Covid අවදානම අතරේ පුංචි දරුවෝ අරන් එලියට යන්න වෙනවනම් මේ උපදෙස් පිළිපදින්න

Covid කියන්නෙ මේ දවස්වල අපි නිතරම කතා කරන, කොච්චර කතා කළත් ඉවරයක් වෙන්නෙත් නැති, කොටින්ම අපේ ජීවිතේම කොටසක් වෙලා තියෙන මාතෘකාවක්. දැන් covid එක්ක ජීවත් වෙන්න අපි හැමෝම පුරුදු වෙලා. අහන අහන තැනින් ඇහෙන්නෙ “Stay Home, Stay Safe” කියන කතාව. විශේෂයෙන්ම පුංචි දරුවෝ ඉන්නවනම්, එයාලගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේ තරම්ම ශක්තිමත් නැති නිසා, අපිට තරම් දරාගැනීමේ හැකියාවක් එයාලට නැති නිසා ලෙඩ රෝග වලින් පුළුවන් තරම් පරිස්සම් කරන්න ඕන වෙනදාටත් වඩා. ඒ නිසා බබාලා ඉන්න ගෙවල් වල අයට විශේෂයෙන්ම අපිටත් වඩා එලියට නොයාම බැරි කාරණාවකට මිසක් යන්නම එපා කියල තමයි කියන්නෙ. 

ඔය කොයිතරම් කිව්වත් එදිනෙදා අවශ්‍යතා, බබාලගෙ සෞඛ්‍ය ගැටළු එක්ක ඉඳලා හිටලා හරි පුංචි දරුවෝ එලියට එක්කන් යන්න සිද්ධ වෙන අවස්ථාවල් එන්න පුළුවන්නේ. අඩුමගානෙ වෙලාවට vaccine ටික අරගන්න හරි යන්න වෙනවා. ඒ නැතත් ඉස්කෝල, මොන්ටිසෝරි නිවාඩු අතරේ මේ වසංගතයක් ගැන හයක් හතරක් නොදන්නා පුංචි පැටව් ගේ අස්සේ හිරකරගෙන ඉන්න එකේ අමාරුව දන්නෙ එහෙම ඉන්න අම්මලා, තාත්තලාම තමයි. ඉතින් අඩුගානේ පොඩ්ඩක් දුවන්න පනින්න ඉඩකඩ තියෙන තැනකට හරි දරුවන්ව එක්කන් යන්න ඕනකම හුඟක් අයට ඇති. අපි අද මේ කතා කරන්නෙ එහෙම එළියකට යන්න උනොත් පුංචි දරුවන්ගේ ආරක්ෂාවට අනුගමනය කරන්න ඕන දේවල් ගැනයි.

 

1. යන්නෙ කාත් එක්කද?

ගමනක් යනව කියන එක හිතුවට පස්සේ ඊළඟට අපි හිතන්නෙ යන්නෙ කාත් එක්කද කියන එකනෙ. ඉතින් ඉස්සර එහම හිතලා යාළු මිත්‍රයෝ එක්ක ගමන් ගියාට දැන්නම් තනියම, තමන්ගේ පවුලේ කීප දෙනා විතරක් ගමන් යන එක තමයි කරන්න ඕන හොඳම වැඩේ. නිතර හමු  නොවෙන අය එක්ක ගමන් යන එක මේ දවස්වල හැටියට අවදානම්. මොකද ඒ අය ආශ්‍රය කරන සෙනඟ අතරේ, ඒ අය නිතරම යන එන තැන වල කොරෝනා හැංගිලා ඉන්න පුළුවන්. ඒ අය හරහා නොදැනීම අපිත් ඒ අවදානමට ලක්වෙන්න පුළුවන්. ඉතින් යන වැඩේ කරගෙන බයක් නැතුව එන්නනම් පවුලේ අය එක්ක තනියම ගිහින් එන්න. 

 

2. Face Mask/ Face Shield 

ඊළඟ එක තමයි අනිවාර්යයෙන්ම face mask එකක් පළඳින එක. වැඩිහිටි අයටනම් ඉතින් මේ ගැන කියන්න දෙයක් ඇත්තෙත් නැහැනෙ. හැබැයි පුංචි බබාලට mask එකක් දාන එකනම් ටිකක් අමාරු වැඩක්. ටිකක් තේරෙන අවුරුදු 3 – 4 වගේ වයසේ බබාලටනම් අනිත් වැඩිහිටි අය දානවා පෙන්නලා, ටොපියක්, චොකලට් එකක් වගේ පොඩි කප්පමක් දීලා වගේ mask එකක් ගෙන යන්න උනන්දු කරවන්න පුළුවන්. ඒත් ඒ තරම්වත් නොතේරෙන පොඩිම බබාලට mask එකක් දාන එකනම් අමාරුම වැඩක්. ඒ අයට විසඳුමක් විදිහට face shield එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ face shield දැන් හුඟක් ෆාමසි වලින් ගන්න තියෙනවා. 

 

3. Hand Sanitizer

ඒ වගේම ලොකු අයට වගේම පොඩි බබාලගෙත් අත් හැම තිස්සෙම පිරිසිඳු කරන්න. එයාලා තනියම හිතල පිරිසිඳු කරගන්න නොදන්න නිසාත්, අපි වගේ හිතලා මුහුණ කට, නාසය නොඅල්ලා ඉන්න එයාලට අමතක වෙන නිසාත් සැරින් සැරේට බලලා අත් පිරිසිඳු කරන්න hand sanitizer එකක් අරගෙන යන්න. 

 

4. සෙනඟ අඩුවෙන් ගැවසෙන තැන්

අපි මේ කතා කරන්නේ අත්‍යාවශ්‍යම, නොයාම බැරි වෙලාවක එලියට යන ගමනක් ගැනනේ. ඉතින් එහෙම අවශ්‍යතා සපුරා ගන්න හැම වෙලාවෙම සෙනඟ අඩුවෙන් ගැවසෙන තැන් තෝරගන්න. වෙනදට සුපර්මාර්කට් එකක ඇවිදලා බඩු ගත්තනම් සෙනඟ අඩු තොග කඩේකට බඩු ලිස්ට් එක දීලා ඉක්මනින් බඩු අරගෙන එන්න. රෝහලකට යනවනම් සෙනඟ අඩු රෝහලක්, සෙනඟ අඩු වෙලාවක් තෝරගන්න. ඒ වගේ පුළුවන් තරම් පිරිස් රැඳෙන තැන් මඟහරින්න.

 

5. හොඳින් ඉඩකඩ ඇති තැන්  

ඒ වගේම බබාලව එක්කන් යන තැන්වල ඉඩකඩ ගැන යන්න කලින්ම හොයල බලන්න. ඉඩකඩ ඇහිරුණ කුඩා තැන්වලට බබාලව එක්කන් යන්න එපා. ඒවගේ තැනක පොඩි සෙනඟක් හිටියත් තදබදය වැඩියි. ඒ නිසා ඉඩෙන් වැඩි තැන් තෝරගන්න. සෙල්ලම් කරන්න උනත් ලොකු ඉඩක් තියෙන පිට්ටනියක් වගේ එකකට එක්කන් යන්න. Park වගේ ඒවා මේ දවස්වල ඇඟට ගුණ නැහැ. යාප්පුවෙන් මඟ හරින්න. ඒ වෙනුවට වෙනස් ක්‍රියාකාරකම් කරලා බබාව සතුටු කරන්න පුළුවන් ඉඩකඩ තියෙන තැනකට එක්කගෙන ගියහම.

 

6. දරුවන් අතපත ගාන දේවල්

කලිනුත් කිව්ව වගේ අපි වගේ හිතල මේ අවදානම අඩු කරන්න කටයුතු කරන්න බබාලට තේරෙන්නෙ නැහැ. එයාලා පරණ පුරුද්දට දකින දකින දේ අතගානවා. ඒ ගමන්ම මුහුණකට අල්ලනවා. ඒ නිසා අත් පිරිසිඳු කරනව වගේම බබාල අල්ලන දේවල් ගැනත් හොඳ අවධානයෙන් ඉන්න. පුංචිම බබෙක්නම් කිසි දෙයක් අල්ලන්න බැරි වෙන්න පුළුවන් තරම් වඩාගෙන ඉන්න. ටිකක් තේරෙන බබාලට ආදරෙන් කියල දෙන්න මේ මේ දේවල් අල්ලන්න එපා කියල. චාටුවෙන් ලඟම තියාගෙන ඉන්න අවශ්‍ය වැඩේ කරලා ඉවර වෙලා ගෙදර යනකන්. 

 

7. ප්‍රවාහන මාධ්‍ය

බබාව එක්කගෙන යන්නෙ කොහොමද? මොන වාහනයකද? කියන එක අනිවාර්යයෙන්ම හිතල බලන්න ඕන. පුංචි දරුවොත් අරගෙන පොදු ප්‍රවාහන සේවාවල යන එකනම් අදකාලේ හැටියට කිසිසේත්ම අනුමත කරන්න බැහැ. පුළුවන් තරම් තමන්ගේ හෝ අඳුරන කෙනෙකුගේ වාහනයක් එහෙමත් නැත්තම් අඩුමගානෙ කැබ් එකක් හරි පාවිච්චි කරන්න ඕන. බැරිම කාරණයකට පොදු ප්‍රවාහන සේවාවක් පාවිච්චි කළත් වැඩි දුරක්, වැඩි වෙලාවක් යන ගමනක් නම් අනිවාර්යයෙන්ම වෙන ක්‍රමයක් හොයාගන්න. මොකද පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන සෙනඟ වැඩියි වගේම ඒ හැමදෙනාම සෞඛ්‍ය විධි විධාන අකුරටම පිළිපදින්නෙත් නැහැනේ. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *