ඉපැරණි සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාව

ලෙඩදුක් කරදර වලදි අපි ඉස්සෙල්ලම දුවගෙන යන්නෙ හන්දියේ ඉංග්‍රීසි දොස්තර මහත්තය ලඟට උනත් ඔය ගෙදර දොරේ පොඩි පොඩි අසනීපෙකදි තාමත් අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ ඉඟුරු කොත්තමල්ලි, පස්පංගුව වගේ දේශීය ප්‍රතිකාර. බඩේ ගායකට ක්‍රිමිරාජ ගුලි, නැත්තම් ගමේ වෙදමහත්තය දෙන බෙහෙත් ගුලි නැති ගෙදරක් තාමත් මේ රටේ තියෙන්නෙ එහෙන් මෙහෙන්. ඒ විතරක්යෑ, කැඩුම් බිඳුම් වලදී, සර්ප දෂ්ටන වලදී එහෙම තාමත් අපි දුවන්නෙ ගමේ වෙදමහත්තය හොයාගෙන. ඒ කියන්නෙ කොච්චර අලුත් දේවල් ආවත් මේ පාරම්පරික වෙද හෙදකම් ගැන අපිට තියෙන විශ්වාසය තාමත් එහෙම්මමයි. ඒ වගේම තමයි ඒ වෙදකමේ බලයත්. ඔය ඒරොප්පෙන් ආපු ඉංගිරීසි බෙහෙත් වලට මට්ටු කරන්න බැරි බොහොමයක් ලෙඩ මට්ටු කරන්න තාමත් මේ යන්තමට හරි ඉතුරු වෙලා තියෙන ආයුර්වේද සාස්තරේට පුළුවන්. ඒ විශ්මිත වෙදකම්  නිසාම දැන් දැන් බටහිර රටවල පවා මේ ආයුර්වේදය ජනප්‍රියයි. කොටින්ම ලංකාව වගේ පෙරදිග රටවලට සංචාරකයෝ ආකර්ෂණය වෙන්නත් දැන් මේ ආයුර්වේද වෙද හෙදකම් හේතුවක් වෙලා. ඉතින් ඒ ඉපැරණි ආයුර්වේද ශාස්ත්‍රය ගැන කතා නොකර කොහොමද?

 

1. ආයුර්වේදයේ උපත

ඉපැරණි හෙළ වෙද කලාව කියල අපි කතා කරන්න පටන් ගත්තට මේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය ලංකාවට එන්න කලින්, ඒ කියන්නෙ බොහොම ඈත ඉතිහාසයේ මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ උපත සිදුවෙලා තියෙන්නෙ ඉන්දියාවේ. ධන්වන්තරි නම් සෘෂිවරයෙක් විසින් තමයි මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉන්දියාවට හඳුන්වා දුන්න කියල සැලකෙන්නෙ. මේ සෘෂිවරයා හඳුන්වා දුන්න ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය බුද්ධ වර්ෂ 3000 තරම් පැරණි, මෝහන්දෝ-ජාරෝ, හරප්පා කියන ඉන්දු නිම්න ශිෂ්ටාචාර තරම්ම ඈත අතීතයකට දිව යනවා. 

 

2. ලංකා ආගමනය

ඉතින් කලිනුත් කිව්ව වගේ මේ වටිනා ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය අපිට හිමිවෙන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවෙන්. මේ ආයුර්වේද දැනුම අපිට ලැබෙන්න කලින් ලෙඩරෝග සුව කරන්න අපි භාවිතා කළේ සිංහල වෙදකම, එහෙමත් නැත්තම් හෙළ වෙදකමයි. මේ හෙළ වෙදකමයි, ආයුර්වේදයයි කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් ඉගැන්වීම් දෙකක්. මේ හෙළ වෙදකම කියන්නෙ අතීතයේ පුලස්ති සෘෂිවරයා වගේ අය භාවිතා කරපු ඉතා විශ්මිත වෛද්‍ය ක්‍රමයක්. අදටත් අතරින් පතර ඉතුරුවෙලා ඉන්න පාරම්පරික සිංහල වෙදමහත්තුරු භාවිතා කරන්නෙ මේ ඉපැරණි හෙළ වෙදකම. හැබැයි අපි මේ කතා කරන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විදිහට දැන් ලංකාවේ භාවිත වෙන ශාස්ත්‍රය නම් උතුරු ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය දැනුම, දකුණු ඉන්දියානු සිද්ධ වෛද්‍ය දැනුම, අරාබි යුනානි වෛද්‍ය දැනුම සහ සහ ශ්‍රී ලංකාවේ පාරම්පරික හෙළ වෙදකම කියන ඔක්කොගෙම එකතුවක්. 

 

3. ආයුර්වේදය යනු?

ආයුර්වේදය කියන්නෙ වචන දෙකක එකතුවකින් හැදුන නමක්. ආයුෂ් කියන්නෙ දීර්ඝ ජීවිතය. වේදය කියන්නෙ විද්‍යාව, එහෙමත් නැත්තම් ශාස්ත්‍රය. ඉතින් යහපත් ලෙස දීර්ඝ ජීවිතයක් ගත කිරීමට ඉගැන්වෙන විද්‍යාව තමයි ආයුර්වේදය කියල කියන්නෙ. ශාක භාවිතයෙන් සකස් කරගන්න විවිධ ඖෂධ වර්ග වගේම මන්තර ශාස්ත්‍රය භාවිතයෙනුත් ලෙඩරෝග වලට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයන් මේ ආයුර්වේදය තුළ අන්තර්ගතයි. 

 

4. ආයුර්වේද සම්ප්‍රදායන්

පෞරාණික ආයුර්වේදය ප්‍රධාන සම්ප්‍රදායන් තුනකින් සමන්විතයි.

 

ආත්‍රෙය සම්ප්‍රදාය

මේ ආත්‍රෙය කියන සෘෂිවරයාගෙන් පැවතගෙන එන සම්ප්‍රදාය. මේ සම්ප්‍රදායේදී වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙන්නේ කාය චිකිත්සාවට. 

 

කාශ්‍යප සම්ප්‍රදාය

කාශ්‍යප කියන සෘෂි වරයාගෙන් පැවත එන සම්ප්‍රදාය කාශ්‍යප සම්ප්‍රදාය ලෙස හැඳින්වෙනවා. 

 

සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය

මුලින්ම කියපු ආත්‍රෙය සෘෂි වරයාගේ මූලිකත්වයෙන් පැවති වෛද්‍ය සාකච්ඡාවකට ලංකාවෙන් සහභාගී වුන අගස්ති මුණිවරයා දක්ෂිණ භාරතයේ අසුරයන් සමඟ එක්වී බෞද්ධ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් බිහිකළ සම්ප්‍රදාය තමයි සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය කියන නමින් හැඳින්වෙන්නේ. 

 

5. ආයුර්වේදයේ සිද්ධාන්ත

ආයුර්වේදය ගොඩනැගෙන්නෙ මූලික සිද්ධාන්ත දෙකක් මතයි. ඒ පංච මහා භූත සිද්ධාන්තය සහ ත්‍රි දෝෂ සිද්ධාන්තය. පංචමහා භූත සිද්ධාන්තය කියන්නෙ විශ්වය නිර්මාණය වුන පටවි, අපෝ, තේජෝ, වායෝ සහ ආකාශ කියන පංච මහා භූතයන් මූලික කරගෙන ගොඩනැගුණු සිද්ධාන්තය. වා, පිත්, සෙම් යන තුන්දොස් මූලික කරගෙන ගොඩනැගුණු සිද්ධාන්තය ත්‍රි දෝෂ සිද්ධාන්තය විදිහට හැඳින්වෙනවා. 

 

6. වර්තමාන ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය

අපි කලිනුත් කිව්ව වගේ වර්තමානය වෙද්දි ආයුර්වේදය එහෙමත් නැත්තම් මේ පෙරදිග වෛද්‍ය ප්‍රතිකාර වලට ලෝකය නැඹුරු වෙමින් ඉන්න කාලයක් තමයි මේ. ඉතින් ඒ නිසාම ලංකාවෙත් මේ ආයුර්වේද ප්‍රතිකාර වලට වගේම ආයුර්වේද අධ්‍යාපනයට යොමුවෙන පිරිසත් බොහොම වැඩියි. පාරම්පරික හෙළ වෙදකම ඉගෙන ගන්න පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන පිරිසට අමතරව දැන් මේ ආයුර්වේදය ඉගෙනගෙන පෙරදිග වෛද්‍ය ප්‍රතිකාර කරන වෛද්‍යවරුත් සමාජයේ දකින්න පුළුවන්. ඒ වෙනුවෙන් සකස් කෙරුණු විධිමත් උපාධි පාඨමාලා කැලණිය විශ්විද්‍යාලය අනුබද්ධ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද පාසලෙනුත්, කොළඹ විශ්වවිද්‍යාලයෙනුත් ලබාදෙනවා. 

 

7. ආයුර්වේද වෛද්‍ය සභාව

1961 අංක 31 දරන ආයුර්වේද පනත යටතේ පිහිටවපු මේ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් මූලිකවම සිදු කෙරෙන්නෙ වෛද්‍ය වෘත්තිකයන් නිසියාකාරව ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධ පර්යේෂණ කටයුතු දියත් කිරීම. අර කලින් කියපු ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනය උපාධි මට්ටමෙන් පිළිගැනීම සිදු කරන්නෙ මේ ආයුර්වේද වෛද්‍ය සභාවෙන්. එහෙම උපාධියක් අරගෙන නියමාකාරයෙන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වුණ අයට විතරයි “වෛද්‍යාචාර්ය” කියන නාමය භාවිතා කරන්න අවසර ලැබෙන්නෙ. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *