ඇඳුම පසුව එම කඳුවැටිය ආශ්‍රිත ඔස්ට්‍රියාව, ස්විස්ටර්ලන්තය සහ ඉතාලිය වැනි රටවලද ප්‍රචලිත වුණා. වර්තමානයේදී ඇල්ප්ස් ප්‍රදේශය ආශ්‍රිතව ජනවර්ගවල කාන්තාවන්ගෙ නිල නොලත් ඇඳුම බවට මෙය පත්ව තිබෙනවා. මුල් කාලයේදී ගෙවිලියන් අතර පමණක් සීමාව තිබූ මෙම ඇඳුම 19 වැනි සියවසේ අග භාගයේදී විලාසිතා ලෝකයටත් ප්‍රවේශ වුණා.
2. සල්වාර් (Salvar)
මේ නම ඇසුණු සැණින් ඔබට මතක් වන්නේ කාන්තා ඇඳුමක් පමණක් වුවත් පුරාණ තුර්කිය තුළ මේ නමින් හැඳින්වෙන ඇඳුම් කාන්තාවන් සහ පිරිමි දෙපාර්ශවයම විසින්ම අඳිනු ලැබුවා. කෙසේ නමුත් තුර්කි විප්ලවයෙන් පසුව බලයට පැමිණි නායකයන් විසින් තුර්කියට නව ජාතික ඇඳුමක් හඳුන්වා දෙනු ලැබුවා. එහෙත් තවමත් සාම්ප්‍රදායික තුර්කි ජනතාව මෙම ඇඳුමට ප්‍රියතාවයක් දක්වනු ලබනවා
3. කිල්ට් (Kilt)
බටහිර චිත්‍රපටි නැරඹීමට ප්‍රිය කරන ඔබ ස්කොට්ලන්තය පසුබිම් කරගෙන නිර්මාණය වන පැරණි කතාවල පිරිමි පාර්ශවය කෙටි සායක් වැනි ඇඳුමක් හැඳ තිබෙන බව දැක ඇති බව නොඅනුමානයි. මෙම ඇඳුම කිල්ට් ලෙස හැඳින්වෙන අතර ස්කොට්ලන්තයේ ජාතික අනන්‍යතාවයේ කොටසක් බවට මෙය පත්ව තිබෙනවා. එරට ජාතික ක්‍රීඩාවල සහ සංගීතයේ ප්‍රධාන තැනක් ගන්නා බැග්පයිප් සංගීත භාණ්ඩය වාදනය කරන්නන් මෙම ඇඳුමෙන් සැරසීම මේ වනවිට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා.
4. Gele (ගෙලී)
අප්‍රිකාවේ දකුණුදිග ප්‍රදේශවල කාන්තාවන් සිය යටිකයට අඳින ඇඳුම්වල වෙනස්කම් දකින්නට ලැබුණත් ඔවුන් සිය හිස ආවරණය කර ගැනීම සඳහා රෙදි වලින් සකසන ලද ආවරණයක් භාවිතා කරනවා. කලාපයේ එක් එක් රටවලට සාපේක්ෂව මේ සඳහා භාවිතා කරන විලාසිතාව සහ නම වෙනස් වුවත් එය එම ප්‍රදේශවල කාන්තාවන්ට සිය අනන්‍යතාවය පිළිබිඹු කරන අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා. මෙම ශීර්ෂාවරණයේ අතීතය පිළිබඳව විවිධ පුරාකතා පවතිනවා.
5. ලෙඩර්හෝසන් (Lederhosen)
ලෝකය පුරා පැවැත්වෙන ඔක්ටෝබර්ෆෙස්‍ට් සැණකෙළි සඳහා ඔබ සහභාගි වී ඇත්නම් හෝ එම සැණකෙළි දර්ශන ඔබ නරඹලා ඇත්නම් ඊට සහභාගි වන පිරිමි පාර්ශවය කොට කලිසමක් වැනි ඇඳුමක් ඇඳ ඇති බව ඔබට මතක ඇති. දකුණු ජර්මනියේ පිරිමි පාර්ශවය මෙම ඇඳුම වෙත අතීතයේදී යොමුව තිබෙන්නේ එය හැඳගෙන වැඩ කිරීමට ඇති පහසුව නිසයි. වර්තමානයේදී ඩියන්ඩල් ඇඳුම මෙන්ම මෙම ඇඳුම ද විලාසිතාවක් ලෙස දකුණු යුරෝපය තුළ ජනප්‍රියව පවතිනවා.
6. ඝෝ (Gho)
වර්තමානයේදී භූතානය තුළ පාසල්වල සහ රාජ්‍ය ආයතන වල පිරිමි පාර්ශ්වයට එරට ජාතික ඇඳුම වන ඝෝ ඇඳුමින් සැරසී සිටීම අනිවාර්ය වී තිබෙනවා. ඒ හරහා ඔවුන් අපේක්ෂා කරන්නේ තමන්ගේ රාජ්‍යයේ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමයි. එම ඇඳුම ලෝගුවකට සමාන වන අතර භූතානය වැනි ශීත කාලගුණයක් සහිත රටකට ගැලපෙන පරිදි එය සැකසී තිබෙනවා.
7. බූනඩ් (Bunad)
නෝර්වේ ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල ජාතික ඇඳුම ලෙස පිළිගැනෙන මෙම ඇඳුම ද අතීතයේ දී ගොවි ප්‍රජාව අතර භාවිතා වූ ඇඳුමක්. එම රටවල ජාතික ප්‍රබෝධයට සමගාමීව සිය සාම්ප්‍රදායික ගැමි ඇඳුම වූ බූනඩ් සඳහා ජාතික ඇඳුමක තත්ත්වය ලබාදීමට එරට ජනතා ව්‍යාපාර කටයුතු කර තිබුණා. තමන් සහභාගි වන අවස්ථාව අනුව මෙම ඇඳුමට එක්වන විචිත්‍රාංග වෙනස් වෙනවා.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply