මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා ආටිකල් එක පටන් ගන්න කලින්.අපි මෙතන කරන්නේ ගැහැණුන්ට පහර ගැහීමක් නෙවෙයි කියන එක. ඒ වගේම, මේ කියලා තියෙන දේවල් හැම ගැහැණියකටම පොදුයි කියලත් නෙවෙයි. සරලවම කියනවා නම්, සමහර ගැහැණුන්ගෙත් ප්‍රශ්න තියෙනවා, සමහර පිරිමින්ගෙත් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ ලෝකේ තියෙන ගැහැණු පිරිමි බෙදීම නිසාම ඇතිවුණු ප්‍රශ්නත් තියෙනවා. ගොඩක් වෙලාවට අන්න ඒ ගැහැණු පිරිමි බෙදීම නිසා තමයි අපි මේ කියන්න යන විදියේ දේවල් වෙන්නේ. ඒ කියන්නේ පිරිමින්ට ගැහැණු සංහතියම එපා වෙන විදියට සමහර ගැහැණු කරන දේවල් සිද්ධවෙන්නේ!
1. මොකද ඇඟට එන්නේ?
දැන් අපි බස් එකක හරි කෝච්චියක හරි යන එක ගැන කතාකරනකොට, අපේ ඔලුවට එන්නෙම පොල් පටෝලා වගේ සෙනඟ පැක් කරගෙන යන කෝච්චියක් හරි බස් එකක් හරිනේ. ඇත්තටම ඒක එහෙම තමයි. ඒක ඉතින් ශ්‍රී ලංකාව වගේ රටක තියෙන ප්‍රශ්නයක්නේ. එතකොට ඒ ඔස්සේ එන තවත් ප්‍රශ්නයක් තමයි ඔය බස් වල කෝච්චි වල කාන්තාවන්ට සිදුවෙන හිරිහැර අතවර. ඒවත් බොරු නෙවෙයිනේ. ගැහැණු ගිහින් මිනිස්සුන්ට ජැක් ගහන්නෙ නැහැනේ. හැබැයි පිරිමි ගිහින් ගැහැණුන්ට ජැක් ගහනවා. ඕක කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙනකොට, පිරිමියෙක් බස් එකකදී ඇඟේ ගෑවුණත් ගැහැණියක් වපර ඇහෙන් බලන එකට අපිට බණින්න අමාරුයිනේ. ඒක ඇත්ත. හැබැයි අපිට ප්‍රශ්නේ ඇත්තටම විසඳන්න ඕන නම්, හැම පිරිමියෙක්ම ජැක් කාරයෙක් ය කියන අදහස නැති කරන්න වෙනවා. මොකද ඇත්තටම එහෙම නෙවෙයි. අන්න ඒ නිසා, බස් එකකදී හරි කෝච්චියකදී හරි පිරිමියෙක් ඇඟේ ගෑවුණත් ඔරවලා කුඩේ අතට ගන්න එපා කියන එක තමයි කියන්න වෙන්නේ. මොකද, ඇත්තටම එහෙම නොවෙන පිරිමියෙක් ඊට පස්සේ බස් එකකදී ගැහැණියකට සීට් එකක්වත් දෙන්න ඉදිරිපත් වෙන එකක් නෑ.
2. ආත්ම අභිමානයට පහරක්!
දැන් ගෑණු පිරිමි භේදයක් නැතුව ඕනම මනුස්සයෙක්ට තමන්ගේ ආත්ම අභිමානයක් තියෙනවනේ. අන්න ඒ ආත්ම අභිමානයට පහරක් එල්ල වුණහම, ඒක දරාගන්න ඕනම කෙනෙක්ට අමාරුයි. දැන් සමහර ගෑණු කට්ටිය ඉන්නවා, පිරිමින්ට ගහන නිලේ ඒක තමයි. විශේෂයෙන්ම සෙක්ස් සම්බන්ධ කාරණාවකදී එහෙම කියන්නේ “වැඩක් යැයි ඉතින්, කට නං තියෙනවා, අහවල් වැඩේවත් කරගන්න පුළුවන් නං මදෑ” කියලා. හැබැයි ඔය සෙක්ස් සම්බන්ධයෙන් නේ. ඒත් සෙක්ස් අදාළ නොවෙන පොඩි පොඩි තැන්වලදී පවා නොහිතා පිරිමියෙක්ගේ ආත්ම අභිමානයට පහර වදින දේවල් ගැහැණු කියනවා. සරලවම කිව්වොත් “අපෝ ඒකවත් කරගන්න බැහැනේ” කියලා නොහිතා කියන එක වුණත් ඇති පිරිමියෙක්ගේ ආත්ම අභිමානය කුඩුපට්ටම් වෙන්න!
3. මදිපුංචිකං
සමහර තැන් වලදී ඔය ගැහැණු සෙට් එකක් මැද්දට එක පිරිමියෙක් සෙට් වෙන අවස්ථාවන් තියෙනවනේ. ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එකකදී වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඉගෙන ගන්න තැන ටීම් ප්‍රොජෙක්ට් එකකදී වෙන්න පුළුවන්. මේ වගේ තැනකදී සමහර වෙලාවට සිද්ධ වෙන දෙයක් තමයි, අර ගැහැණු සෙට් එකම පිරිමියාව බයිට් එකට ගන්න එක. හෝව් පොඩ්ඩක්, ඒ කියන්නේ ගැහැණු සහ පිරිමින්ට විහිළු කරගන්නත් බැරිද? නෑ මේ කියන්නේ විහිළු කිරීම ගැන නෙවෙයි. ඊට වඩා, අර මනුස්සයට ගැහැණු සෙට් එකම එකතුවෙලා මදිපුංචිකම් කිරීම ගැන තමයි මේ කියන්නේ. ඒ කියන්නේ එක්කෝ ගණන් නොගෙන ඉන්න එක, එහෙම නැතිනම් බල්ල මාක් එකට දාලා සැලකීම වගේ දේවල් ගැන. ඔහොම මදිපුංචිකම් එතනදී විඳ දරාගන්න මනුස්සයා ඊට පස්සේ ගැහැණියක් ගැන කොහොම හිතයිද කියන එක ප්‍රශ්නයක්!
4. ඊයා අනේ අරූ
දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ සම්මතයක් විදියට ගොඩක් දුරට තියෙන්නේ පිරිමියෙක් තමන් කැමති වෙන ගැහැණියක් ‘පස්සෙන් ගිහින්’ කැමැත්ත ගන්න ට්‍රයි කරන එකනේ. ගැහැණියක් තමන් කැමති පිරිමියෙක් හිටියත්, මුලින්ම පය ඉස්සර කරන්නෙ නෑ කියලා සම්මතයක් තියෙනවා. ඒක හරි කියලා නෙවෙයි අපි කියන්නේ. ඒ සම්මතයට පිටින් යන ගැහැණුත් ඕන තරම් ඉන්නවා. හැබැයි එහෙම එකක් තියෙනවා. හරි ඒක කමක් නෑ. හැබැයි පිරිමියෙක් වාතයක් නොවී තමන් ගැහැණු කෙනෙක්ට කැමතියි කියලා පෙන්නන එක වැරැද්දක් විදියට ගන්න සමහර ගැහැණුත් ඉන්නවා. ඒක වෙන්නේ ඉතින් තමන් ආස නැති පිරිමියෙක් තමන්ට කැමතියි කියලා පෙන්නුවහම. එතකොට ශිෂ්ට විදියට ඒක ප්‍රතික්ෂේප කිරීම වෙනුවට සිද්ධ වෙන්නේ, අර මනුස්සයට තමන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක ගරහන එක. පොරට ලොකු ලයින් දෙන එක. ඒකෙන් වෙන්නේ මනුස්සයාගේ හිත බිඳෙන එක විතරක් නෙවෙයි, එතනින් එහාට ගැහැණු ගැන නරක ප්‍රතිරූපයක් ඇතිවෙන එකත් ඒකෙන්ම වෙන්න පුළුවන් දෙයක්.
5. ගෑණු කමට චාන්ස් එකක් දෙන්න
දැන් මේ ලෝකේ සමහර වෙලාවට ගැහැණුකම කියන එක පාවිච්චි වෙනවනේ. ඒකට ඇත්තටම ගැහැණු විතරක් නෙවෙයි, පිරිමිත් වගකියන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, පිරිමියෙක්ව ඉරි කපලා ට්‍රැෆික් පොලිස් මහත්තයෙක්ට අහුවුණොත් කොයි වගේද කියලා අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දැන් කාලේ නම් ගොඩක් පොලිස් මහත්තුරු සත්තම දාන්නෙ නෑ. හැබැයි ඉතින් දඩේ ගෙවන්නෙ නැතුව යන්න චාන්ස් එකක් නං ලැබෙන්නෙම නෑ. හැබැයි කාන්තාවක් ඉරි කපලා අහුවුණොත්? ඒත් ඉතින් නීතිය හරියටම කරන පොලිස් මහත්තයෙක් හිටියොත් දඩේ ගෙවලා යන්න වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට නලවල කරලා කතා කලහම, “ආයෙ කරන්න එපා නෝනා” කියලා යන්න අරිනවා. ඕකම තව විවිධ තැන් වල විවිධ ආකාරයට සිද්ධ වෙනවා. මෙතනදී ගැහැණු කම පාවිච්චි කරන ගැහැණු වගේම, එකම දේකදී ගැහැණු සහ පිරිමි දෙගොල්ලන්ට දෙවිදියකට සලකන පිරිමිත් වග කියනන් ඕන. හැබැයි තමන්ට නොලැබෙන චාන්ස් එකක් ගැහැණියක් ගැහැණු කම පාවිච්චි කරලා ලබාගන්නවා දකින පිරිමියෙක්ට හිතේ අවුලක් ඇතිවෙන එක වළක්වන්න බැහැ.
6. දෙයක් කරගන්න නං මරු මෝරා
උඩ කියපු ගැහැණුකම පාවිච්චි කිරීම කියන එක, සමහර වෙලාවට සමහර කාන්තාවෝ හිතාමතාම පාවිච්චි කරනවා පිරිමියෙක් ලව්වා දෙයක් කරවගන්න. එතනදී සමහර පිරිමි ඉන්නවා, තමන්ව යූස් වෙනවා කියල මෙලෝ අදහසක් නැතුව ඇඹලයෝ වගේ වැඩ කරලාදෙන. හැබැයි පොඩ්ඩක් හරි සිහිමොළේ තියෙන පිරිමියෙක්ට තේරෙන්න ඕන, තමන් එක්ක සමීප කමක් නැති ගැහැණියක් අනවශ්‍ය සමීප කමක් පෙන්නන කොට, තොඳොල් වෙනකොට එහෙම මෙතන මොකක් හරි වෙන වැඩක් කරවගන්න වුවමනාවක් තමයි තියෙන්නේ කියලා. ඇත්තටම මේ ප්‍රශ්නේ වුණත් විසඳන්න ලෙහෙසියෙන් බෑ. මේ ප්‍රශ්නේට වුණත් වගකියන්න තියෙන්නේ කාන්තාවන්ට විතරකුත් නෙවෙයි. හැබැයි ඉතින් කවුරුහරි දිගින් දිගටම ගැහැණුකම පාවිච්චි කරල පිරිමියෙක්ව මෝරා කරගෙන වැඩ කරගන්න එන එකෙන්, පිරිමියෙක්ට ගැහැණු ගැන තියෙන රෙස්පෙක්ට් එක නැතිවෙන්න පුළුවන්.
7. ලේඩි බොස්
ඇත්තටම මේකත් ගැහැණු පිරිමි කම අදාළ නොවෙන දෙයක්. ඒ කියන්නේ මේ ලෝකේ නරක බොස්ලා ඉන්නවා, ඕකේ බොස්ලා ඉන්නවා, හොඳ බොස්ලා ඉන්නවා. ඒකට ගැහැණු ද පිරිමි ද කියන එක අදාළ නෑ.ඒ ඇරුණහම මේ ලෝකේ වෘත්තිය මට්ටමෙන් බැලුවත් ගැහැණු සහ පිරිමි අතර තවමත් වෙනසක් තියෙනවා කියන එකත් අපිට පිළිගන්න වෙනවනේ. සමහර වෙලාවට පිරිමින්ට ලැබෙන වෘත්තිය අවස්ථාවන් ගැහැණුන්ට නොලැබී යනවා. මේ හැමදෙයක්ම වෙනස් විය යුතු දේවල්. හැබැයි සමහර ලේඩි බොස්ලා ඉන්නවා සම්පූර්ණයෙන්ම තමන් යටතේ ඉන්න පිරිමි වෘත්තිකයන්ට එක විදියකට සලකන ගමන්, තමන් යටතේ ඉන්න ගැහැණු වෘත්තිකයන්ට තවත් විදියකට සලකන. ඒකෙන් වෙන්නෙ මොකද්ද? අර ලේඩි බොස් යටතේ ඉන්න පිරිමි සේවකයෝ සහ ගැහැණු සේවකයෝ අතරේ පියවන්න බැරි පරතරයක් හැදෙන එක. ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන්නේ ලේඩි බොස් ගැහැණු කෙනෙක් වීමේ නොවෙන්න පුළුවන්, ඒක එයාගේ පර්සනැලිටි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක යන්නේ “ගෑණු එක්ක ප්‍රොෆෙෂනලි වැඩ කරන්න බෑ” කියන තැනට වෙන්න පුළුවන්!
මේ ලෝකේ අපි ගොඩක් දේවල් ස්ටීරියෝටයිප් කරන්න පුරුදු වෙලානේ ඉන්නේ. ඒ කියන්නේ දොස්තරලා උඩඟුයි, කොන්දොස්තරලා මාරු සල්ලි දෙන්නෙ නෑ වගේ එව්වා. දැන් එතකොට කාන්තාවෝ සම්බන්ධයෙන් සහ පිරිමින් සම්බන්ධයෙන් එහෙමත් ඔය වගේ ස්ටීරියෝටයිප් කිරිලි මේ ලෝකේ තියෙනවා. ඔන්න ඔය ස්ටීරියෝටයිප් කිරීම් වලට සරලම උදාහරණයක් තමයි, “මේ ලෝකේ ඉන්න ඔක්කොම ගෑණු එකයි” නැතිනම් “මේ ලෝකේ ඉන්න ඔක්කොම පිරිමි එකයි” වගේ කතන්දරේකින් අපිට අහන්න ලැබෙන්නේ. හැබැයි ඇත්තටම එහෙමද? නෑ. මේ ලෝකේ ඉන්නෙ මිනිස්සු. ගැහැණු සහ පිරිමි අතර එකිනෙකාට ආවේණික වෙනස්කම් තියෙනවා තමයි. හැබැයි හොඳ නරක ගත්තහම හොඳ වෙන්නෙත් මිනිස්සු, නරක වෙන්නෙත් මිනිස්සු. එහෙම මිසක් ගෑණු නරකයි පිරිමි හොඳයි කියලා එකක් නෑ. ආන්න ඒක මතක තියාගත්තහම හැමෝටම ලේසියි.
ඒක නෙවෙයි, දැන් ගැහැණුන්ට පිරිමි සංහතියම එපා වෙන විදියට සමහර පිරිමි කරන වැරදි නැද්ද? අපොයි තියෙනවා. ඒ ගැන ඊලඟ සතියේ අපි කියනවා!
Leave a Reply